කොරෝනාටත් වඩා බිහිසුණු වෛරසය පතුරන මිනිස් වෛරස

ලෝකය පුරා ජීවිත හැට දහසක් බිලි ගනිමින් මාරක කෝවිඩ් 19 වෛරසය ලෝකය පුරා පැතිර යමින් තිබේ.
එහිදී කුඩා ශ්‍රී ලංකාව තවදුරටත් යම් සතුටුදායක මට්ටමක රැදී සිටින්නේආසාදිතයන් 159 ක් හා කණගාටුදායක පුද්ගල මරණ 5ක් සමගිනි.
වෛරසය මෙරට තුල පැතිර යාම වැලැක්වීම සදහා බලධාරීන් , නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ කැපී පෙනෙන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටියද වෛරසයටත් වඩා භයානක මිනිස් වෛරස තවමත් ශ්‍රී ලංකාව අවදානමට ලක් කිරීමට උත්සාහ දරනු දැකගන්නට ලැබීම කණගාටුදායකය.
ශ්‍රී ලංකාව වැනි අවම පහසුකම් සහිත රටක සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතිශය සීමා සහිත වන බැවින් මේ මොහොතේ ඉන් එක් අයකු හෝ අක්‍රිය වුවහොත් ඉන් සමස්ථ සමාජයටම එල්ල වන අවදානම ඉහළය.
එබැවින් කොරෝනා රෝග ලක්ෂණ ඇතොත් ඒ බව හෝ විදෙස්ගතව සිට පැමිණියේ නම් ඒ බව සැගවීමෙන් වළකින්නැයි ආරම්භයේ සිට මේ දක්වාම ජනතාවට දැනුම් දී තිබේ.
එහෙත් විවිධ අවස්ථාවලදී කොරෝනා ආසාදිතයන් මෙන්ම විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් සත්‍ය සඟවා රෝහල්වලට පිවිසීමෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට නිරෝධායනයට ලක්වීමට සිදුව ඇති අවස්ථා ගණන ලංකාව තුල ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ.
මීගමුව , රාගම ,කළුබෝවිල රෝහල මෙන්ම මේ වන විට කළුතර නාගොඩ රෝහලේ යම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් නිරෝධායනයට යොමුකර ඇත්තේ සත්‍ය සැගවූ ආත්මාර්ථකාමීන් පිරිසකගේ හැසිරීම හේතුවෙනි.
මේ මොහොතේ රට මෙන්ම ලෝකයද අවදානමට ලක්ව ඇති මොහොතක සෑම පුද්ගලයකුම අනෙකාගේ ජීවිතය කෙරෙහි වගකීමෙන් බැදී සිටින බව මනස උසස් මිනිසුන්ට පමණක් වටහා ගත හැක්කකි.
තිරිසනුන්ට එවන් හැගීම් නොමැති බැවින් වෛරස අවදානම මැද පවා උන් ඉබාගාතේ ඇවිද යනු වීථි පුරා දැකිය හැකිය.
එහෙත් මේ මොහොතේ එවන් පිරිස් හේතුවෙන් රටක් හා ජනතාවක් මෙන්ම එහි පරම ආරක්ෂකයා වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවදානමට ලක්කිරීමට ඉඩ දිය නොහැකිය.
එබැවින් වෛරස ආසාදන තත්ත්වය හෝ සබදතා පැවැත්වූ පුද්ගලයන් සැගවී සිටීම මෙන්ම නිරෝධායන මග හරින පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට උචිතම කාලය මේ වන විට එළඹී තිබේ.
නැතහොත් රෝහල් කාර්ය මණ්ඩල මෙසේ නිරෝධායනයට යොමු කිරීමට අහේතුකව ඉඩ හැරිය හොත් ඉන් සිදුවන්නේ ශ්‍රී ලංකාවද ඉතාලියක් ,අමෙරිකාවක් හෝ ස්පාඤ්ඤයක් බවට කොරෝනා වෛරසය මගින් පත්කීරමට ඉඩ සැලසීමය.
කොරෝනා වෛරසයේ හැසිරීම පිළිබද මේ වන විට කුඩා දරුවා පවා දැන සිටින බැවින් වගකීම් පැහැර හරිමින් කටයුතු කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැලකීම වඩා උචිතය.
රුසියාව එය අකුරටම ක්‍රියාත්මක කරමින් වසර 7ක සිර දඩුවමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලැබුවේද එසේ රට අවදානමට ලක් කරන්නන්ට එරෙහිවය.
මෙහිදී බුද්ධි අංශ යොදවා හෝ සොයා බැලිය යුතු කරුණ වන්නේ යම් පාර්ශවයක් උවමනාවෙන්ම මෙම වෛරසය පතුරුවා හැරීමට ඉඩ සලසන්නේද යන්නයි.
පන්නිල නගරයේ ආසාදිත කාන්තාවක් සිය සැබෑ පදිංචිය සගවා දර්ගා නගරය හරහා නාගොඩ රෝහලට පිවිස දරුවකු බිහි කිරීම වැනි සිද්ධීන් මෙහිදී වැඩි අවධානයකට ලක්වීම වැදගත් වේ.ඒ නිරෝධායන කලාපයක් බවට පත් කර ඇති කලාපයක කාන්තාවක් ඉන් පිටවීම හා වෙනත් ස්ථානයක පදිංචිය හගවා රෝහල්ගත වීම විශේෂිත හෙයිනි.
මේ මොහොත රට හමුවේ තීරණාත්මක වන බැවින් එම අවසන් අවස්ථාවද මග හැර ගතහොත් සිදුවන්නේ රජය විසින් ජනතාව ආරක්ෂා කිරීමට දරන වෑයම අපතේ යාමය.
එවැන්නක් සිදුවුවහොත් ආත්මාර්ථකාමීන් කිහිප දෙනකු වෙනුවෙන් සමස්ථ ලාංකීය ජාතියට ගෙවීමට සිදුවන වන්දිය ඉතා විශාල වනු ඇත. – අමල් අල්මේදා

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.