කරුණාට එරෙහිව පියවර ගන්න / ඕමල්පේ සෝභිත හිමි ඉල්ලයි

තමන් විසින්ම ත‍්‍රිවිධ හමුදාවේ දෙතුන්දාහක් මරා දමන්න නියෝග කළ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන කරුණා අම්මන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව දකුණු පළාතේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියෝ පවසනවා.

ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවේදී  තවදුරටත් අදහස් දැක්වූ  ආචාර්ය   ඕමල්පේ සෝභිත හිමියෝ ,

දිගාමඩුල්ල ප‍්‍රදේශයේ පැවති ඡන්ද රැස්විමකදි  කරුණා අම්මාන් නැමැති පුද්ගලයා අතිශයින්ම දරුණු ප‍්‍රකාශයක් කරලා තියෙනවා. ඒ ප‍්‍රකාශයෙන් ඔහු කියන්නෙ තමන්ගේ මෙහෙයවීමෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සෙබලූන් දෙදහසත් තුන් දහසත් අතර ප‍්‍රමාණයක් තමන්ගේ මෙහෙයුමෙන්  ඝාතනයට ලක්වු බවයි.

අලිමංකඩ යුද හමුදා කඳවුර අල්ලා ගැනීමේදී තමන්ගේ නියෝගය මත යුද හමුදා සෙබලූන් දෙදහසත් තුන් දහසත් අතර ප‍්‍රමාණයක් ඝාතනයට ලක්වූ බව කියන මේ ඝාතකයාගේ ප‍්‍රකාශය ඉදිරිපත් වෙලා පැය හතලිස් අටකට වැඩි කාලයක් ගත වෙලා තියනවා. කිසිදු නීතිමය පියවරක්, රාජ්‍ය තාන්ත‍්‍රික කටයුත්තක්, අධිකරණමය ක‍්‍රියාමාර්ගයක්, ඔහු සම්බන්ධයෙන්  වත්මන් රජයේ බලධාරින් කිසිවෙකුත් විසින් නොගැනුන නිසා මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරන්න සිද්ධවෙලා තියනවා.

කරුණා අම්මාන් නැමැති මේ පුද්ගලයා කියන්නේ මේ රටේ නීත්‍යානුකූල හමුදා සෙබලූන් මරා දැමූ බවයි. යුද හමුදාවක් කියන්නේ නීත්‍යානුකූල රාජකාරිය නිරත බරපතල වගකිමක් අනුගමනය කරන රාජ්‍ය සහ රටේ ජනතාව වෙනුවෙන් ඇප කැපවී දිවි හිමියෙන් ක‍්‍රියාකරන පිරිසක්.

ඔවුන් කරන්නේ නීතිවිරෝධී ක‍්‍රියාවක් නෙවෙයි. රාජ්‍යාරක්‍ෂාව සම්බන්ධයෙන්  ක‍්‍රියාවක් තමයි ඒ අය කරන්නේ. නීත්‍යානුකූල මෙහෙයුමක යෙදෙන යුදහමුදා සෙබළෙක් මරා දමනවයි කියන්නේ බරපතල අපරාධයක්. මේ අපරාධය තමන්ම කළා යැයි කරුණා අම්මාන් තමන්ගේම කටින් කියන කොට, ප‍්‍රශ්න ගණනාවක් මතුවෙනවා. කරුණා අම්මාන් නැමැති පුද්ගලයා මෙතරම්  නිර්භයව මේ ප‍්‍රකාශය කරන්නේ කෙසේ ද?

එල්ටීටීඊ ත‍්‍රස්තවාදී සංවිධානයේ නැගෙනහිර පළාතේ ආයුධ සන්නද්ධ අංශය භාරව ක‍්‍රියා කළ ප‍්‍රධානියා තමයි කරුණා අම්මාන්. ඔහු නිසා  විශාල ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් නිරත වෙලා පසුව රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා  ඇති කරගෙන රාජ්‍ය යාන්ත‍්‍රණයත් එක්ක සම්බන්ධවෙලා  පසුගිය කාලයේ පක්‍ෂවල උපසභාපති තනතුරු දැරුවා අපි දැක්කා. ඒ වගේම නියෝජ්‍ය ඇමති තනතුරු දැරුවා.

ඔහු එසේ දරමින් සිටියදී ඒ ඒ දේශපාලන නායකයන්ගේ අනුග‍්‍රහයෙන් සහ ආශිර්වාදයෙන් මැතිවරණ වලට ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා, සාහසික ලෙස, නිර්භය ලෙස,  මේ විදියේ ප‍්‍රකාශ කරනවා. එසේ ඔහු ප‍්‍රකාශ කරන්නේ කිසිම සැකයක් නෑ මොනවිදියට හැසිරුණත් බලධාරින්ගෙන් ආරක්‍ෂාවක් රැකවරණයක්  තියනවයි කියන විශ්වාසය ඇතිවයි. මේ ප‍්‍රකාශය කරලා පැය 48ක් ඉක්ම ගිහිල්ලත් වගකිවයුත්තන් ඔහුට විරුද්ධව අරං නැති එකෙන් ඒ බව තහවුරු වෙනවා.

මේ මනුෂ්‍ය ඝාතකයාට විරුද්ධව කිසිදු පියවරක් අරගෙන නෑ. අපි කියනවා මේ රටේ නීතිපතිවරයාට වැඩ පෙන්වන්න අවස්ථාව කියලා. බොහෝ කරුණක් සම්බන්ධව  නිශ්චිත තීන්දු තීරණ ගන්න බැරුව ඉන්න වෙලාවක, නිශ්චිත සාක්කි සාධක නැතුව ඉන්න වෙලාවක මේ රටේ බුද්ධි අංශ විශාල පිරිසක් අද අත්අඩංගුවේ ඉන්නවා. තමන්ගේ පන්සලේ ගිනි අවියක් තිබුණාය කියන ඌවතැන්නේ සුමන නැමැති භික්‍ෂුව ජීවිතාන්තය දක්වා හිරේට යවනවා.

ගිහාන් පිලපිටිය වැනි විනිසුරුතුමන්ලා නීතියේ රැහැනට  අල්ලන්නට යන්නේ, දඩුවම් දෙන්න යන්නේ, නිශ්චිත සාධක සාක්කි තවමත් නැතුව. මේ වගේ ක‍්‍රියාමාර්ග අනුගමනය කරන අපේ අධිකරණ අංශ, නීතිපතිවරයා, දැන් කරුණා අම්මාන්ගේ ප‍්‍රකාශය ගැන මොකක්ද කියන්නේ. යුද හමුදා සෙබලූන් මැරුවා කියලා තමන්ගේම කටින් කියනකොට ඊටත් වඩා සාක්කියක්  ඕනෑද?

අධිකරණ අංශයේ ගෞරවය රැකගැනීම සඳහාවත් කරුණා අම්මාන් වහා අත්අඩංගුවට ගතයුතුයි. මේ රටේ ජනාධිපතිවරයාවත්, අගමැතිවරයාවත්, මේ කියන කරුණා අම්මාන් නැමැති පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම කළ යුතුයි.

රජය බලධාරීන්, අධිකරණ අංශය තමන්ගේ රාජකාරිය හරියට කරන්නේ නැත්නම් කරුණා අම්මාන් නැමැති මනුෂ්‍ය ඝාතකයාට එරෙහිව නිසි පියවර ගන්නේ නැත්නම්, යුද හමුදාවට, ත‍්‍රිවිධ හමුදාවට සිදුවෙනවා තමන්ගේ ආත්මාරක්‍ෂාවට යම් පියවරක් ගන්න.

අවුරුදු තිහක් තිස්සේ ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදීන් විනාශකර සාමය ඇතිකරපු ලෝකයේ බලවත්ම ත‍්‍රිවිධ හමුදාවක්, පොලීසියක් ලංකාවේ ඉන්නේ. තමන්ගේ සහෝදර සෙබලූන් මරාදැමුණු මේ ත‍්‍රස්තවාදයා ගැන ත‍්‍රිවිධ හමුදාව යම් තීරණයක් ගතයුතුයි. එවැනි පියවරක් ගන්නාවිට ත‍්‍රිවිධ හමුදාවට අපි එදත් ආශිර්වාද කරනවා අදත් ආශිර්වාද කරනවා. එවැනි ක‍්‍රියාවක් ගන්නවා නම් රටේ සමස්ත ජනතාවම ත‍්‍රිවිධ හමුදාවත් එක්ක ඉන්නවා.

අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්නේ ජේ නානායක්කාර

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.