සුදුසුම ලකුණ පොහොට්ටුව පමණයි / සිරිපාල ගම්ලත්

සහල්  මිල සහ එළවළු මිල හේතුවෙන් ජනතාවගේ ජීවන බර වැඩිවීම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයට මුහුණදෙන ආකාරය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අනාගත ඉරණම ආදි කරුණු පිළිබඳ අදහස් දක්වමින් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මැතිහමුවට එක්වේ.

– ජීවන බර ප්‍රශ්නය තාවකාලිකයි 
– මගේ වගකීම් මම ඉටුකළා 
– එජාපය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා 
– කුඩා මෝල් හිමියො විහින් අමාරුවේ වැටෙනවා 
– ල් මිල පාලනය ගොවියාටත් හොඳයි

ජනතාවමත පැටවිලා තියෙන ජීවන බර අඩුකරන්න ආණ්ඩුවක් හැටියට ගන්න ක්‍රියාමාර්ග මොනවාද?

මේ ආණ්ඩුවට තවම මාස දෙකයි. පහුගිය ආණ්ඩුවෙ ක්‍රියාකලාප නිසා ජනතාවමත යම්කිසි පීඩනයක් පැටවිලා තියෙනවා. ජීවන බර අඩුකරන්න නම් හාල්වල ඉඳල එළවළු දක්වා මිල අඩුකරන්න අවශ්‍යයි. පහුගිය කාලෙ නියඟය වගේම වැස්ස නිසාත් ගොවිතැන්වලට බලපෑම් එල්ලවුණා. මේ කන්නයෙ අස්වැන්න නෙළීම ආරම්භවෙලා. ඒ වගේම කාලගුණයත් හොඳයි ඉදිරියෙදි මේ තත්ත්වය වෙනස්වෙයි.

හාල් මිල වැඩිවෙන්න හේතුව වී මාෆියාව කියලයි කියන්නෙ. පොළොන්නරුවෙ තමයි වැඩිම හාල් මෝල් හිමියො ඉන්නෙ. මේ මාෆියාව ගැන ඔබ මොකද කියන්නෙ?

ඔය අර්ථකථනය වැරදියි. හාල් හිඟයකින් තොරව වෙළෙඳ පොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් තියෙනවා. පහුගිය කාලෙ හාල් ගබඩා, වී ගබඩා ගැන හෙව්වා. ව්‍යාපාරිකයන් ළඟ වී තොග කොච්චර තියෙනවද බැලුවා. මාස්කන්නයෙ වී ලැබෙන කොට ව්‍යාපාරිකයන් ළඟ වී තොග අඩුවෙනවා. පරණ වී හාල්කරල ව්‍යාපාරිකයො ඉක්මනින් වෙළෙඳපොළට දානවා. ඊට පස්සෙ තමයි අලුත් වී තොග ගන්නෙ.

මහාපරිමාණ වී මෝල් හිමියන් නිසා කුඩා පරිමාණ වී මෝල් වැසීයනවා නේද?

කුඩා ව්‍යාපාරිකයො ඉක්මනින් මහාපරිමාණ ව්‍යාපාරිකයො වෙන්න හදනවා. ඒ වෙනුවෙන් බැංකු ණය ගන්නවා. වියදම වැඩිකරගන්නවා. තමන්ට සරිලන විදියට ව්‍යාපාරය දියුණුකරගන්න ඒ අය දැනගන්න ඕන. අද මහා පරිමාණ ව්‍යාපාරිකයොත් මීට අවුරුදු 30 කට 35 කට විතර ඉස්සර කුඩා පරිමාණ ව්‍යාපාරිකයො වෙලා හිටපු අය. ටිකෙන් ටික තමයි දියුණු වුණේ.

ආණ්ඩුව හාල්වලට රුපියල් 98ක පාලන මිලක් දැම්මෙ, වෙළෙඳ පොළේ හාල් මිල ඊට අඩුවෙන් තියෙද්දි. දැන් පාලන මිල නිසා හාල් මිල ඉහළ ගිහින් නේද?

රුපියල් 105ට 110ට වෙළෙඳ පොළේ හාල් විකිණෙනකොට තමයි ආණ්ඩුව පාලන මිලක් දැම්මෙ. ව්‍යාපාරිකයත්, පාරිභෝගිකයත් රැ‍කගෙන තමයි මේ පාලන මිල තීරණය ‍කළේ. පාලන මිලට දැම්මෙ වීවලට සරිලන මිලක්. මේ හින්ද වී කිලෝවක මිල රුපියල් 50ක් විතර වෙනවා. මේක ගොවියටත් හොඳයි. මේ පාලන මිල නිසා සම්බ, නාඩු හාල් කිලෝවක මිල රුපියල් සියයට අඩුවෙන් තියාගන්න පුළුවන්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙදි දීපු පොරොන්දු ඉටුකරන්න ආණ්ඩුව හැටියට ගත්තු ක්‍රියාමාර්ග මොනව ද?

මේ ආණ්ඩුවට තාම දින 70ක් වගේ වෙන්නෙ. අවුරුදු පහකට දීපු පොරොන්දු ඉටුකරන්න අපි අලුත් ආණ්ඩුවක් හදන්න ඕන. ඒක අපි මහ ඡන්දෙන් පස්සෙ කරනවා. ජාතික ආරක්ෂාව, ආර්ථිකය කඩා වැටිච්ච රටක සියලුදේ අපි හිතන විදියට ඉක්මනින් කරන්න බැහැ. දැන් ජනාධිපතිතුමා පෞද්ගලිකවම රාජ්‍ය ආයතන ගැන හොයාබලනවා. කඩා වැටුණු රාජ්‍ය අංශය ශක්තිමත් කරන්න ඕන. සුළුතර ආණ්ඩුවකින් සියල්ල කරන්න බැහැ.

එක්සත් ජාතික පක්ෂයත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් කියන්නෙ, ජනාධිපතිවරයා ජනතාවට දීපු පොරොන්දු ඉටුකරන්න පාර්ලිමේන්තුවෙදි අත්දෙකම උස්සල සහාය දෙනව කියල නේද?

එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරන්න පුළුවන් ද? ඒ අය ඔහොම කිව්වට ඒ අයට කැමති ටිකට විතරක් අත් උත්සයි. ඒ අය දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේපවෙලා ඉවරයි. අපි ශක්තිමත් රජයක් හදල ජනතාවට අවශ්‍ය සහන දීල පොරොන්දු ඉටුකරනවා.

ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ඉල්ලනවා. එහෙම බලයක් ජනතාවගෙන් ලැබෙයි ද?

ආණ්ඩු බලයක් නැතුව, ජනාධිපති බලයක් නැතුව විපක්ෂයෙ ඉඳගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණේ ජනතාවගෙ විශාල බලයකින්, ජනතාව බුද්ධිමත්, ඒ වගේම මේ රට හදන්න ජනතාවට වෙන විකල්පයකුත් නැහැ. එක්සත් ජාතික පක්ෂයෙ අර්බුද ලිහාගන්න බැරි කට්ටියකට රටක් බාරදෙන්න ජනතාව සූදානම් නැහැ.

යහපාලන ආණ්ඩුව දීපු පෝෂණ මල්ලත් කපල. ආණ්ඩුවෙම සමහරු තමන්ගෙ මුදල්වලින් පෝෂණ මල්ල දෙන තත්ත්වයට පත්වෙලා. මෙහෙම තියෙද්දි ඊළඟ මැතිවරණය ගැන ඔබ ඉන්නෙ අධිතක්සේරුවක නේද?

පෝෂණ මල්ල දෙන එක නවත්වල නැහැ. තවමත් ආණ්ඩුවෙ සල්ලිවලින් ඒ සහන දෙනවා. වෙනත් සහන දුන්නත් ඒ සියල්ල දෙන්නෙ ආණ්ඩුවෙන්. මැතිවරණය කිට්ටුවෙද්දි, ආණ්ඩුවෙන් දෙන ඒවත් තමන්ගෙන් දෙන විදියට රඟපාන අය ඉන්නවා. ජනතාවට ඇත්ත හංගන්න බැහැ. ඒවට උත්තර ඊළඟ ඡන්දෙදි ලැබෙයි.

ජනාධිපතිවරයා අලුත් ගමනක් යන්න හදනවා. විශේෂයෙන් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම, දූෂණ වංචා අවම කිරීම වැනි කාරණා ඒ අතර තියෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ? 

රට හදන්න නම් ජනාධිපතිතුමාගෙ දැක්ම අපි පිළිගන්න ඕන. ජනතාවට ලබාදෙන සේවාව සරලව දෙන්න ඕන. පහුගිය ආණ්ඩුව කරපු සංවර්ධන වැඩවලට මුදල් ගෙවල නැහැ. ඒ අයගෙ නම් සමරු ඵලකවල තිබුණට සල්ලි ගෙවන්න වෙලා තියෙන්නෙ‍ අපිට. පොළොන්නරුවෙ විතරක් රුපියල් මිලියන 4232ක් ගෙවන්න තියෙනවා. ව්‍යාපෘති විවෘතකළාට ඒව හදපු අයට සල්ලි ගෙවල නැහැ.

ඊළඟ පාර්ලිමේන්තුවට උගත්තු බුද්ධිමත්තු අවශ්‍යයි කියන ජනාධිපතිවරයගෙ අදහස ගැන ඔබේ මතය මොකක් ද?

උගත්කමත් බුද්ධිමත්කමත් දෙකම ව්‍යවස්ථාදායකයට අවශ්‍යයි. උගත් සමහරු බුද්ධිමත් නැහැ. බුද්ධිමත් සමහරු උගත් නැහැ. මේ දෙකේම එකතුවක් පාර්ලිමේන්තුවට අවශ්‍යයි. ප්‍රායෝගිකව වැඩ කරන්න පුළුවන් අයයි, පොතේපතේ දැනුමෙන් වැඩ කරන්න පුළුවන් අයයි එකතුකරගෙන හොඳ රටක් හදන්න පුළුවන්.

පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරය හැටියට පොළොන්නරුවෙ ජනතාවගෙ ගැටලු ගැන ඔබේ අවධානය කොයිවගේ ද?

පොළොන්නරුවෙ සංවර්ධන වැඩවලට පහුගිය ආණ්ඩුව ගෙවන්න තියෙන මුදල් ගෙවන විදිය ගැන අපි මුලින්ම හොයා බලනවා. ඒ වගේම අලුතෙන් ජනතාවට ලබාදෙන්න ඕන දේවල් ගැනත් හොයා බලනවා. මාස්කන්නයෙ වගාකිරීම් ප්‍රමාද වුණා. ගොවියට නිසි වෙලාවට වතුර ටික දෙන්න ඕන. ඒ වගේම ගොවියගෙ වෙළෙඳ පොළ හරියට හදන්න අවශ්‍යයි. ප්‍රධාන වශයෙන් පොළොන්නරුවෙ පානීය ජල ප්‍රශ්නය තියෙනවා. අපි ඒ වෙනුවෙන් විශාල ව්‍යාපෘතියක් පටන්ගන්නවා. අලි – මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් අවශ්‍යයි. ඒවාට පැලැස්තර විසඳුම් ජනතාවට එපාවෙලා. අපි ඒ ජනතාව සමඟ කතාකරනවා. ඒ අයගෙ යෝජනා ක්‍රියාත්මක කරනවා. ග්‍රාමීය මාර්ග පද්ධතිය අලුත්වැඩියා කරන්න අවශ්‍යයි.

මහමැතිවරණයෙදි පොදුජන පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්ව තරඟ කළ යුතුයි කියල ඔබ විශ්වාස කරනවද? ඒ වගේම ඡන්ද ලකුණ මොකක් විය යුතු ද?

ඡන්ද ලකුණ පොහොට්ටුව වෙන්න ඕන. ඒ ලකුණ වාසනාවන්තයි. ඒ වගේම ජයග්‍රහණයේ ලකුණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ දැවැන්තම පක්ෂය වෙලා ඉවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව අපිට තියෙනවා. එක්ව තරග කිරීම අපි හැමදෙනාටම වාසියි.

ජනාධිපතිවරණයෙදි පොදුජන පෙරමුණට උතුරු, නැඟෙනහිර ඡන්ද ලැබුණෙ ඉතාම අඩුවෙන්. මේ ඡන්ද දිනාගන්න වැඩ පිළිවෙළක් තියෙනව ද?

උතුරට – දකුණට කියල මේ ආණ්ඩුවෙන් විශේෂයක් නැහැ. මේ වෙනකොටත් සෑම ග්‍රාමසේවා වසමකටම රුපියල් මිලියන දෙකක මුදලක් දුන්නා. ඒ සංවර්ධනය රට පුරා එක සමානව යන්න ඕන. ජනතාව ආණ්ඩුවෙ වැඩපිළිවෙළ තේරුම් ගන්න ඕන.

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ගැටලු ගොඩක් තිබෙන බව කියනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ගැටලු ගොඩක් ඇතිවුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හින්ද. ඒ නිසා මේ ව්‍යවස්ථාව සංශෝධනය වෙන්න ඕන.

2019 අවුරුද්දෙ පාර්ලිමේන්තුවෙ වචනයක්වත් කතානොකරපු මන්ත්‍රීවරුන්ගෙ ලැයිස්තුවෙ ඔබේ නමත් තියෙනවා, ඒ ගැන ඔබ මොකද කියන්නෙ?

පො‍ෙළාන්නරුවෙ ජනතාව මං ගැන තියපු විශ්වාසයට මම ගරු කරනවා. ඒ අයට වෙන්න ඕන සේවය මම හරියටම ඉටුකළා. ඒ නිසා තමයි ඒ අය මාව තෝරල යවන්නෙ. අදටත් ජනතාව මගෙත් එක්ක ඉන්නවා. ජාතික වශයෙන් වැදගත් වෙන හැම අවස්ථාවකදිම පාර්ලිමේන්තුවෙ මගෙ නියෝජනය උපරිමයෙන් දීල තියෙනවා. එදා විපක්ෂය හැටියට කටයුතු කරද්දිත් මම විපක්ෂයෙ වගකීම ඉටුකළා. නියෝජ්‍ය ඇමතිවරයෙක්, රාජ්‍ය ඇමතිවරයෙක් හැටියටත් මට ලැබුණු වගකීම් මම ඉටුකරල තියෙනවා. – dinamina

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :