චීන කතට සුවයි / ලංකාවෙන් පිටවී යාමටත් සූදානම්

කොරෝනා වෛරසය ආසාදනය වී බෝවන රෝග විද්‍යායතනයේ සිටි චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා අද රෝහලෙන් පිටව යාමට සැලසුම් කර තිබුණ ද එම කාර්යය කල් තැබුණා. කෙසේ වුව ද සියලු වෛද්‍ය පරික්‍ෂණ වාර්තාවලට අනුව ඇය සම්පූර්ණ සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 27 වනදා සිට බෝවන රෝග විද්‍යායතනයට ඇතුලු වූ මෙම කාන්තාව ඉතිහාසයට එක්වුණේ ශ්‍රී ලංකාවෙන් හමු වූ ප්‍රථම කොරෝනා රෝගියා ලෙසයි. වහා ක්‍රියාත්මක වූ සෞඛ්‍ය අංශ ඇයට ඉතා ආරක්‍ෂා සහිතව ප්‍රතිකාර ලබා දීම සිදු කළා. බෝවන රෝග විද්‍යාතනයේදී මෙසේ සාර්ථකව ප්‍රතිකාර ලබා දීම සිදු කෙරුණු අතර අවශ්‍ය වෛද්‍ය පරික්‍ෂණ කඩිනමින් සිදු කිරීමට වෛද්‍ය පරික්‍ෂණ ආයතනය ක්‍රියා කළා. ශ්‍රී ලංකාවේ වෙදකමේ හා සත්කාරයේ ආශිර්වාදයෙන් සුවය ලැබු මෙම චීන ජාතික කාන්තාව අද රාත්‍රියේ සිය මව් බිම බලා යාමට සූදානමින් සිටි බවයි වාර්තා වන්නේ. ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවසන් වාර්තා කිහිපයක් ලැබීමට නියමිත බැවින් එම සියලු වාර්තා ද සහිතව මව්බිම බලා යාමට අවස්ථාව සලසා දිම සෞඛ්‍ය අංශවල අපේක්‍ෂාව වුණා. ඒ අනුව අද දිනයේ නොහැකි වුව ද කඩිනමින්ම චීනය බලා යාමට ඇයට හැකිවනු ඇති.

මේ අතර ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වූ බව‍ට සැකපිට රෝහල් ගතවූ පුද්ගලයින් 15 දෙනා මේ වනවිට දිවයින පුරා රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ. චීනයේ වූහාන් නගරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මේ වනවිට දියතලාව යුද හමුදා කදවුරේ විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටින පුද්ගලයින් 33 දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් එළඹෙන සෙනසුරාදා දිනයේ දී එම පිරිසට නිවෙස්වලට යාමට හැකිවන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ. එම පිරිස අනිද්දා දිනයේ යුද හමුදා මූලස්ථානයේදි තමන් ලැබූ අත්දැකීම් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමට ද නියමිතයි.