දිවා කාලයේ පාසල් දරුවන් ක්‍රීඩා පිටියට යැවීමෙන් වළකින්න / අධ්‍යාපන අමාත්‍යාංශය

වත්මන් කාලගුණය හමුවේ පාසල් සඳහා නිර්දේශ කිහිපයක් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා.

මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය හා උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන සංකූලතාවන්ගෙන් පාසල් දරුවන් ආරක්‍ෂා කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග එමගින් පෙන්වා දී තිබෙනවා. නිතර නිතර ජලය පානය කිරීම,  සීනි අධික බීම වර්ග භාවිතයෙන් වැළකීම,  එළිමහනේ ගමන් ගන්නා අවස්ථාවල හිස් වැසුම් පැළඳීම හෝ කුඩයක් භාවිත කිරීම,  අධික උෂ්ණත්වය ඇති විට මුහුණේ සහ අත්වල ජලය තැවරීම මෙන්ම පෙරවරු 11 සහ පස්වරු 3.30 අතර කාලය තුළ අධික දහදිය පිටවන ව්‍යායාම නොකිරීමට සිසුන්ට උපදෙස් ලබා දීම ඊට ඇතුළත්.

එමෙන්ම පාසල තුළ බීමට අවශ්‍ය ජලය සපයා තිබීම,  ප්‍රථමාධාර කණ්ඩායම් සූදානම් කර තිබීම,  ගැටලු සහගත අවස්ථාවල සිසු සිසුවියන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම ආදී කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ.

එමෙන්ම පංති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබෙන සේ දොර ජනෙල් විවෘතව තැබීමත්,  රෝගී තත්ත්වයන් සහිත දරුවන් සුවය ලබන තෙක් පාසලට යොමු නොකරන ලෙස දෙමව්පියන් දැනුවත් කිරීමට කටයුතු කිරීමත් වැදගත් බව ඉන් අවධාරණය කර තිබෙනවා.