රාජ්‍ය ආයතන 70ක පමණ උපායශීලීව ලබාගත් තොරතුරු පදනම් කරමින් කළ විශ්ලේෂණයක ප්‍රතිඵලය වූයේ පසුගිය වසර තුන තුළදී රාජ්‍ය සේවයේ තෘප්තිමත්භාවය 28% සිට 12% දක්වා අඩු වී තිබෙන බවය. මෙය රටේ බරපතළ ගැටලුවක් වශයෙන් මානවචර්යා අධ්‍යයන හා නායකත්වය පුහුණු කිරීම් ආයතනයක් වන හයි බ්‍රෑන්ඩ් ටීම් විසින් හඳුනාගනු ලැබුණි. මේ පදනම මත ඔවුහු රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවක තෘප්තිමත්භාවය පිළිබඳව පර් යේෂණයක් කළෝය. රාජ්‍ය සේවකයාගේ තෘප්තිමත්භාවයට බලපාන කරැණු මොනවාද? පෞද්ගලික අංශයේ තත්ත්වය කෙබඳුද හා මේ තත්ත්වය මගින් ලැබිය හැකි පාඩම් මොනවාදැයි සොයා බැලීමට හයි බ්‍රෑන්ඩ් ටීම් කණ්ඩායම මෙම පර් යේෂණය කළ බව එහි ප්‍රධානී දිනේෂ් විහඟුන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

ලෝකයේ කිසියම් පුද්ගලයෙක් තමා විශ්වාස කරන දෙය වෙනුවෙන් දැඩි ලෙස මහන්සි වන්නේ නම් එය තෘප්තිමත්භාවයයි. කිසියම් දෙයක් කෙරෙහි විශ්වාසයක් නැතත් ඒ වෙනුවෙන් මහන්සි වන්නේ නම් එය ව්‍යාකූලතාවයි. එබැවින් ලංකාවේ සේවකයාගේ තත්ත්වය සොයා බැලීමට සිය කණ්ඩායම කටයුතු කළ බව විහඟුන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් කියා සිටියේය. මූලිකව ගන්නා ලද තොරතුරු පදනම් කරමින් එම කණ්ඩායම විසින් පර් යේෂණය සඳහා නිර්ණායක 23 ක් ගොඩනගන ලදී.

ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ පළමු කැමති දහය වනුයේ පඩි වැඩිවීම, තමන් බියට පත් නොවන නිලධාරියකු ලැබීම, පහසුවෙන් පොදු ප්‍රවාහනය ලැබීම, තමන්ට ගැලපෙන කළ හැකි රාජකාරි කටයුතු ලැබීම, යහපත් මානසික තත්ත්වයක් ඇති සේවකයන් කාර්යාලයේ සිටීම, තම කාර්යයන් අගයවීම, ආයතනය සාමකාමී තැනක් බවට පත්වීම, සුවපත් නින්දක් ලැබීම, නව ලෝකයට ගැලපෙන දැනුම පුහුණුව සහ යහපත් විශ්‍රාම දිවියක් ලැබීමය. එහෙත් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ පළමු කැමති දහය වනුයේ රැකියා අහිමිවීමේ බිය නොමැති වීම, කළමනාකරුගේ සිනහව ලැබීම, වගකීම් හා උසස්වීම් ලැබීම, නූතන ලෝකයට ගැලපෙන දැනුම පුහුණුව ලැබීම, පඩි වැඩිවීම, ඉතා සතුටින් වැඩ කිරීම, තමන් අගය කිරීම, හදිසි මරණයක් නොලැබීම, පහසුවෙන් ප්‍රවාහන පහසුකම් සපුරාගැනීම සහ ආයතනය ජනප්‍රිය වීම හා පුළුල් වීමය.

එහිදී රාජ්‍ය සේවකයන් 74%කගේ පළමු කැමැත්ත හා අවශ්‍යතාවය වූයේ පඩි වැඩිවීමයි. නමුත් පෞද්ගලික අංශයේ 80%කගේ පළමු කැමැත්ත වූයේ තමන්ගේ රැකියාවේ අහිමි නොවීමේ බලාපොරොත්තුවය. එමෙන්ම රාජ්‍ය සේවකයන් 21% ක් විශ්‍රාම දිවියට ළඟාවීම යන කාරණයට කැමැත්ත දැක්වීමත් විශේෂත්වයක් විය. පෞද්ගලික අංශයේ තම ආයතනය ජනප්‍රිය වීමට හා සමාජයට බලපෑම් කළ හැකි තත්ත්වයකට පත්වීම පිළිබඳව 66%ක් කැමැත්ත දක්වා තිබුණි. නමුත් රාජ්‍ය අංශයේ සේවකයන් තමන් සේවය කරන ආයතනය දියුණු වීම පිළිබඳව කැමැත්ත පළ කළේ 9%ක් වැනි කනගාටු විය යුතු අඩු සංඛ්‍යාවක් යැයි දිනේෂ් විහඟුන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

මෙය රටක් වශයෙන් විශාල ගැටලුකාරී තත්ත්වයකි. රාජ්‍ය ආයතනයේ නායකත්වය පිළිබඳව විශාල අර්බුදයක් තිබෙන බව මින් පැහැදිලිය. එමෙන්ම රාජ්‍ය ආයතන සංස්කෘතිය තුළ ගැටලුවක් තිබෙන බව පිළිගත යුතු සත්‍යයකි. විශේෂයෙන්ම ආයතන සංවර්ධනයේ දී, ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීමේ දී, අවදානම් දැරීමේ දී, මිනිසුන්ගේ අදහස් සමඟ ගනුදෙනු කිරීමේ දී හා ඒවා ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය නායකත්ව ලක්ෂණයන් රාජ්‍ය ආයතනය සතුව නැතිකම සියලු ගැටලුවලට මූලික හේතුව බව හයි බ්‍රෑන්ඩ් ටීම් පර්යේෂක කණ්ඩායම විසින් හඳුනාගෙන තිබේ.

එම කණ්ඩායම විසින් කළ තවත් පර්යේෂණයක් අනුව රාජ්‍ය ආයතන 60 ක් පමණ දැඩි ආතතියක් සහිත ආයතනයන්ය. ඒ ආයතනයන්හි සේවකයන්ගේ ආතතිය ඉතා ඉහළ අගයක් ගනියි. එය ද නරක තත්ත්වයක් යැයි ඉන්දික විහඟුන් මහතා ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ආයතනයක ආතතියක් තිබීම සාමාන්‍ය දෙයක් වුවද ඉහළ අගයක් ගැනීම බරපතළ කරුණක් බවය. එමෙන්ම මේ ආතතිය නැමැති හේතුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ ප්‍රධාන කැමැත්ත හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ පළමු කැමැත්ත වෙනස්වීමට බලපා තිබෙන බව ද ඔහු කීවේය.

පර්යේෂණයේ ලද තොරතුරු සංසන්දනය කිරීමෙන් නිගමන කිහිපයකට පර්යේෂණ කණ්ඩායම පැමිණ තිබේ. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මෙවැනි වෙනස් ආකාරයේ කැමැති දෙකක් තිබීමේ ප්‍රශ්නයට යම්තරමක් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ දරාගැනීමේ ශක්තියේ වෙනස වෙනස්ව බලපා තිබේ. විශ්වාසය ගොඩනගාගැනීම පිළිබඳව අංශ දෙකේ සේවකයන් අතර වෙනසක් තිබේ. එමෙන්ම ආයතනයට තිබෙන පක්ෂපාතීභාවය, වගකීම් දැරීම, අවදානම් දැරීම, ජයග්‍රහණ හඹායාම, රැකියාවට තිබෙන කැමැත්ත ආදී කරුණුවලදී වෙනසක් තිබේ. මේ සියලු අංශවල පෞද්ගලික අංශයට වඩා රාජ්‍ය ආයතන සේවකයෝ පහළ මට්ටමකින් සිටිති. ඊට හේතුව වී තිබෙන්නේ බොහෝ රාජ්‍ය ආයතනයන්හි සංස්කෘතියේ තිබෙන දුර්වලකම හා ආයතනික දෛනික ක්‍රියාවලිය නොහොත් සංස්කෘතියේ දුර්වලකම යැයි දිනේෂ් විහඟුන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

පෞද්ගලික අංශයේ සේවකයන් කළ පර්යේෂණයේ දී උසස්වීම් ලැබීම, පුහුණුව ලැබීම, ආයතනය පුළුල් වීම ආදී කරුණු කෙරෙහි කැමැත්ත දැක්වූයේ පෞද්ගලික අංශය ගොඩනගා තිබෙන සංස්කෘතිය හේතුවෙනි. නමුත් රාජ්‍ය අංශයේ සේවකයන් පුහුණුව ලැබීම, වෙනස්වීම ආදිය සම්බන්ධයෙන් ඍණාත්මක ප්‍රතිචාර දක්වා තිබෙන්නේ එහි තිබෙන ආතති තත්ත්වය මතය. ඇතැම් විටෙක ආයතනික සංස්කෘතිය, ආයතනික කැමැත්ත වෙනුවට ස්වකැමැත්ත ද ඉස්මතු වෙයි. එවැනි සේවකයන් ස්වකීය කැමැත්ත ඉටුකර ගැනීමට උත්සාහ කරනවා මිසක ආයතනික වශයෙන් ප්‍රබල වෙනස්කමක් කිරීමට කටයුතු නොකරයි. මේවා ජාතියක් වශයෙන් රටට අයහපත් අන්දමින් බලපාන්නේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිනේෂ් විහඟුන් මහතා මෙසේ අදහස් දැක්වූවේය.

“මේක වෙනස් කරන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්. මේ මානසිකත්වය වෙනස් කිරීම හා පාලනය කිරීම ඉතාම අපහසුයි. නායකත්වය උත්සාහ ගත්තත් දැඩි ලෙස විරෝධය දක්වන විරෝධාකල්ප කණ්ඩායම් රාජ්‍ය ආයතනවල කටයුතු කරනවා. සමහර විට ඔවුන් අනිත් සේවකයන්ගේ කටයුතු පවා පාලනය කරනවා. මඩ පත්තර, කේලම් කීම, රිඳවීම, ප්‍රධානීන්ව අත්පත් කර ගැනීමට උත්සාහ කරනවා. වැඩ කරන්නේ නෑ. නමුත් මෙවැනි ගැටලු පෞද්ගලික අංශයේ යම් තරමකට අඩුයි. පෞද්ගලික අංශයේ අඩුවෙන්න හේතුව තමයි, පෞද්ගලික අංශයේ යම්කිසි දැක්මක් සේවකයන්ට දීලා තියෙනවා. සමහර උද්දීපනයට ලක්විය හැකි ක්‍රියාවලියක් දීලා තියෙනවා. නමුත් රාජ්‍ය ආයතනවල දැක්ම දුර්වලයි. උද්දීපනයට ලක්විය හැකි ක්‍රියාවලියකුත් නෑ.”

අධ්‍යාපනය ක්ෂේත්‍රයේ 85% ක් මෙහෙයවන්නේ සහ පාලනය කරන්නේ රාජ්‍ය අංශය විසින්. අධිකරණ අංශයේ 60% ක් පමණ දේවල් කරන්නේ සහ නීති සම්පාදනය කරන්නේ ද රාජ්‍ය අංශයෙනි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 90%ක්ම මෙහෙයවන්නේ රාජ්‍ය සේවයෙන්ය. මූල්‍ය පාලනය අතින් ද විශාල මෙහෙයුමක් සිදුකරන්නේ රාජ්‍ය සේවකයන්ය. නමුත් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ දුර්වලකම් හේතුවෙන් රාජ්‍ය සේවයේ නූතන නායකත්වය අර්බුදයක වැටී තිබේ.

ප්‍රංශය වැනි ලොව සෙසු රාජ්‍යයෝ 2040 දක්වා සිතමින් සැලසුම් කරමින් සිටිති. නමුත් අප 2025 දක්වා හෝ සිතා තිබේද යන්න ප්‍රශ්නාර්ථයකි. එවැනි රජ්‍යයන්හි උසස් රාජ්‍ය සේවයක් තිබෙද්දී අප එකිනෙකා කුලල් කාගන්නා, වෙනස් වීමට අකමැති, අලුත් යමක් නොසිතන, පුහුණුවක් ලැබීමට අකමැති රාජ්‍ය සේවයකට හිමිකම් කියමු. මෙවැනි තත්ත්වයක ගමන් කළේ නම් තව අවුරුදු 20කින් රාජ්‍ය සේවයේ සිටින විරෝධ ආකල්ප දක්වන්නන්ගේ දරැවන්ටම විශාල පීඩනයන්ට ලක්වීමට සිදුවන බව හයි බ්‍රෑන්ඩ් පර්යේෂණ කණ්ඩායම මෙහෙයවන දිනේෂ් මහතා අවධාරණය කළේය.

“රාජ්‍ය අංශයේ සිටින අනවශ්‍ය පීඩනයන් දක්වන විරෝධාකල්ප දක්වන අය නිසා අධ්‍යාපනයේ මිල, සෞඛ්‍යයේ මිල, සෙසු සුභසාධන මිල දරාගත නොහැකි තරම් ඉහළ යන්නට පුළුවන්. සමහර ආයතනවල මේවට ඍජුවම හේතුවෙලා තියෙන්නේ නායකත්ව අර්බුදයයි. පෞද්ගලික අංශයේ යම් ප්‍රමාණයකට සංස්කෘතික ගතවෙලා තිබෙන උපායික දේවල් මත යම් ප්‍රමාණයකට ඔවුන් ලෝකය බලන විදිහ වෙනස් කරගෙන තියෙනවා. පුහුණු වැඩමුළුවක් පැවැත්වුවොත් පෞද්ගලික අංශයේ ඕනෑම මට්ටමක අයෙක් බලන්නේ වැඩමුළුවෙන් තමන්ට ගන්න පුළුවන්, දියුණු කරගන්න පුළුවන් යමක් තියෙනවාද කියලයි. නමුත් රාජ්‍ය අංශයේ ඇතැමුන් බලන්නේ අපිට හරියට කන්න දුන්නද, ඉන්න තැනක් දුන්නද, වැනි පටු දේවල්. ඒ නිසා සම්පූර්ණයෙන් ලංකාව අධ්‍යාපනිකව වෙනස් කළ යුතුයි.” යැයි හෙතෙම කීවේය.

කණ්ඩායමක් ලෙස ආයතනය වැඩ කරන්නෙ කොහොමද, එකිනෙකාගේ රුචි අරැචිකම්වලට ගරු කරන්නේ කොහොමද, එකිනෙකා සමඟ සම්බන්ධතා පවත්වන්නේ කොහොමද ආදිය ප්‍රබල ආයතනික වෙනසකට යාමට නූතන අධ්‍යාපනය දෙන එක තමයි එකම විසඳුම. වෙන විසඳුමක් නෑ. පොතේ පතේ අධ්‍යාපනය වගේ නායකයන්ට ලෝකය දකින විදිහ කියා දීමත් වැදගත්.

මෙවන් තත්වයක දී රජයේ වගකීමක් වන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනික සංස්කෘතිය දියුණු කිරීමට අවශ්‍ය අධ්‍යාපනික වෙනස්කමකි. අද රාජ්‍ය සේවකයන්ගෙන් 87%ක් උදෑසන අවදි වූ පසු පස්සේ රැකියාවට යෑමට මැලිකමක් දක්වන බව තවත් පර් යේෂණයකින් සොයාගෙන තිබේ. මෙවැනි පිරිසක් රාජ්‍ය අංශයේ රැකියා කිරීමෙන් රටේ ඇතිවිය හැකි තත්ත්වය කෙබඳුද!. මෙය පෞද්ගලික අංශයේ ද 60% ක් වැනි අගයක් ගනියි. එබැවින් සේවකයන් රැකගැනීමට, සේවකයන්ගේ දැක්ම පුළුල් කිරීමට නායකයන් බිහිකිරීමට අවශ්‍ය දැනුම ලබාදිය යුතුය. ඉදිරි දශකයට අවශ්‍ය නායකයන් බිහිකළ හැක්කේ, රැකියා වෙළෙඳපොළ ජයගත හැක්කේ නවීන නායකත්ව අධ්‍යාපනය හා පුහුණුව ලබාදීමෙන් පමණි.

► සකීෆ් සාම් තන්වීරි

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.