මෙරට අපනයන ආර්ථිකය තුළ වැවිලි බෝගවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එයින් ද ප්‍රධාන අපනයන බෝග සේ සැලකෙන්නේ තේ, පොල් සහ රබර් ය. එහෙත් මේ වැවිලි කර්මාන්තය පසුගිය කාලය පුරාවටම පෙන්නුම් කරනු ලැබූයේ ආරෝහණ ගමන් මඟකට වඩා අවරෝහණ ගමන් මඟකි. වෙසෙසින්ම සිලෝන් ටී වැනි දැවැන්ත සන්නාමයකට හිමිකම් කියන තේ කර්මාන්තය පත්ව තිබුණේ අවාසනාවන්ත ඉරණමකට ය. එක් පැත්තකින් තේ දළු නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ කඩාවැටීම නිසා තේ ගොවියා අසරණ විය. අනෙක් අතට මහා පරිමාණ කර්මාන්තශාලා දිගින් දිගටම පාඩු ලැබීම නිසා තේ කම්කරුවා අසරණ විය. තේ කර්මාන්තය අවුලෙන් වියවුලට ගමන් ගනිමින් තිබිණ.

එහෙත් මේ වනවිට ඒ සියල්ල අතීතයට පමණක් අයිතිවූවක් බව පසක් කරමින් තේ කර්මාන්තය නැවතත් අළු ගසා දමමින් නැඟී සිටිමින් හිඳී. ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ ඍජු අධීක්ෂණය යටතේ රජයට අයත් තේ කර්මාන්තශාලා රටට බරක් වූ රාජ්‍ය ආයතන ගොන්නෙන් මිදී රටට ධන උල්පත් බවට පත්වන්නට ආරම්භ වී තිබේ.  මෙරට ප්‍රධාන වැවිලි බෝග අතුරින් තේ මේ වනවිට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ සියයට 0.9කි. පොල් සියයට 0.8කි. රබර් 0.3කි. ඒ නයින් බලන කල තේ යනු මෙරට ප්‍රධානම වැවිලි බෝගය බව පැහැදිලිය.

තේ වගාව අර්බුදයට පත්වීමට ප්‍රධාන හේතු කිහිපයකි. ඉන් එකක් වන්නේ තේ නැවත වගාවක් සිදුනොවීම ය. රාජ්‍ය අංශයේ නියාමනය අඩුවීම ද තවත් හේතුවකි. තේ වෙන්දේසියට කසළ තේ වැඩි වශයෙන් එකතුවීමත් ඒ හේතුව මත ජාත්‍යන්තරයේ සිලෝන් ටී සඳහා ඇති පිළිගැනීම යම් හායනයකට ලක්වීමත් තවත් සාධකයකි.

රාජ්‍ය වැවිලි සංස්ථාව 2016 අගෝස්තු වනවිට වාර්තා කළ වාර්ෂික පාඩුව රුපියල් මිලියන 250කි. ඊට පෙර වසරවලදීද රුපියල් මිලියන 200කට ආසන්න වශයෙන් වැවිලි සංස්ථාව පාඩුවට පත්ව තිබූ අතර වතු කම්කරුවන්ට සේවක අර්ථසාධක, පාරිතෝෂික ගෙවීමට පවා සංස්ථාවට මුදල් නොතිබුණි. එසේත් නැතිනම් අවශ්‍ය මුදල් සොයාගැනීමට උනන්දුවක් දක්වා නොමැත.

ඒ සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකදී තහවුරු වී තිබුණු කරුණු කිහිපයකි. ඉන් ප්‍රධාන එකක් වූයේ දළු කිලෝවකට ලබාගන්නා මුදල ප්‍රමාණවත් නොවීම ය. එනම් රජයේ කර්මාන්තශාලාවලින් නිකුත් කෙරෙන තේ දළු කිලෝවක් සඳහා අයකරගෙන තිබුණේ රුපියල් 48ක් පමණි. නමුත් විවෘත වෙළෙඳපොළේ එම වකවානුවේදීම පෞද්ගලික අංශය විසින් තේ දළු විකුණා තිබුණේ කිලෝව රුපියල් 65 බැගිනි.

තවත් හේතුවත් වූයේ වැවිලි සංස්ථාව යටතේ පවතින තේ කර්මාන්තශාලා තුනෙහි නිපදවන තේ කොළඹ තේ වෙන්දේසියට පසුගිය අවුරුදු දහයක පමණ කාලයක් තිස්සේ ඉදිරිපත් කර තිබුණේ තේ කිලෝවකින් රුපියල් අසූවක පමණ පාඩුවක් සිදුවන ලෙස ය. එනම් තේ කිලෝවක් නිපදවන්නට යන වියදමටත් අඩු මුදලකට ඒවා විකුණා තිබුණි. එවැනි සැපයුමක පැවැති ව්‍යාපාර අරමුණ, දැක්ම කුමක්දැයි සිතාගැනීමටවත් නොහැකි ය.

මෙරට වැවිලි බෝග වගාව සම්බන්ධ සියලු ප්‍රතිපත්ති තීරණ ගනු ලබන්නේ වැවිලි කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය මගිනි. ඒ යටතේ ආයතන 30ක් පමණ තිබේ. නමුත් පසුගිය විශේෂ රාජ්‍ය ආයතන 65ක් තෝරාගෙන ඒවා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නමින් අලුත් අමාත්‍යංශයක් පිහිටුවා ඒ වෙත භාරදුනි. ඊට ඇල්කඩුව වැවිලි සමාගම, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම සහ රාජ්‍ය වැවිලි සංස්ථාව යන ආයතන පහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයෙන් ගැලවී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතට පැවරිණි. ඒ තුළ යම් වෙන්වීමක් දුරස්ථතාවක් ඇතිවූ තිබුණ ද පොළොවේ ඇති ඇදය පේන්නේ නටන්න බැරි එකාට පමණකැයි පෙන්වාදෙමින් වැවිලි කර්මාන්තය තුළ යළි ප්‍රබෝධයක් ඇති කිරීමට රාජ්‍ය වැවිලි සංස්ථාව මේ වනවිටත් පියවර ගණනාවක් ගෙන හමාරය.
ඒ අනුව ගනු ලැබූ අතිශය සාධනීය පියවරක් ලෙස තේ අලෙවියට වැවිලි සංස්ථාව පිවිසීම හඳුන්වා දිය හැක. ‘සංස්ථා තේ’ යන නාමය ඔස්සේ තේ අලෙවි කිරීමට වැවිලි සංස්ථාව පියවර ගත් අතර සාමාන්‍ය වෙළෙඳපොළ මිලට වඩා රුපියල් සියයක් පමණ අඩුවෙන් තේ කිලෝවක් අලෙවි කිරීමටත් කටයුතු යොදා තිබේ. එහෙත් ඒ හරහා මෙතෙක් තේ කිලෝවකින් තිබුණු රුපියල් අසූවක අලාභය වෙනුවට රුපියල් එකසිය විස්සක පමණ ශුද්ධ ලාභයක් ලැබීමට ද අවස්ථාව උදාවිය. පළමු මාසයේදී තේ කිලෝ අටසීයයකින් ඇරඹි තේ අලෙවිය මේ වනවිට මසකට කිලෝ පන්දහස දක්වා ඉහළට නැඟ ඇත්තේ ද ඊට හිමි විශේෂ රසවත් බව නිසාවෙනි.

තේ අලෙවිය සමඟ ඊළඟට පැනනැඟුණු ගැටලුව වූයේ බෙදාහැරීමේ කටයුතු සාර්ථක කරගැනීම ය. වැවිලි සංස්ථාව සතු බෙදාහැරීම් ජාලයක් නොවූ නිසාවෙන්ම ඍජු අලෙවිකරණ ක්‍රමෝපායන් භාවිත කිරීමට තීරණය කෙරුණි. ඒ යටතේ රාජ්‍ය ආයතන කිහිපයක් හා සාකච්ඡා පවත්වා ඒවාට තේ අලෙවි කිරීමට ආරම්භවුණි. සංස්ථා තේවල ඇති ඊටම ආවේණික රසය නිසාවෙන්ම එය දිනෙන් දින ජනප්‍රිය වුණි.

අපි ප්‍රංශයේ, ඉතාලියේ ඇති මිදි වතු ආශ්‍රිත වයින් සංචාරණය ගැන අසා ඇත්තෙමු. ඒ ආභාසය ලබාගනිමින් තේ කර්මාන්තශාලා ආශ්‍රිත වානිජ වටිනාකම තවදුරටත් වැඩිකිරීම සඳහා වැවිලි සංස්ථාව ගෙන ඇති තවත් සුවිශේෂී පියවරක් වනුයේ වැවිලි කර්මාන්තය හා සංචාරක කර්මාන්තය එකට යා කිරීම ය. කඳුකරයේ ඉතාමත් මනරම් පරිසරයන්හි වැවිලි සංස්ථාව සතු බංගලා පිහිටා තිබේ. රිවර්ස්ටන්, නකල්ස් මායිමේ පිහිටා ඇති මේ බංගලා සංචාරකයින් වෙනුවෙන් ලබාදීම ඔස්සේ අතිරේක ආදායම් ජනනය කිරීම දැනටමත් ආරම්භ කොට තිබේ.

තවත් අපූරු ක්‍රමවේදයක් වන්නේ තේ වතු ආශ්‍රිත තරුණි තරුණියන් සඳහා පාවහන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම ය. එපමණක් නොව මදුරුවන් පලවා හැරිය හැකි හඳුන්කූරක් මදුරු කූරු නිෂ්පාදනයට ද වැවිලි සංස්ථාව අත්පොත් තබා ඇත. ඖෂධීය ශාක කොටස් යොදාගනිමින් නිපදවෙන මේ මදුරු කූරු කිසිදු අයුරකින් මිනිස් සෞඛ්‍යයට අහිතකර වන්නේ ද නැත. එක් පැකට්ටුවකින් රුපියල් දහයක ලාභයක් සහිතව මේ මදුරු කූරු බෙදාහැරීමේ නියෝජිතයෙක් පවා මේ වනවිට සොයාගෙන තිබේ.

මේ ඇතැම් නිෂ්පාදන තවමත් ක්‍රියාත්මක වන්නට ඉතිරිව තිබියදීම 2017 මැයි මාසයේදී රුපියල් ලක්ෂ 140ක මූල්‍ය ලාභයක් අත්කරගැනීමට වැවිලි සංස්ථාව සමත්වීම සුවිශේෂී සන්ධිස්ථානයකි. අධික වර්ෂාව නිසා සිදුවූ ඵලදාවේ අඩුවීම සහ නඩත්තු කටයුතු සඳහා කම්හල් දෙකක් තාවකාලිකව නවත්වා දැමීම පසුගිය මාස කිහිපයේද සිදු නොවුණේ නම් මැයි සිට අඛණ්ඩ වර්ධනයක් ලබාගනිමින් ඉහළ කාර්යක්ෂමතාවක් ළඟා කරගන්නට ද ඉඩ පැවැතියේය. එහෙත් වඩාත් වැදගත් කරුණ යන්නේ දක්ෂ රියැදුරෙකු අතට ලැබෙන වාහනයක් මඟ තොට කුමන බාධක පැවැතියත් සුරක්ෂිතව ගමනාන්තය කරා ගෙනයෑම බව පසක් කරමින් අභියෝග තුළින් රාජ්‍ය වැවිලි සංස්ථාව සාර්ථකත්වය කරා මෙහෙයවීමට වත්මන් පාලනාධිකාරියට කටයුතු කර ඇති බව සාධාරණ ඇසකින් ඒ දෙස බැලූ විට පෙනෙන යථාර්ථය යි.

2016 අගෝස්තු වනවිට රුපියල් මිලියන 1027ක නොගෙවූ සේවක අර්ථ සාධක මුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් ගෙවීමට පියවර ගැනීම ද වැවිලි සංස්ථාව මේ වනවිට අත්කරගෙන ඇති තවත් සාර්ථකත්වයකි. ඉන් රුපියල් මිලියන 500ක් දැනටමත් ගෙවා අවසන් කොට ඇති අතර ඉතිරි රුපියල් මිලියන 700ක පමණ ශේෂය ද ලබන අප්‍රේල් මැයි වනවිට ගෙවා දැමීම වැවිලි සංස්ථාවේ බලාපොරොත්තුව වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ තේ වතු 10ක්, මාතලේ තේ වතු 03ක් හා ගාල්ලේ තේ වතු 01ක් වශයෙන් රට පුරා තේ වතු 14ක් පාලනය කරන ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සතුව පවතින මුළු තේ ඉඩම් විශාලත්වය අක්කර 25,000කට වැඩිය. ඒවායේ කම්කරුවන් 4000ක් පමණ ද කාර්ය මණ්ඩල නිලධාරීන් වශයෙන් 480ක් පමණ ද දෙනා සේවය කරති. ඉදින් ඔවුන් සියලු දෙනාගේ ඕනෑ එපාකම් සලකා බලමින් තිරසාර දියුණුවක් කරා යෑමට නිසි දැක්මක් වැවිලි සංස්ථාවට ලැබී ඇති බව පැහැදිලිය.

රෙහාන් රාසික්

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.