පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් යළි විභාගය හෙට

ජුනි 20 වනදා පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 08 වන දිනටත් අද සලකා බැලුණා.

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කෙරුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අලුවිහාරේ , සිසිර ද ආබෘෘ , ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේයි පෙත්සම් සලකා බැලුණේ.

අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ මල්වතු පාර්ශ්වයේ අධිකරණ සංඝනායක පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද ස්වාමීන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා ප්‍රකාශ කළේ විසුරුවා හැරි පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි. වසංගත තත්ත්වයක් ඇති අවස්ථාවක විසුරුවා හැරුණු පාර්ලිමේන්තුව යළි කැඳවීම තුළින් අත්වන ප්‍රතිඵලය කුමක්දැයි ඒ මහතා ප්‍රශ්න කළා. අයවැය අනුමත කර ගැනීමට පවා සහායක් නොදැක්වූ විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවූ පමණින් කොරෝනා පාලනයට කිසිඳු සහායක් නොලැබෙන බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. මහ මැතිවරණය සඳහා භාර දී ඇති නාම යෝජනා පත්‍ර අහෝසි කර ගැනීමේ අරමුණින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවටයි ඒ මහතා චෝදනා කළේ. අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය ජුනි 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසමට සිදු වූයේ පාලනය කළ නොහැකි කොවිඩ් වසංගත තත්ත්වය නිසායි. මෙසේ මැතිවරණය කල් දැමූ පමණින් කිසිවෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බව ද මාරපන මහතා පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස 3 ක් ඇතුළත මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බව සඳහන් කිසිඳු නීතිමය ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නොමැති බව ද ඒ මහතා කියාසිටියා. ඒ අනුව මෙම පෙත්සම්වල කිසිඳු නීතිමය පදනමක් නොමැති හෙයින් ඒවා සියල්ල විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස ගාමිණී මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා අධිකරණය හමුවේ කියාසිටියේ කොරෝනා වසංගතය හමුවේ දේශපාලන වාසියක් අත්කර ගැනීමේ අරමුණින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි. මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති වික්ටර් අයිවන් , පාක්‍යසෝති සරවණමුත්තු , රංජිත් මද්දුමබණ්ඩාර, රවුෆ් හකීම් , පාඨලී චම්පික රණවක , කුමාර වෙල්ගම යන පුද්ගලයන් වත්මන් රජය හා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ වැඩපිළිවෙළ පදනම් විරහිතව නිර්දය ලෙස විවේචනය කරමින් සිටින පුද්ගලයන් බව ද ඔහු පෙන්වා දුන්නා. ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පරාජය කිරීම සඳහා වෙර දැරූ මෙම පිරිස වර්තමානයේදී මහ මැතිවරණය කල් දමා ඒ තුළින් රජයේ ක්‍රියාකාරිත්වය අඩාල කිරීම සඳහා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙන බව ද ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා. සෞඛ්‍ය අංශ අනුමැතිය ලබා දීමෙන් පසු සති 9 ත් 11 ත් අතර කාලයක් තුළ මැතිවරණයක් පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. මැතිවරණ කොමිසම මහ මැතිවරණය කල් දැමීම සඳහා පෙත්සම්කරුවන්ට සහාය ලබා දෙමින් කටයුතු කරන ආකාරය පෙනී යන බවට චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා මෙම නීති කෘත්‍ය තුළ දැරූ පරස්පර විරෝධී ස්ථාවරයන් තුළින් එය ඔප්පු වන බව ද පෙන්වා දුන්නා.

තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූවා. 2019 වසරේ සම්මත කළ විසර්ජන පනත යටතේ ඉකුත් අප්‍රේල් මස 30 වනදා දක්වා රජයේ කටයුතු සඳහා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ණය ලබා ගැනීමට රජයට බලය පැවරී තිබුණු බව ප්‍රකාශ කළා. එවැනි නීතිමය ප්‍රතිපාදන පවතිද්දී ණය ලබා ගැනීමේ කටයුතු ඉටුකර ගැනීම වෙනුවෙන් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවීමේ අවශ්‍යතාවක් ජනාධිපතිතුමාට මතු නොවන බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

පෙත්සමක් ඉදිරිපත් කළ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කියාසිටියේ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මාස 3 කට වඩා වැඩි කාලයක් මහ මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිසමට බලය පවරා ඇති බවයි. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3 ක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු බවට පෙත්සම්කාර පාර්ශ්වය මතු කරන තර්කය පදනම් විරහිත බව ඔහු සඳහන් කළා. කොරෝනා වසංගතය පරාජය කිරීම සඳහා මෙරට තුළ නීති ප්‍රමාණවත්ව පැවති හෙයින් අලුතින් නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවූ බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. මේ හේතුවෙන් පෙත්සම්කරුවන් සඳහන් කරන ආකාරයට කොරෝනා මර්දනය සඳහා නව නීති සැකසීමට පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවක් ජනාධිපතිතුමාට මතු නොවූ බව ද කියාසිටියා. පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට දිනට කල් දැමුණා.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.