ශ්‍රීලනිපයට එරෙහි ෆවුසිගේ පෙත්සම මාර්තු 23 විභාගයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන්ව ඉවත් කිරීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි තීන්දු කොට එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා ඉදිරිපත් කළ පෙත්සමක් මාර්තු මස 23 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරනු ලැබුවා.

එම පෙත්සම අද විජිත් මළල්ගොඩ, එස්. තුරේයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අතර  එහිදී විනිසුරු මඩුල්ල පෙත්සමේ වග උත්තරකාර පාර්ශවයට නියම කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේනම් ඒවා අද දින සිට සති හතරක් තුල ගොනු කිරීමට පියවර ගන්නා ලෙස යි.

ඉන් අනතුරුව පෙත්සම මාර්තු මස 23 වැනිදා විභාගයට ගන්නා බව ද විනිසුරු මඩුල්ල නියම කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පකෂයේ සභාපතිවරයා වන හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන , එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර , එම පක්ෂ විනය කමිටුව , මැතිවරණ කොමිෂන් සභාවේ සභාවේ සභාපති හා සාමාජිකයින් ඇතුළු 14 දෙනෙකු නම් කර තිබෙනවා.