ධීවර නෞකා මගින් කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමක්

කොරෝනා වෛරසය වැළඳී තිබෙන්නේ දැයි පරීක්ෂා කිරීම පිණිස කටුනායක ගුවන් තොටුපොළේ ක්‍රමවේදයක් සකස් කොට ඇති නමුත් මත්ස්‍ය නැව්වල පැමිණෙන පුද්ගලයන් එසේ පරික්ෂා කිරීම සඳහා ධීවර වරායන් තුළ වැඩපිළිවෙලක් නොමැති බව ධීවර රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් අල්ලන චීන නැව් හේතුවෙන් කොරෝනා වෛරසය පහසුවෙන් ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බවට ධීවර සංගම් කිහිපයක් සැක පළ කිරීම පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

එවැනි වැඩපිළිවෙලක් නොමැතිවීම ගැන රජයේ අවධානය යොමු වී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය සහ පුත්තලම දිස්ත්‍රික් බහුදින ධීවර යාත්‍රා නියමුවන්ගේ සංගමය ඇතුළු ධීවර සංවිධාන කීපයක් හා ධීවර ව්‍යාපාරිකයන්, ධීවර නියමුවන් හා ධීවරයන් එකතුව සෙනසුරාදා (ජනවාරි 25) මාරවිල දී පවත්වන ලද මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය විණි.

ඉහත කී මාධ්‍ය හමුවට පෙර ධීවර සංවිධාන, ධීවර ව්‍යාපාරිකයන් හා ධීවරයන් අතර පැවති සාකච්ඡාවකදී තීරණය වූයේ වහාම පිටරට නැව් ශ්‍රී ලංකා මුහුදේ මසුන් අල්ලා ශ්‍රී ලංකාවේ ධීවර වරායන් වෙත ගෙන ඒම නැවැත්වීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජය පියවර ගත යුතු බවය.

මෙහිදී සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ ධීවර කර්මාන්තයේ නිරතවීම සඳහා පසුගිය රජය චීනය ඇතුළු විදේශික ධීවර නෞකා 27කට අවසර දුන් අතර වත්මන් රජය පසුගිය මාස දෙක ඇතුළත ධීවර නෞකා 07 කට එසේ අවසර දී ඇති බවය.

ධීවර යාත්‍රාවක් මුහුදට දැමීම සඳහා තමන්ට නීති රීති 22ක් බලපෑවත් මෙම නැව්වලට එම නීති බල නොපාන බවද ඔහු පැවසීය. තමන් ඇතුළු බහුතර ධීවරයන් වත්මන් රජය බලයට පත් කර ගත්තේ මෙවැනි තත්වයක් ඇති කිරීමට නොවන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

විශේෂයෙන්ම කොරෝනා වෛරසය පිළිබඳව එහිදී ප්‍රධාන අවධානයට ලක් වූ අතර, එහිදී ධීවරයන් කියා සිටියේ ශ්‍රී ලංකාවට මේ මත්ස්‍ය නැව් ළඟාවීමේදී කිසිදු සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් තමන් නොදුටු බව බවය.

මේ වන විට ගුවන්තොටුපොළේ එවැනි වැඩපිළිවෙලක් ඇති මුත් මේ දක්වා දික්ඕවිට ඇතුළු ධීවර වරායන්වල එවැනි සෞඛ්‍ය ආරක්‍ෂිත වැඩපිළිවෙලක් නොමැති බව ඔවුන්ගේ අදහසය.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ධීවර රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, අලුතෙන් මත්ස්‍ය නැව් හතක් එකතුවීම පිළිබඳව තමන් දන්නා අතර ඒ තීරණය ගෙන ඇත්තේ විශේෂ කමිටුවකින් බවය. ධීවරයන් මතු කරන කරුණු පිළිබඳව සොයා බලන බව ද අමාත්‍ය සනත් නිශාන්ත වැඩිදුරටත් පැවසීය.- BBC Sinhala

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish