යහපත් දේ සිතෙහි නිධන් කොටගෙන යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කරලීමට කැප වීම ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූ නත්තල් දිනයේ අරුත බව පසක් කොටගත යුතුයැයි නත්තල වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එම සුබපැතුමෙහි මෙසේද දැක්වේ:

සාමයේ, ප්‍රේමයේ සුබාරංචිය ගෙන දේවපුත්‍ර ක්‍රිස්තුන් වහන්සේ ඉපදීම සමරනු ලබන නත්තල, කිතුනු ජනතාව අතිඋත්කර්ෂවත්ව සමරන ආගමික උත්සවයකි. මේ වන විට එය කිතුනු ජනතාව පමණක් නොව වාර්ගික, ආගමික භේදයකින් තොරව බහුතර ලෝකවාසීන් සමරන සංස්ක‍ෘතික උත්සවයක් බවටද පත්ව තිබේ.

ජනතාව රෝම අධිරාජ්‍යයේ සමාජ, ආර්ථික ක්‍රමය තුළ පීඩාවට පත් වෙමින් තිබූ වකවානුවක ක්‍රිස්තුන් වහන්සේ උපදින්නේ දිළිඳු ගවහලක, දිළිඳු මවුපිය යුවළකගේ පුතකු ලෙසිනි. උන් වහන්සේ සිය ජීවිතයම කැප කළේ භෞතික, ‍මානසික, ආධ්‍යාත්මික දිළිඳුභාවයෙන්, පීඩිතභාවයෙන් මිදීම සඳහා ආදරය, දයාව හා කරුණාව සපිරි යහපත් සමාජයක් නිර්මාණය කරලීම වෙනුවෙනි.

අද අප සමාජය ඉල්ලා සිටින්නේද වාර්ගික, ආගමික භේද ඉක්මවූ සාමය, සංහිඳියාව පිරුණු යහපත් පරිසරයකි; ගුණ දම් සපිරි වටපිටාවකි; නීතිය, සාමය හා යුක්තිය රජයන යහපත් දේශයකි.

යහපත් මිනිසා තම සිතෙහි නිධන් කළ යහපත් දෙයද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දෙයද උපදවන බව ශුද්ධ ව‍ූ බයිබලයෙහි සඳහන්ය. එහෙයින්, අප සැම අරමුණු කරගත යුත්තේ යහපත් දේ සිතෙහි නිදන් කොටගෙන, යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කරලීමටය.

සාම කුමාරයාණන් ලෙස හැඳින්වෙන ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූ නත්තල් දිනය සමරන අප සැමට නත්තල අර්ථවත් කරගත හැක්කේ එවිටය. ඔබ සැමට අසිරිමත් හා අර්ථවත් නත්තලක් වේවා!

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.