ඉදිරි මහ ජන්දයට අලුත් මුහුණු රැසක්

දේශපාලකයන්ගේ හැසිරීම් දෙස බලා බොහෝ සාමාන්‍ය ජනතාව දේශපාලනය මෙන්ම දේශපාලකයන් කෙරෙහි ද කලකිරීමක් ඇති කර ගනිති. සෑම මැතිවරණයකදීම ඡන්දය භාවිත නොකරන පිරිසක් සිටිති. සෑම මැතිවරණයකදීම ඡන්දය කටු ගා දමන පිරිසක් ද සිටිති. මේ අයගේ ප්‍රමාණය කාලයත් සමඟ වර්ධනය වනු මිස අඩුවන්නේ නැත. එක්තරා කාලයක අපේ මහජන නියෝජිතයන් ලිපිවලට අත්සන් කළේ මහජන සේවක යන විශේෂණය යොදාගනිමිනි. නමුත් එවැන්නක් අද අපේ දේශපාලනය තුළ දකින්නට නැත.

හිමිදිරියේ අවදි වී තම පළමු රාජකාරිය ලෙස ජනතාව හමු වී ජනතාවගේ ගැටලු විසඳන නායකයෝ මෙරට සිටියහ. එවන් නායකයන් කෙරෙහි ජනතාවගේ දැඩි ප්‍රසාදයක් හිමි වී තිබූ බව අප අසා ඇත. ඇතැම් දේශපාලකයන් ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට ගොස් පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ආකාරය ජනතාව අනුමත කරන්නේ නැත. පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුළ තමන්ගේ මහජන නියෝජිතයා හැසිරුණු අයුරු ඡන්දදායකයන්ට අමතක වී නැත.

අද දවසේ දේශපාලන වේදිකාවල ඇසෙන කතාවලින් පෙනී යන්නේ සෑම අපේක්ෂකයකුම දුප්පතාගේ හිතවතා යන චරිතයට ජීවය දෙන බවය. රට ගොඩ නැගීමට නම් පාර්ලිමේන්තුව තුළ යම් වෙනසක් සිදුවිය යුතු බවට මේ වනවිට සමාජයේ යම් කථිකාවතක් ගොඩනැගෙමින් පවතී. උගත් බුද්ධිමත් පිරිසක් මහජන නියෝජනය වෙනුවෙන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව එම මහජනතාවගේ අදහස වී ඇත.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට ගෙන ඒමට උගත් බුද්ධිමත් වෘත්තිකයන් පිරිසක් ඔහු වටා සිටි බව නොරහසකි. ඉදිරි මහ මැතිවරණයේදී එවැනිම උගත් බුද්ධිමත් වෘත්තිකයන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවට මහජනතාව අදහස් කරන්නේ එම හේතුවෙනි.

ජනරාල් ආර්. එම්. දයා රත්නායක – හිටපු යුද හමුදාපති

ඉදිරි පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයකු ලෙස ඉදිරිපත් වෙන්න කියලා මහජනතාවගෙන් මටත් විශාල ලෙස ඉල්ලීමක් තියෙනවා. නමුත් මැතිවරණයට ඉදිරිපත්වීමේ අදහසක් මට නැහැ. නමුත් රට වෙනුවෙන් සේවය කරන්න මම බලාපොරොත්තු වෙනවා. රට වෙනුවෙන් නිරතුරැවම පෙනී ඉන්නවා. ඒ වගේම එවැනි අවස්ථාවක ඕනෑම වෙලාවක මම රට වෙනුවෙන් සිටිනවා. ඒකට දේශපාලනයට එන්නම ඕන නැහැ. තමන්ට හැකි අයුරින් රටට සේවය කරන්න පුළුවන්. ඒ වගේම තමයි නව ජනාධිපතිවරයා යටතේ ඉදිරි මහ මැතිවරණයකදී අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට නියෝජනය කළ යුතුයි කියන මතයේ මම ඉන්නවා.

රියර් අද්මිරාල් සරත් වීරසේකර – අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

පසුගිය ජනාධිපතිවරණයේදී නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කිව්වා කොහොමද මේ රට සංවර්ධනය කරන්නේ කියලා. එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර සිටම රට සංවර්ධනය කරන ආකාරය පිළිබඳ උගතුන්, වියතුන් සමඟ සැලසුම් හැදුවා. අධ්‍යාපනය, ජාතික ආරක්ෂාව, විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ සැලසුම් කළා. මෙවර මහ මැතිවරණයේදී මෙරට මහජනතාවගේ නියෝජනයක් වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ රට ගොඩනැගීමට උගත් පිරිසක්, බුද්ධිමත් පිරිසක් අවශ්‍යයි. ඒ වගේම තමයි රටට ආදරය කරන දේශප්‍රේමීත්වය අනිවාර්යයෙන්ම මේ නායකයන්ට තිබිය යුතුයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම්

පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා හැටියට ඊළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය ජයග්‍රහණය කරන ආකාරය පිළිබඳ තමයි මම හිතන්නේ. ඉදිරි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියන මතයේ මම නැහැ. පක්ෂයේ ජයග්‍රහණය තමයි මූලිකවම වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර ඉදිරිපත් කරපු සෞඛ්‍යයේ දැක්ම ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළට සහය දක්වනවා.

මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන

බොහෝමයක් ජනතාවගෙන් මටත් විශාල ඉල්ලීමක් තියෙනවා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න මම බලාපොරොත්තු වනවා. උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි කියලා තමයි ජාතික ලැයිස්තු ක්‍රමය හඳුන්වා දුන්නේ. නමුත් එය නිසි ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ. පසුගිය පාර්ලිමේන්තුව තුළ මැතිවරණය පරාජය වූ බොහෝ දෙනෙක් නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගියා. මේ වනවිට මේ සමාජය වෙනස් වෙමින් පවතිනවා. අලුතින් හිතන අලුත් දේවල් කරන පිරිසක් මේ සමාජය තුළින් ඉස්මතු වෙමින් පවතිනවා. ඒ නිසා උගත් බුද්ධිමත් වියතුන් මේ රට ගොඩ නැගීමේ කාර්යයට දැන් අවශ්‍ය වෙනවා.

අජිත් නිවාඩ් කබ්රාල් – අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක හා හිටපු මහ බැංකු අධිපති

මේ වනවිට නව ජනාධිපතිවරයකු යටතේ රට සංවර්ධනය කරා යන විශාල වැඩ කොටසක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ එය සටහන් වෙලා තිබුණා. මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වීමට මගෙත් බලාපොරොත්තුවක් තිබෙනවා. ජනතාවට සේවයක් කරන්න බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒ වගේම තමයි උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු යවන්න ඕන කියන මතය මේ වනවිට සමාජ ගත වෙලා තියෙනවා. කොහොමත් අලුත් පාර්ලිමේන්තුවක් තුළ නව මුහුණුවරක් තිබිය යුතුයි කියන මතයේ මම ඉන්නවා.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය චරිත හේරත්

අද සමාජය තුළ දේශපාලනය ඈත් වෙමින් යනවා. අපේ රටේ ව්‍යවස්ථාදායකයේ ප්‍රශ්නය යටට වැටිලා තියෙන්නේ මේ වනවිට. ඒ වගේම තමයි විද්වතුන්, උගතුන් සහ වෘත්තිකයන් පාර්ලිමේන්තුවට යැවීමේ අවශ්‍යතාවයක් තියෙනවා. හොඳ බුද්ධිමත් කණ්ඩායමක් බිහිවීම තුළින් මේ රටට යම් සේවයක් කරන්න පුළුවන් කියන මතයේ මම ඉන්නවා. ඒ වගේම තමයි කුරැණෑගල දිස්ත්‍රික්කයේ බොහෝ දෙනා මගෙන් ඉල්ලීම් කරලා තියෙනවා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ලෙසට. මමත් බලාපොරොත්තු වෙනවා ඉදිරි මහ මැතිවරණයට තරග කරන්න.

ශ්‍රී ලංකා විනිමය හා සුරුකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපළක් වන මුත්තයියා මුරලිදරන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සහ තිලකරත්න ඩිල්ශාන් කළුතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන බවට නිල නොලත් ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වී තිබේ. – හසිත් අංජන