කොරෝනා සුළුවෙන් තැකුවොත් වැඩ වරදියි

නව කොරෝනා වෛරසය ලෝකය පුරා පැතිරී යෑම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවැනි තීරණයක් ගැනීමට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ කොරෝනා වෛරසය චීනයෙන් පිටත රටවල් 18ක පැතිර යෑමට පටන් ගැනීම නිසාය. හදිසි තත්ත්වය ප‍්‍රකාශයට පත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පැවසුවේ ‘‘චීනයේ සිදුවෙමින් පවතින දේ ලොව වෙනත් රටවල සිදු නොවීමට ඉඩ නොතැබිය යුතු බවයි”. නව කොරෝනා වෛරසය දුර්වල සෞඛ්‍ය පද්ධති ඇති රටවලට බලපෑමක් එල්ල කළ හැකි බව අද්නාම් ගෙබ්‍රෙයෙසස් සිය නිවේදනයෙන් පවසා තිබිණි..

ලෝක සොඛ්‍ය සංවිධානය මීට පෙර අවස්ථා පහකදී හදිසි අවස්ථා ප‍්‍රකාශයට පත් කොට තිබේ. ඒවා නම් 2009 වසරේ එච් 1 එන් 1 වෛරසය, 2014 – 2012 වසරවල පෝලියෝ ඉහළ යෑම, 2016 වසරේ ඇමරිකාව පුරා පැතිර ගිය සිකා වෛරසය, 2014 සහ 2019 වසරවල අප‍්‍රිකාවේ පැතිර ගිය ඉබෝලා වසංගතය වැනි සිද්ධීන්වලදී ගෝලීය හදිසි තත්ත්ව ප‍්‍රකාශයට පත් වී තිබේ. 2009 වසරේ පැතිර ගිය සූකර උණ නොහොත් එච් 1 එන් 1 වෛරසය හේතුවෙන් ලොව පුරා 200,000 කට අධික පිරිසක් මිය ගියහ. එම නිසා ඉදිරියේදී කොරෝනා වෛරසයෙන් ඇතිවන මරණ ප‍්‍රමාණය අවම කර ගැනීමේ වගකීමක් ලෝකයේ සෑම රටකටම පැවරී තිබේ.

චීන හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව, පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසයෙන් නව රෝගීන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය ලොව පුරා මුළු සංඛ්‍යාව 9,800 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් බහුතරය චීන ජාතිකයන් වන අතර තවත් රටවල් 18 කින් රෝගීන් 98 ක් හමු වී තිබේ. එම කාලය තුළ චීනයේ තවත් මරණ 40 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය සිය පුරවැසියන්ට චීනයේ සංචාරය නොකරන ලෙස උපදෙස් නිකුත් කර තිබේ. එම නිසා මෙම ගෝලීය තත්ත්වයන් පිළිබඳව ශ‍්‍රී ලංකාව අවදියෙන් පසුවිය යුතුය. නමුත් ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් මේ තත්ත්වයන් සම්බන්ධයෙන් එතරම් අවධානයක් යොමු නොකරන බවක් ඔවුන් කරන ප‍්‍රකාශවලින් පෙනේ.

කොරෝනා වෛරසය ලංකාවේ පැතිර යෑම සම්බන්ධයෙන් පෙරේදා සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකදී අමාත්‍යාංශය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය පබා පලිහවඩන පවසා තිබුණේ මේ දිනවල චීනයේ සිට ලංකාවට ගෙන්වනු ලබන සිසුන් විශේෂ ස්ථානයක රඳවා තබා ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවය. වෙනත් රටවල එවැනි ක‍්‍රමවේද අනුගමනය කළද ලංකාවට එවැනි ක‍්‍රමවේද අවශ්‍ය නැතැයි වෛද්‍ය පබා පලිහවඩන පවසන්නීය. ඇත්තටම මෙය ලංකාවට නොව කොරෝනා වෛරසයට කළ අපහාසයකි. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගෝලීය මට්ටමේ පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතිද්දී, ලංකාව පමණක් වෛරසයේ බලපෑම ගැන නිගමනයකට පැමිණියේ කෙසේද? කොරෝනා වෛරසයට එරෙහිව ඉතා කෙටි කාලයක් තුළ ප‍්‍රතිවෛරසයක් පවා නිපදවූ ඔස්ටේ‍්‍රලියාව, චීනයේ සිට ගෙන්වනු ලබන සිය පුරවැසියන් සති දෙකක කාලයක් රඳවා තබාගනු ලබන්නේ ක‍්‍රිස්මස් ¥පතේය. මීට විවේචන එල්ල වුවද වෛරසය පැතිර යෑම පාලනය කිරීමට ගත හැකි හොඳම විසඳුම මෙය බව ඔස්ටේ‍්‍රලියාව පවසයි. පෙරේදා ඉතාලියට ගොඩබෑමට නියමිතව තිබූ මගීන් හයදහසක් රැගත් නෞකාවක කොරෝනා ආසාදිතයන් බවට සැක රෝගීන් දෙදෙනකු සිටීමෙන් පසු නෞකාවේ සියලූ මගීන් පරික්ෂා කිරීමට ඉතාලි රජය පියවර ගෙන තිබිණි. එම රෝගීන් දෙදෙනාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ. මේ වන විට ලෝකයේ පිළිගත් ගුවන් සමාගම් 7ක් මාර්තු මාසය වන තෙක් චීනයට පියාසර කිරීම නවතා තිබේ. එවැනි අවදානම් තත්ත්වයක චීනයේ සිට ලංකාවට පැමිණෙන සිසුන් කෙලින්ම නිවසට පිටත් කිරීම අවදානමක් නොවේද?

ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් දක්ෂ වැඩ කිරීමට වඩා කටමැත දෙඩවීමටය. මේ විදියට කයිවාරු ගැසුවාට තවමත් රටේ සෞඛ්‍ය බලධාරීන්ට ඩෙංගු මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට නොහැකි වී තිබේ. පසුගිය වසරේ පමණක් ඩෙංගුවලින් 100 දෙනකු මරණයට පත් විය. ආසාදනයට ලක් වූ පිරිස 88,371කි. මෙවැනි වසංගත රෝග ඉතිහාසයක් ඇති ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් කොරෝනා වෛරසය ගැන අනාවැකි පළ කිරීමේදී වඩා පරිස්සම් විය යුතුය. හොඳම දේ ලෝකය මෙම වෛරසයට මුහුණ දෙන ආකාරය බලා, ඉතා කඩිනමින් එම සැලසුම් ලංකාවේ ක‍්‍රියාත්මක කිරීමය. ගෝලීය වසංගත ඉදිරියේ ළදරුවන් මෙන් නොහැසිරෙන ලෙස අපි සෞඛ්‍ය බලධාරීන්ගෙන් වගකීම් සහගතව ඉල්ලා සිටිමු. – Divaina

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :