අධිකරණයට කළ බලපෑම් හඩපටවලින් හෙළිවෙනවා / අගමැති

ආන්දෝලනාත්මක හඩපට මගින් පසුගිය සමයේ අධිකරණයට එල්ලවූ බලපෑම් අනාවරණ වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අගමැතිවරයා මෙම අදහස් පල කළේ අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති පුවත්පත් කතුවරුන්ගේ හමුවකදී අදහස් දක්වමින්.

මේ තත්වය අනුව අධිකරණ තීන්දු  පිළිගන්නෙ කොහොමද කියල අද වෙනකොට ජනතාව අපෙන්  ප්‍රශ්න කරනවා. මේ අධිකරණයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රතිඵල  බරපතලයි. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම අපට තිබෙනවා. අධිකරණයේ විශ්වාසය නැති වීමත් එක්ක රට තුළ අරාජික තත්ත්වයක් ඇති වෙලා.

දැන් අධිකරණයේ හැම තීන්දුවක් දෙසම සැකයෙන් බලන තත්ත්වයක් සමාජයේ ඇති වෙලා තිබෙනවා. ඒ කාලේ අපේ අයට සමහර නඩු දාලා තියෙන්නේ වාහන භාවිතා කිරීම වගේම වාහන භාවිතා කරන්න අවසර දීම වගේ දේවල් වලට.

මගේ අමාත්‍යංශ වල මුදල් ගනුදෙනු පිළිබඳව මේ දවස්වල සොයාගෙන යනවා. කෝටි ගණන් වියදම් කරලා තියෙනවා. ඒ පිළිබඳ කිසිම තහවුරු වීමක් සිදුවෙලා නැහැ. සංස්කෘතික අරමුදල සම්පූර්ණයෙන්ම විනාශ කරල දාලා.”

මෙහිදී පුවත්පත් කර්තෘවරුන් අසනු ලැබූ  ප්‍රශ්න වලට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය සමයේ අධිකරණයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් අධිකරණයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ  ඇතැමුන් සම්බන්ධ වූ බවයි. මෙම තත්ත්වය වළක්වා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අග්‍රවිනිශ්චකාර වරයාට පැහැදිලි වගකීමක් තිබෙන බවත් ඔහු පැවැසීය.

වැඩිවන සහල් මිල ගැන මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ වී අලෙවි මණ්ඩලය වහා ම ශක්තිමත් කර වී මිලට ගැනීමට වැඩපිළිවෙළක් මේ වන විට  සකස් කරමින් තිබෙන බවයි.