කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි මහත්මිය ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයකට අනුවයි.

මුදල් විශුද්ධිකරණ පනත හා අල්ලස් පනත යටතේ වැරදි සිදුකර ඇති බවට චෝදනා මත අද (06) මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පළල් බඳ සහිත ගුවන් යානා ඇණියක් ලබා ගැනීමේදී සිදු වූ බව කියන වංචාවකට අදාළවයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය හා අදාළ එයාර් බස් සමාගම අතර ගනුදෙනුවේදී ඇමෙරිකා ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත් බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ද අදාළ නිලධාරීන්ට නියෝග කර  තිබුණා.

සෑම පැත්තක්ම ආවරණය වන පරිදි පූර්ණ පරීක්ෂණයක් කර එහි ප්‍රතිඵල තමන්ට දැනුම් දෙන ලෙසයි ජනාධිපතිතුමා නියෝග කළේ.