අමෙරිකාවේ ඉරානයට එරෙහි පියවර ජවිපෙ හෙළාදකී

ඉරානය තුල හටගෙන ඇති තත්ත්වයන් හා එරටට එල්ලවන බලපෑම් හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
මේ ඊට අදාළ නිවේදනයයි.

ඉරානය වෙත දියත් කෙරෙන යුද්ධය හෙළා දකිමු
ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් ඉරානයේ ප්‍රධානතම හමුදා අණදෙන නිලධාරියෙකු වන ජෙනරාල් කසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමත් එයට පළිගැනීම් වශයෙන් ඉරාන හමුදා විසින් සිදුකෙරෙන මෙහෙයුම්ද මැදපෙරදිග කලාපය පමණක් නොව මුළු ලෝකයම තවත් ලෝක යුද්ධයක් වෙත තල්ලු කරමින් තිබේ.
ජාත්‍යන්තර නීතිය හා එක්සත් ජාතීන්ගේ සම්මුතිය මෙලෙස අමු අමුවේ උල්ලංඝනය කිරීම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය වශයෙන් අපි දැඩි සේ හෙළාදකිමු. මෙම ක්‍රියාව ඉරානයේ ස්වාධිපත්‍යයට එල්ල කල තර්ජනයක් වශයෙන්ද වෙනත් ජාතියක ස්වාධිපත්‍යය ආක්‍රමණය කිරීමක් වශයෙන්ද අපි දකිමු.
සිය අණදෙන නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් ඉරානයේ කෝපය සඳුදා දින ටෙහෙරාන්හි පැවති අවමඟුල් පෙරහැර අවස්ථාවේ වීදි බට මිලියන ගණනක් ඉරාන ජනතාව තුළින් ප්‍රකාශයට පත් විය. ඉරානය මෙම කෝපය සන්සිඳුවා ගැනීමට අසල්වාසී ඉරාකයේ හා සිරියාවේ ඇමරිකානු හමුදා කණ්ඩ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීමේ ඉඩක් පවතී. මේ වන විටත් ඉරානය විසින් ඇමරිකානු හමුදාව රැඳී සිටින ඉරාකයේ හමුදා කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.
මෙයට ප්‍රතිචාර දක්වමින් ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඔවුන්ට ලෝකයේ වඩාම බලවත් හා වඩාත්ම සන්නද්ධම හමුදා සිටින බවය. කෙසේ වුවද තමන් යුද්ධයක් ඇතිකර ගැනීමට බලාපොරොත්තු නොවන නමුත් ආරක්ෂාවට හා ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ක්‍රියාත්මක වන බව ඔහු පවසා ඇත. මෙම තත්ත්වය විසින් ලෝකයේ සියලු රටවල් විශේෂයෙන්ම තුන්වන ලෝකයේ රටවල් ඇද දමනු ලැබ ඇත්තේ බලවත් අනතුරකටය. එසේම මෙම යුගයෙහි ඇතිවන යුද්ධයක් එක් කලාපයකට හෝ රටවල් කිහිපයකට පමණක් සීමා නොවනු ඇත.
ඉරානය අනතුරු අඟවා ඇත්තේ තමන්ගේ සත්‍ය පළිගැනීම වන්නේ ‘එක්සත් ජනපදයට කලාපයෙන් ඉවත්වන ලෙසට බලකිරීම’ බවටය. ඇමරිකාව මෙම මෙම තර්ජන නොසලකා හැරියද ඔවුන්ගේ හමුදා සහ දේශපාලන න්‍යායපත්‍රයන් පවත්වාගෙන යාමට නව ප්‍රදේශ අවශ්‍ය වනු ඇත. ආරංචි මාර්ග පවසන ආකාරයට දැනටමත් ඉන්දියානු සාගරයේ එක්සත් ජනපද නෞකා ගණනාවක් රඳවනු ලැබ ඇත. ඇක්සා :්ක්‍ී්* සහ සෝෆා :ීධත්‍්* යන ගිවිසුම් අත්සන් කිරීම රටේ ස්වාධිපත්‍යයට විශාල තර්ජනයක් වන අතර, හමුදා ක්‍රියාදාමයකදී එහි මධ්‍ය ලක්ෂයක් බවට අප රට පත් වීමේ අවදානමක්ද ඇත.
එසේම මැද පෙරදිග රැකියාවන්හි නියුතු ශ්‍රී ලංකාවේ පමණක් නොව තුන්වන් ලෝකයේ බොහෝ රටවල ශ්‍රමිකයින්ගේ රැකියා හා ජීවිත පිළිබඳ අවදානමක් ඇති වී තිබේ. අවශ්‍ය මොහොතකදී මෙම ජනතාව ඉවත් කරවා ගැනීමට රජය ඉක්මන් පියවර ගත යුතුය.
එසේම මෙම ගැටුම ඉන්ධන මිල මතද බලපෑම් කරනු ඇති අතර රටේ ආර්ථිකයට දැනටමත් බලපෑම් කරමින් පවතී. තවද ලෝකයේ අතිශයින්ම වැදගත් තෙල් ගමන් මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනයේ අවදානම ඇති වන අතර එය තෙල් හිඟයකටද තෙල් මිල ඉහළ යාමකටද හේතු විය හැක.
ජනතා විරෝධී ප්‍රතිපත්ති ගෙන යන රටක ජනාධිපතිවරයෙකුගේ වගකීම් විරහිත මෙම ක්‍රියාව මැද පෙරදිග කලාපය තුළ සංකීර්ණ තත්වයක් ඇති කළ හැකි අතර එය විසින් විනාශකාරී යුද්ධයකින් අවසන් වීමට ඉඩකඩ ඇති නව සිදුවීම් හා ආතතීන් දාමයක් ඇති කිරීමේ ඉඩ ඇත. දිගින් දිගටම එක්සත් ජනපද පරිපාලනය විසින් ඔප්පු කරමින් සිටින්නේ, ලෝක සාමයට හා අනෙක් රටවල පමණක් නොව එක්සත් ජනපදයේ ජනතාව අතර සහජීවනයට සිටින ලොකුම සතුරා එම පරිපාලනයම බවය.
මෙම දුර්දාන්ත ක්‍රියාව හෙළාදකින අතරම, එක්සත් ජනපදය ඉරානය මත ඇති කිරීමට උත්සාහ දරන යුද්ධය වැළැක්වීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා ලෙස එක්සත් ජාතීන් වෙත බල කර සිටිමු.
එක්සත් ජනපද පරිපාලනය විසින් සිදුකරන ලද මෙම දැඩි ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම හෙළා දකින මෙන් එක්සත් ජාතීන් ගේ සම්මුතියට ගරු කරන අනෙකුත් රාජ්‍යයන් ගේ ස්වාධිපත්‍යයට ගරු කරන ලෝක නායකයින්ට බලකර සිටිමු.
ලෝක සාමය සහ සහජීවනය වෙනුවෙන් වූ ව්‍යාපාර ශක්තිමත් කරන මෙන් සාමයට ආදරය කරන ලෝකවාසී ජනතාවට, ප්‍රගතිශීලී හා වාමාංශික බලවේගවලට ආරාධනා කර සිටිමු.
එසේම අධිරාජ්‍යවාදී අතපෙවීම්වලට එරෙහි ඉරාන ජනතාවගේ සාධාරණ අරගලයට අපගේ සම්පූර්ණ සහයෝගය ප්‍රකාශ කර සිටිමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ