හෙට අනිද්දා එන්නත් කරන බව කියා ජනතාව මුළා කරන්න එපා / රනිල් වික්‍රමසිංහ

Sri Lanka

කොවිඩ් එන්නත සෑම කෙනෙකුටම ලබා දෙන බව කියමින් රටේ ජනතාව මුළා නොකළ යුතු බවඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන්ට පත්වීම් ලිපි භාරදීම සහ එම නිලධාරීන් වැඩභාර ගැනීම වෙනුවෙන් පැවැති උත්සවයේදී පක්ෂ නායකයා එසේ කීවේය.

සර්ව ආගමික ආශිර්වාදයෙන් අනතුරුව එජාප නව නිලධාරීන්ට පත්වීම් ලිපි භාර දුන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මෙසේද කීය.

මේ අලුත් නිලධාරී මණ්ඩලයට අනාගත වැඩ සැලැස්ම භාරදීලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට විශාල පසුබෑමක් ඇතිවුණා. නමුත් ඒ පසුබෑම ඉදිරියට යාම සඳහා අවස්ථාවක් කරගත යුතුයි. ඒ සඳහා අපි සංවිධානය විය යුතු ආකාරය ගැන තීරණය මේ නිලධාරී මණ්ඩලයට භාරයි. ඒ සැලසුම් සාකච්ඡා කළ පසුව මාධ්‍ය සමග ඒ ගැන සාකච්ඡා කරලා කරුණු පැහැදිළි කිරීමේ කටයුත්ත මේ නිලධාරී මණ්ඩලයට භාර දෙනවා.

අප එක් කරුණක් සිහිතබා ගත යුතුයි. අද රටේ ප්‍රධාන ප්‍රශ්නය බවට පත්ව තිබෙන්නේ සෞඛ්‍ය ආරක්ෂාවයි. ඒ වෙනුවෙන් දැනට එක්සත් ජාතික පක්ෂයෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුව ගැන අපි අලුත් කරුණු කියා තිබෙනවා. මේ කාලයේදී දේශපාලන කරුණු කතා කරන ගමන්, සංවිධානය වෙන ගමන්, ගමේ ආසන මට්ටමින් සෞඛ්‍යාරක්ෂාව සඳහා සැමදෙනා ඒකරාශී කිරීම අපේ ප්‍රධාන කාර්යයක් වී තිබෙනවා. ජනතාව ලෙඩ වෙනවා නම්, කොවිඩ් වසංගතයෙන් අපි නැති වෙනවා නම් පක්ෂ භේදයෙන් තොරව ඒ අය රැකගැනීම අපේ වගකීමක්.

කොවිඩ් 19 පාලනය ගැන තවම අපේ රටේ සැලැස්මක් ඉදිරිපත් කර නැහැ. මාධ්‍යයෙන් එක එක කරුණු ඉදිරිපත් කරනවා. කොවිඩ් එන්නත මාර්තු මාසයේ එනවා, අප්‍රේල් මාසයේ එනවා කියා මාධ්‍යයෙන් අපට කියනවා. සමහර වෙලාවට ජනතාව මුළා වෙනවා. ඒත් කවුරුත් ආණ්ඩුවෙන් අහනවද කොතැනින්ද මේවා ගෙන එන්නේ කියලා. කුමණ රටත් එක්කද ගිවිසුම තියෙන්නේ. කොවැක්ස් සංවිධානය එක්ක ගිවිසුමක් තියෙනවද. ඇමැතිවරිය නොවැම්බර් මාසේ පාර්ලිමේන්තුවේදී කිව්වා කොවැක්ස් සංවිධානය එක්ක ගිවිසුම තියෙනවා කියලා. මේ අවුරුද්දේ ඒවා සපයන්න ඩොලර් මිලියන විසි පන්දහසක් ඕනෑ. මං හිතන්නෙ නැහැ කොවිඩ් සංවිධානයට ඒකෙන් තුනෙන් එකක්වත් තියෙනවා කියලා. අපි දැනුම් දීලා තියෙන්නේ පළමු වටයෙදි එන්නේ 3% ක් විතරයි. දෙවන වටයෙදී 17% ක් එනවා. අපි වාසනාවන්තයෝ නම් මේ අවුරුද්ද අවසානයේදී එය ලැබෙනවා. නැත්නම් එන අවුරුද්දේ ලැබෙනවා. සමහරු කියනවා මේක අවසන් කරන්න අවුරුදු තුනක් හතරක් යනවා කියලා. එහෙම නම් ඇත්ත තත්ත්වය අපට කියන්න. අපිටත් සූදානම්ව ඉන්න පුළුවන් මාස හයක් හෝ අවුරුද්දක් හෝ. මේ අවුරුද්දේ මාස තුන හතරකින් එන්නත් කරලා මේක අවසන් කරනවා කියා හැම කෙනෙකුටම බලාපොරොත්තු දෙන්න එපා. එන්නත් කිරීම ගැනත් ප්‍රශ්න තියෙනවා. මේ ගැන හරියටම අපට දැන ගන්න වෙන්නේ තව අවුරුදු දෙක තුනක් ගියහමයි. සමහරු ස්වල්ප දෙනෙක් මියගිහින් තියෙනවා. එනිසා බලාපොරොත්තු ඇතිනොකර ඇත්ත තත්ත්වය කියන්න සෞඛ්‍ය නිලධාරීන්ට වගකීම දෙන්න. ප්‍රධාන වැඩ කටයුත්තත් ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියකුට දෙන්න. එය කළ යුතුයි. ජනතාව සියලුදෙනා හෙට අනිද්දා එන්නත් කරනවා කියලා රට මුළා කරන්න එපා. කිසිම රටක එය සිදුවන්නේ නැහැ.

ආණ්ඩුව අපිට කියන්න කොතරම් කල් යනවාද..කා එක්කද කතා කළේ. අත්සන් කළේ මොකක්ද, මොනවද ලැබෙන්නේ. ජනවාරියේ මොනවද අත්සන් කළේ. අනෙක් රටවල් ඊට කලින් අත්සන් කළා. මට පුදුම එක මාධ්‍යක්වත් මේක ආණ්ඩුවෙන් ප්‍රශ්න නොකිරීම ගැන. ඒ ප්‍රධාන ප්‍රශ්නය අහන්න. සමහර විට හෙට මාධ්‍යයෙන් මට බනියි මම මේක ඇහුවා කියලා. ඒකට මට කමක් නැහැ. කොහොමත් මට හැමදාම බනිනවනේ. මට බනින්නේ නැති දවසක් නැහැ. ඒත් රට වෙනුවෙන් අපිට මේ කරුණු කියන්න.

එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

අසීරු අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂය භාර ගෙන යළි පක්ෂය ගොඩ ගනිමින් වරක්, දෙවරක්, තුන්වරක් මේ පක්ෂය ආණ්ඩු බලයට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුණා. රට ශක්තිමත් කරන්න කටයුතු කළ නායකයෙක් වන රනිල් වික්‍රමසිංහ යටතේ තමයි අපට මේ වසරේදී එක්සත් ජාතික පක්ෂය යළි ගොඩ නගන්න සිදුව තිබෙන්නේ. මේ නව නිලධාරී මණ්ඩලය එකිනෙකා වෙන් වෙන් වශයෙන් නොව එක අරමුණක් වෙනුවෙන් වැඩ භාර ගැනීමේ ලිපි අපි අත්සන් කළා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *