මහින්ද දේශප්‍රිය රසබර අතීතය හෙළිකරයි

1981 දී රාජ්‍ය පරිපාලන සේවා විභාගයෙන් ලංකාවේ දෙවැනියා වූ වඩුගේ වරුණසිරි මහින්ද දේශප්‍රිය අද සමස්ත ලංකාවේම ජනකාන්ත රාජ්‍ය නිලධාරියාය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සකලවිධ ජනයාට ප්‍රිය වූ චරිතයකි. ජනාධිපතිවරණයේ කාර්යබහුලත්වයෙන් ඉක්බිති ඉස්පාසුවක් ලද ඇසිල්ලක අපි ඔහු හා පිළිසඳරකට එළඹුණෙමු. මේ අපූරු මිනිසාතම වෘත්තීය ජීවිතයේ අසූව දශකයේ මැතිවරණවල සොඳුරු රුදුරු මතක අවදිවන්නට විය. සුපුරුදු ගැඹුරු හඬින් ඔහු කී ඒ කතාව ඔබ මනසේ සිත්තම් කරනු රිසියෙන් අපි මෙලෙස අකුරු කරමු.

“මම ඉස්සෙල්ලාම මැතිවරණ රාජකාරියකට සහභාගී වුණේ අසූදෙකේ ජනාධිපතිවරණයේ දී. මම එතකොට පරිපාලන සේවයේ ආධුනික නිලධාරියෙක් විදිහට කළුතර ගිහිල්ලා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම් භාරගැනීම භාර එස්.පී.ඕ. කෙනෙක් විදිහටයි තැපැල් ඡන්ද ගණන් කිරීමේ එස්.පී.ඕ. කෙනෙක් හැටියටයි වැඩකළා. ඡන්ද පොළක රාජකාරියකට යැවුණේ නෑ. ඊටපස්සේ ජනමතවිචාරණයේ දී හිටියේ අනුරාධපුරේ. තන්තිරිමලේ එස්.පී.ඕ. කෙනෙක් හැටියට ගියා. කලාවැව ආසන්නයේ ඡන්ද ගණන් කළා. එතැනට ඇවිල්ල හිටියේ නෑ මං හිතන්නේ අනුරාධපුරය නගර සභාවේ නාගරික ලේකම්. ඔහුට දීලා තිබුණු තනතුර වාහක නිලධාරී. ඒ කියන්නේ බැලට් පේපර් එහා මෙහා ගෙනියන්න. තනතුර ඒ.ආර්.ඕ.ට වඩා අඩුයි. එස්.පී.ඕ.ට වඩා වැඩියි. මට ඒ තනතුරේ ක්‍රියාකරන්නත් වුණා.”

සභාපතිතුමාගේ මතකය ගැඹුරුය. එකින් එක අවදි වනවිට එය ප්‍රබල වනු ඇත. ජනමතවිචාරණය මෙරට පැවති නරකම මැතිවරණවලින් එකක් බව මෙහිදී ඔහු අපට කීය. ඒ පරිපාලන සේවයේ ආධුනික නිලධාරියකු ලෙස 1983 ජූනි දක්වා ඔහු කළ මැතිවරණ රාජකාරි පිළිබඳ මතකයයි. ආධුනික නිලධාරියකු වූ මහින්ද දේශප්‍රිය මැතිවරණ දෙපාර්තමේන්තුවට එකතුවෙයි. ත්‍රිකුණාමලයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ලෙස පත්වීම් ලබයි. අනතුරැ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී මැතිවරණ රාජකාරි කිරීමේ වරම අප කතානායකයාට හිමිවිය.

“ඒ අසූ හතරේ මින්නේරිය අතුරු මැතිවරණය. මම එතකොට ත්‍රිකුණාමලයේ සහකාර කොමසාරිස්. නියෝජ්‍ය සහකාර කොමසාරිස් සුමනසිරි මහත්තයාට උදව් දෙන්න අපි ගියා. ඊට කලින් අසූ තුනෙත් මං පොළොන්නරුවේ ඇක්ටින් එකක් කරලා තිබ්බා. ඒ නිසා පොළොන්නරුව පුරුදුයි. අපි නොමිනේෂන් එකේ වැඩ පුරුදුවෙන්න ගියේ. නමුත් ඒකේ නොමිනේෂන් පනස් එකක්. ලංකාවේ වැඩිම අපේක්ෂකයෝ සංඛ්‍යාව. ඒ නිසා අපිව ෆුල් ටයිම් පොළොන්නරුවට අනුයුක්ත කළා සුමනසිරි මහත්තයාට උදව් දෙන්න. ඒක තමා ලොකුම අත්දැකීමක් ගත්ත ඡන්දේ. අලුතින් ඡන්ද පෙට්ටි හදන්න වුණා. ඉස්කෝලවල ටෙන්ට් ගහන්න වුණා. ලීවලින් දැවැන්ත ඡන්ද පෙට්ටි හැදුවේ. කොහොම හරි එතැනින් තමා ඡන්ද ගණන් කිරීම සම්බන්ධ නියමාකාර අත්දැකීමක් මං ලැබුවේ.

එවකට ප්‍රධාන රේගු අයකැමි වූයේ එච්.බී. දිසානායක මහතාය. ඔහු මෙම මැතිවරණයේ ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරියා විය. ඔහු යටතේ තරුණ මහින්ද දේශප්‍රියද ගණන් කිරීමේ කටයුත්ත කළේය. දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයෝ  බොහෝදෙනා මෙම මැතිවරණය වෙනුවෙන් පොළොන්නරැවට ආවෝය. ඒ සැම අතරින් ලාබාලතම නිලධාරියා අප කතානායක විය. එදාද ඉතා දිග බැලට් පේපර් එකක් වූ බව අද ඔහු සිහිකරයි. කෙසේ නමුත් ඡන්දය බොහොම සාමකාමී විය. එදා වැඩි ස්වාධීන අපේක්ෂකයන් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. කෙසේ නමුත් අවසානයේ මැතිවරණ ජය එක්සත් ජාතික පක්ෂයේ විජේකෝන් මහතාට  හිමිවිය. අප කථානායකයාද ඒ ඓතිහාසික මැතිවරණයේ පංගුකාරයෙක් වූයේය.

“ඊට පස්සේ මං ආයේ බයි ඉලෙක්ෂන් එකකට ගියා මහියංගනයේ. ඒක තිබුණේ අසූ පහේ අප්‍රියෙල් මාසේ 18 වගේ දවසක. අවුරුද්ද ඉවරවෙන දවසේ පහළොස්වැනිදා අපිට රිපෝට් කරන්න කියලා තිබ්බා. මං අම්බලන්ගොඩ ඉඳලා බස් එකේ බදුල්ලට ගියේ. මං ඊට කලින් එකම වතාවක්ද කොහෙද විශ්වවිද්‍යාලයේ ඉන්නකොට බදුල්ලට ගිහිල්ලා තිබ්බා. එතැන ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරියා වෙලා හිටියේ පස්සේ අමාත්‍යාංශ ලේකම්වරයෙක් වුණ ජුනයිඩ් මහත්තයා. දිසාපති හිටියේ පිහිල්ලේගෙදර සර්. ඒ ඉලෙක්ෂන් එකත් මහා බරපතල වුණේ නෑ. මොකක්ද ලොකු පරතරක් තිබ්බා ඡන්ද අතර.”

මේ මැතිවරණ පිළිබඳ කියන අතරේ අපි සභාපතිතුමාගෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ලද ආභාෂය පිළිබඳ විමසුවෙමු. මෙම වකවානුවේ මැතිවරණවලදී වැඩ ඉගෙනගැනීමට තමා උත්සුක වූ බව කී ඔහු එදා නිලධාරීන් අතර පැවති සහසම්බන්ධතා පිළිබඳවත් අපූරු කතාවක් කීය.

“කොපමණ ජ්‍යෙෂ්ඨ වුණත් සහකාර කොමසාරිස්වරුන්ට සර් කියන පුරුද්දක් තිබුණේ නෑ. මොකද දෙපාර්තමේන්තුවේ හිටියේ මැතිවරණ කොමසාරිස්තුමයි. නියෝජ්‍ය කොමසාරිස්ලා දෙන්නයි. අනික් ඔක්කොම සහකාර මැතිවරණ කොමසාරිස්ලා. මං අසූතුනේ සහකාර කොමසාරිස් කෙනෙක් වෙනකොට 1969 පරිපාලන සේවයට ආපූ කෙනෙක් සහකාර කොමසාරිස් වෙලා හිටියා. එතුමා පස්සේ අපේ නියෝජ්‍ය කොමසාරිස් කෙනෙක් වෙලා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙලා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වුණා. අපේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් හැටියට මාත් වැඩ ඉගෙනගත්තා එතුමාගෙන්.”

දැන් අපට, හිටපු කොමසාරිස්වරුන් නිලධාරීන් පිළිබඳ දීර්ඝ විස්තරයක් මහින්ද දේශප්‍රිය සිදුකරයි. මෙරට සුපතල රාජ්‍ය නිලධාරීන් රැසක් ඔහු සමඟ සේවය කර තිබේ. බොහෝ ජ්‍යෙෂ්ඨයන්‍ ඇසුරේ ලද අත්දැකීම් මේ අපූරැ මිනිසාට මහත් පන්නරයක් වී ඇති බව අපට ඉතා පැහැදිලිය. ලංකාවේ වැඩිම කලක් සහකාර මැතිවරණ කොමසාරිස්වරයකු ලෙස සේවය කර ඇත්තේ තමන් බව කියා ඔහු සිනාසෙයි.

ඒ සිනහව මුළුරටම හොඳින් හඳුනන සිනහවයි.

“ඊගාවට තිබුණු බයි ඉලෙක්ෂන් එකත් ප්‍රසිද්ධ එකක්. මුල්කිරිගල අතුරු මැතිවරණය. අසූපහේ සැප්තැම්බර් දොළහා ඒ මැතිවරණය තිබ්බේ. වැඩිඡන්ද සංඛ්‍යාව එක්දාස් පන්සීයක්වත් තිබ්බේ නෑ. බොහොම ළඟ ළඟ ගියේ. මේ මැතිවරණය ප්‍රසිද්ධ වුණේ ඡන්ද පොළක් ආසන්නයේ මිනීමැරුමක් වුණ නිසා. වත්මන් අගමැතිතුමා සැකකරුවෙක් විදිහට අත්අඩංගුවට ගත්තේ මේ ඡන්දේදී. මේ ඡන්දේදී හිටපු මන්ත්‍රීවරයෙක් වෙච්ච රළුවේ රාළහාමිව ඡන්ද ගණන් කරන තැනදී පොලීසිය අත්අඩංගුවට ගන්න ආවා. අපේ චීෆ් කවුන්ටින් ඔෆිසර් හිටියේ දැන් ඉන්දියාවේ මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහත්තයා. අපේ හිටපු සහකාර කොමසාරිස්වරයෙක් එතුමා අත්අඩංගුවට ගන්න දෙන්න බැහැ කියලා. “ඔහු ඉන්නේ මගේ බාරයේ… ඡන්ද ගණන් කිරීම අවසන් වෙලා එළියට යනකල් අත්අඩංගුවට ගන්න දෙන්න බෑ කියලා” එතුමා කිව්වා. ඒක අපිට හොඳ පන්නරයක් ලැබුණ ඡන්දයක්.”

අතුරු මැතිවරණ රැසක් පැවති අසූව දශකය බොහෝ සෙයින් ගිනියම් වී තිබිණි. මැතිවරණ මතක සිත සොඳුරු නොවීය. පරමාධිපත්‍යය ප්‍රකාශ කිරීම විටෙක මරණ වරෙන්තුවක් විය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාස නොකළ ව්‍යාපාර දෙකක් උතුරේත් දකුණේත් සක්‍රීය විය.

“ඊට පස්සෙත් බයි ඉලෙක්ෂන් එකක් තිබ්බ අක්මීමන පැත්තේ. රිචඩ් පතිරණ මහත්තයාගේ දෙවැනි අතුරු මැතිවරණය. මේකත් ටිකක් දෙපැත්තෙන්ම බලය තිබුණ බොහොම තද ඡන්ද විමසීමක්. මේ මැතිවරණයේ ගණන් කිරීමේ නිලධාරීයා වෙලා හිටියේ ක්‍රිස්ටි නානායක්කාර මහත්තයා. ඒ කාලේ සර්වේ ජනරාල් මට මතක හැටියට.”

ත්‍රිකුණාමලයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයකු ලෙස කටයුතු කළ මහින්ද දේශප්‍රිය මහතා මෙම සියලු මැතිවරණවලට දායක විය. මෙම කටයුතු අතරේ වසරකට ඉන්දියාවට යාමට ඔහුට අවකාශ උදාවිය. පුදුමයකට මෙන් ඒ වසර තුළ ලංකාවේ මැතිවරණ නොපැවත්විණි.

“ඊගාවට ඔන්න ඉන්දු-ලංකා ගිවිසුම ආවා. ගිවිසුම එන්න කලින් අසූ හතේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තියන්න අවස්ථාවක් ලැබුණා අපිට. මේක තමා මනාප එක්ක තියන්න ගිය පළවෙනි ඡන්ද විමසීම. සමානුපාත නියෝජන ක්‍රමයට ඊට කලින් ඡන්ද තුනක් තියලා තිබ්බා. මේ තුන තියලා තිබ්බේ ලැයිස්තු ක්‍රමයට මනාප නෑ. අපි නාමයෝජනා අරගෙන ඡන්දෙට ඔන්න ලෑස්ති වුණා. ඔන්න ඉන්දු-ලංකා ගිවිසුම ආවා. පොල්ගස් කපලා රජයේ කාර්යාල ගිනි තියලා. අපේ හම්බන්තොට ඉලෙක්ෂන් ඔෆීස් එකත් ගිනි තිබ්බා.”

අවසානයේ මෙම ඡන්ද විමසීම අවලංගු කිරීමට රජය කටයුතු කළේය. එය භීෂණයේ ඉතාම අඳුරු මොහොතකි. එහෙත් මේ වනවිටත් මැතිවරණ දෙපාර්තමේන්තුව මේ අලුත් ඡන්දය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකර තිබිණි.

“මනාප දෙන්න ඕන නිසා අකාරාදියට නම් හදලා භාෂා තුනට පරිවර්තනය කරලා. දැන් වගේ කොම්පියුටර් අනම් මනම් නෑ. අර දිග බාර් එක තියෙන ටයිප්රයිටරේ ගහන්න ඕනෑ. පොටෝ කොපි මැෂින් ඇවිල්ලත් නෑ. ටයිප්රයිටර් එකේ ගහලා එක්කෝ කපලා අලවනවා. පිටපත් ඕනනම් කාබන් දදා ගහනවා. දැන් කාලේ අයට හිතන්නවත් බෑ. ඒ කාලේ ඡන්ද ලැයිස්තු හැදුවේ ස්ටෙන්සිල් ටයිප්රයිටර් කපලා. මේ ඡන්දේ තියන්න යෝජනා කරලා තිබුණේ අසූහයේ රෙජිස්ට්‍රියෙන්. 86 ඡන්දයක් එන්නේ නෑ කියලා හිතලා පිටපත් විස්සක් විතර ගහලා තිබුණේ. ඉස්සර දැන් වගේ තැපැල් ඡන්ද ඉන්ටර්නෙට් එකෙන් බලන්නේ නෑනේ. රෝනියෝ කරලා බැඳපු පොත් ප්‍රදර්ශනයට යවනවා. එතකොට  ස්ටෙන්සිල්වල බැඳිලා තියෙන තීන්ත භූමිතෙල්වලින් හෝදලා එළියේ වැලවල් බැඳලා කටුවලින් එල්ලා සුළඟින් වේලා ගන්නවා…”

නොපැවැත්වූ නමුත් ඉතිහාසයේ පළමු මනාප මැතිවරණයේ රාජකාරි මතක ඉතා අපූරුය. මහින්ද දේශප්‍රිය නම් මේ අපූරු මිනිසා අපට ඒ කතාව කියන විට ඔහු මනසේ මෙන්ම අප මනසේද චිත්ත රූප මැවේ. මේ දැකීම් ලැබූ නිලධාරීන් අද දිස්ත්‍රික්කවල විරල බව ඔහු අපට කියයි. මෙම යුගයේ මැතිවරණ රාජකාරියේ වූ දුෂ්කරතා අපට කියන්නට දැන් ඔහුට නිමිත්තක් හමුවී තිබේ. දැන් කතාව ඒ පිළිබඳවය.

“ලාකඩවලින් ඔක්කොම සීල් කිරීම. දැන් වගේ ස්ටිකර් නෑ. තැපැල් ඡන්ද නිකුත් කරන කොට සමහරු සිහිනැතිව වැටෙනවා. අර ලාකඩ සුවඳට. ලාකඩ සීල් පහක් තියන්න ඕනෑ හැම කවරෙකටම. ලාකඩ උණුවෙනවා මෙහෙම පැත්තක. ඒ ඒවා හැඳිවලින් අරගෙන වක්කරලා සීල් තියනවා. මං ගාව ලාකඩ සීල් තියන එකක් ඇති පෙන්නන්නම් ඉන්න…”

අපගේ කතාව බොහෝදුර විත් තිබේ. මේ මිනිසාගේ වචන තුළ ඇත්තේ පුදුමාකාර සජීවීකරණ හැකියාවක් බව අපට හැඟී යයි. දැන් ලාච්චුවකින් සොයාගත් පරණ ලාකඩ සීල් එකක් ඔහු අප වෙත පායි. එයින් දෙතුන් වරක් තට්ටුකර පෙන්වයි. එදා මැතිවරණ රාජකාරි පිළිබඳ තවත් බොහෝ විස්තර අපට පහදා දෙයි. මේ කතාව අවසානයේ තවත් මැතිවරණයක මතක අතර අප පිවිසියේය.

පළාත් සභා පනත පැමිණීම සමඟ පළාත් සභා ඡන්දයට ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉල්ලා අස්වූහ. ඒ සමඟම රත්නපුර, වැලිමඩ, කැකිරාව, කටුගම්පොළ යන ආසනවල අතුරු මැතිවරණ පැවත්වීමේ අවශ්‍යතාව පැනනැගුණි. මැතිවරණ හතර පැවැත්වීමට නියමවූයේ එක දිනකය. එහෙත් පළමු පළාත් සභා මැතිවරණද ඉතා ආසන්නයේ විය. අපගේ කතානායක මහින්ද දේශප්‍රිය රත්නපුරය බලා පිටත්ව ගියේය.

“මම රත්නපුරේ ගිහිල්ලා තිබුණේ ඊට කලින් එකපාරයි. ඒත් කැම්පස් එකේ ඉන්දැද්දි මළ ගෙදරකට කාගෙ හරි….”

රත්නපුරයේ දී මොකද වුණේ….?
ලබන සතියට.

 සංවාද සටහන – චමිඳු නිසල් ද සිල්වා
සේයාරුව – සුමුදු හේවාපතිරණ – Deshaya