රාජිතට අධිකරණයේ පෙනී සිටීමට නොතීසි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන 17 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය දින නියම කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි රාජිත සේනාරත්න මහතාට ඇප නියම කළේ.

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධියට අදාළව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී ඔහු ඇප මත මුදාහැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. එම නියෝගය දෝෂ සහිත බව පවසමින් නීතිපතිවරයා මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කළ නියෝගය සංශෝධනය කර ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නීතිපතිවරයා ප්‍රතිශෝධන පෙත්සමින් ඉල්ලා තිබෙනවා. පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම්කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට මීළඟ දින අධිකරණයේ පෙනී සිටීමට ද කොළඹ මහාධිකරණය අද නොතිසි නිකුත් කළා.