මිථ්‍යාවෙන් විනාශය බදාගැනීම

විද්‍යාව වෙනුවට මිථ්‍යාව පසු පස යාම දැන් අපේ රටේ රැල්ලක් බවට පත්ව තිබේ. මේ ඒ පිළිබඳව න්‍යයවාදී භෞතික විද්‍යාඥයකු සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් ලියූ ලිපියකි. මොහු 1985 සිට 2008 තෙක් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සේවය කළ අතර ඉන් අවුරුදු 13 ක්ම එහි අධ්‍යක්ෂවරයා විය. ජපානයේ ශිෂෝකා හා ඇමෙරිකාවේ ජෝර්ජියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේද සේවය කර තිබෙන මහාචාර්ය කීර්ති තෙන්නකෝන් ලංකාවේ ප්‍රශ්නය මෙසේ විග්‍රහකරයි.

අපේ අධ්‍යාපන ක්‍රමය යටතේ මව්පියන් දරුවන් හදන්නේ ආර්ථික වාසි වැඩියෙන් ලැබෙන රැකියාවලට යැවීමටය. මේ රටේ පවතින්නේ විභාග මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයකි. ඒ විභාග ක්‍රමය යටතේ විභාග සමත්වීමට ඉගෙන ගන්නවා මිස නිදහසේ කල්පනා කිරීමට හැකි මිනිසුන් ගොඩනගන්නේ නැත. ගුරුවරුන්ටත් දැන් එවැනි හැකියාවක් නැත. පාසලේ ගුරුවරයා කරන්නේත් ටියුෂන් ගුරුවරයා කරන දේමය. ඒ නිසා ගැඹුරට කල්පනා කරන මිනිස්සු මේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි නොවෙති. මේ පවතින අධ්‍යාපන ක්‍රමයේ ඉලක්කයම භෞතික ප්‍රතිඵල පසුපස දුවන මිනිසුන් බිහි කිරීමය. මෙය අපේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වරදකි. මේ තත්ත්වය හෙමින් හෙමින් වෙනස් කළ හැක්කේද අධ්‍යාපන ක්‍රමයම මගිනි.

විභාග සමත්වීමට ප්‍රමුඛත්වය දීම නිසා නිදහසේ කල්පනා කළ හැකි මිනිස්සු මේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි නොවෙති. නිදහසේ සිතන දරුවකු ගුරුවරයකුගෙන් නිදහස් සිතිවිලි මත පදනම්ව ප්‍රශ්නයක් ඇසුවොත් ගුරුවරයා ඊට කැමැති නොවෙයි. මේ තත්ත්වය අද ඊයෙක සිට පවතින තත්ත්වක් නොවේ. මා පාසල් ගියේ 1950 දශකයේය. එකලද මෙවැනිම තත්ත්වයක් තිබිණි. ඒ තත්ත්වය අද ඉතා භයානකය.

මා ඉගෙන ගත් සමයේ තිබූ උද්භිද විද්‍යා පොතක ‘‘බෝංචි ඇටයේ තිබෙන්නේ වකුගඩුවේ හැඩය’’ බව සඳහන්ව තිබිණි. මම එද‌ා ගුරුතුමියට කීවේ එසේ කීම විහිළුවක් බවය. බෝංචි කරලක් ගෙන දෙකට පලා බැලූවිට බෝංචි ඇටයේ හැඩය ඉතා හොඳින් දැකගත හැකි බව මම ගුරුතුමියට කීවෙමි. එහිදී මා ගුරුතුමියට කීවේ‘‘වකුගඩුවේ තිබෙන්නේ බෝංචි ඇටයේ හැඩය’’ය කියා එය නිවැරැදි විය යුතු බවය. සරලව කිවහොත් වකුගඩුව බෝංචි ඇටයක් වගේය කිව්වොත් එහි තේරුමක් තිබෙන බව මම ගුරුතුමියට කීවෙමි. වකුගඩුව හැමෝටම බැලිය නොහැකි බැවින් ඒ පොතේ සඳහන්ව තිබූ අයුරු වැරැදි බව මම ගුරුතුමියට පෙන්වා දුන්නෙමි. එද‌ා ඒ ගුරුතුමිය මට කීවේ පොතේ තියෙන හැටියට ඉගෙන ගන්න. විකාර දේවල් සිතන්න එපාය කියලය. දැන් සිටින ළමයි එවැනි ප්‍රශ්න අහන්නේම නැත. එසේ වී තිබෙන්නේ විවෘත මනසකින් යුතුව. නිදහසේ සිතමින් ඉගෙන ගන්නේ නැති බැවිනි. වර්තමාන මව්පියන්ගේත් දරුවන්ගේත් එකම අරමුණ විභාගයෙන් සමත්වීම සඳහා ඉගෙන ගැනීමය. එය පවතින අධ්‍යාපන ක්‍රමයේ වරදක් මිස මව්පියන්ගේ හා දරුවන්ගේ වරදක් නොවේ.

ඇත්තටම වර්තමාන දරුවන් අපේ කාලයේ දරුවන්ට වඩා දක්ෂය. එහෙත් ඔවුනට නිසි ආකල්ප ප්‍රගුණ නොකිරීම බරපතළ ප්‍රශ්නයකි. ඔවුනට ස්වභාවික බුද්ධිමත්කම තිබේ. කුතුහළයක් තිබේ. පොඩි කාලයේ සිටම එය මොට්ට කරන්නේ මව්පියන්, ගුරුවරුන් හා විභාග ක්‍රමය විසිනි.

මෙයට මා දකින විසඳුම විභාග ක්‍රමය වෙනස් කිරීමය. ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය තිබෙන්නේ ෆින්ලන්තයේය. එරට දරුවෝ නිදහසේ ඉගෙන ගනිති. තමන්ට කැමැති දේ තෝරාගනිති. එරටෙහි විභාග ක්‍රමයක් නැත. පවතින්නේ ඇගයීම් ක්‍රමයකි. තරගකාරි විභාග ක්‍රම නැති රටවල අධ්‍යාපන ක්‍රමය ඉතා හොඳය. ඇමෙරිකාවේ හා එංගලන්තයේද අපේ තරම් විභාගවලට මෙතරම් මූලිකත්වයක් නොදෙයි. ඒ රටවල දරුවන්ට දැනටත් නිදහසේ කල්පනා කිරීමට ඉඩකඩ තිබේ. මගේ සිහියට තවත් උද‌ාහරණයක් මතක්වෙයි. 1950 ගණන්වල සාමාන්‍ය පෙළ විභාගයට ලියූ පළමු අවස්ථාවේදී මා සමත් වූයේ ගණිතය, භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව පමණකි. අනෙක් විෂයයන් පහෙන්ම මම අසමත් වීමි. ඒ කාලයේ නීතියේ හැටියට පාසලට නොපැමිණ දෙවැනි වතාවට විභාගයට පෙනී සිටිය හැකිය. මා පාසල් ගියේ වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයටය. මගේ ගම වේයන්ගොඩ අසල මැටිකොටුමුල්ලය. එහෙත් එද‌ා මගේ ගුරුවරිය හා දෙමළ මහත්මයකු වූ විදුහල්පතිවරයා කියා සිටියේ මා අමුතු දරුවකු නිසා උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නා ගමන්ම නැවත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට මට ඉඩ දිය යුතු බවය. ඔවුහු එසේ තීරණය කර මට යළිත් පාසලට පැමිණීමට ඉඩ දුන්හ. ඉතින් මම උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න ගමන් නැවත වරක් සාමාන්‍ය පෙළ විභාගයට ලියා සමත් වූයෙමි. උසස් පෙළ ලියා කොළඹ විශ්වවිද්‍යාලයට ගොස් විද්‍යාවේදී උපාධියද දිනා ගතිමි. ඉංජිනේරු පීඨයට යාමට හැකියාව තිබුණත් මා තෝරාගත්තේ සාමාන්‍ය විද්‍යාවය.

මට අවශ්‍ය වූයේ මේ විභාග ක්‍රමයේ වරද පෙන්වා දීමටය. මේ විභාග ක්‍රමයෙන් හැළෙන දරුවන්ට නිශ්චිත අනාගතයක් නැත. මගේ ගුරුවරිය හා විදුහල්පතිවරයා මා සම්බන්ධයෙන් තීන්දු ගත් ආකාරයට තීන්දු ගැනීමේ හැකියාවක්ද දැන් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට නැත. මා කියන්නේ මේ ක්‍රමය වැරැදි බවය. අධ්‍යාපන ක්‍රමයක අරමුණ විය යුත්තේ දරුවන් ඉන් හැළීම නොව දරුවන් එහි රඳවා ගැනීමය. ෆින්ලන්තයට අමතර ස්වීඩන්, ඩෙන්මාර්ක්, නෝර්වේ වැනි රටවලද පවතින්නේ හොඳ අධ්‍යාපන ක්‍රමය, අප අපේ දරුවන්ටද දිය යුත්තේ එවැනි අධ්‍යාපන ක්‍රමයකි. ඒ අධ්‍යාපන ක්‍රම මගින් නිදහසේ සිතන දරුවෝ බිහිවෙති. බුද්ධිමතුන් බිහිවන්නේ එවැනි අධ්‍යාපන ක්‍රමයකිනි. අපේ වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙන් බුද්ධිමතුන් බිහි නොවෙයි. අපේ වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙන් බිහිකරන්නේ එදිනෙද‌ා අවශ්‍යතා ඉටුකරගත හැකි මිනිසුන්ය. මේ අධ්‍යාපන ක්‍රමයෙන් දක්ෂ ගුරුවරුන්, දක්ෂ වෛද්‍යවරුන්, දක්ෂ ඉංජිනේරුවන් බිහිකර තිබේ. එහෙත් ඊට ඉහළින් යමක් කළ හැකි විද්‍යාත්මක සොයා ගැනීම් කරන මනුස්සයන් මේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන්නේ නැත. එය පුරවැසියන්ගේ වරදක් නොවේ. අධ්‍යාපන ක්‍රමයේ හා පරිසරයේ වැරැදි සේම ප්‍රතිපාදන අඩුකමද ඊට හේතුවී තිබේ.

මොනවා හරි කරල හදිසි ප්‍රතිඵල බලාපොරොත්තුවීම අපේ වැනි නොදියුණු රටවල ස්වභාවයයි. ලොව දියුණු රටවල් කළ දේවල්වලින් ප්‍රයෝජන ගන්නවා මිස අපේ රටෙන් විද්‍යාත්මක   පර් යේෂණ කෙරිල නැති තරම්ය. ඊට ප්‍රධාන හේතුව අපේ රටේ නිතර බලන්නේ ප්‍රාථමික හා ප්‍රායෝගික දේවල් කිරීමට පමණකි. ගැඹුරු ප්‍රායෝගික දේවල් කළ හැක්කේ විද්‍යාත්මක පර් යේෂණ කරන රටවලට පමණකි.
උද‌ාහරණයකට අපි ගනිමු තොරතුරු තාක්ෂණය නමැති විෂය ක්ෂත්‍රය. තොරතුරු තාක්ෂණයෙන් ලංකාවේ කෙරෙන්නේ එහි නියුතු සියලු දෙනා කාර්මික ශිල්පීන් ලෙස වැඩ කරනවා මිසක් තොරතුරු තාක්ෂණයට සම්බන්ධ කොම්පියුටර් සැකසීම, ඊට සම්බන්ධ මූලික ගණිතය හා භෞතික විද්‍යාව පිළිබඳව අපේ රටේ පර්​ යේෂණ සිදු නොවෙයි. ජාතික මූලික අධ්‍යයන ආයතනය තියෙන්නේ එවැනි දේවල් කිරීමටය. එහෙත් ඒ ආයතනයෙනුත් එවැනි දේවල් සිදුනොවෙයි.

ඊට හේතුව ලේසි පහසු දේවල් පමණක් කිරීමය. ඒ නිසා ඒවායෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේද නැත. අමාරු දේවල් කරන්නේද නැත.
මේ සම්බන්ධයෙන් දේශපාලකයන්ට වරදක් කිව නොහැකිය. ඔවුනට මේවා සම්බන්ධයෙන් තේරුමක් නැත. දේශපාලකයන්ට අවශ්‍යව තිබෙන්නේ රටට ඒ මොහොතේ ක්ෂණික ප්‍රතිඵලයක් ලැබෙන දෙයක් කිරීමටය. ඒ සම්බන්ධයෙන් ඔවුනට වරදක් කිව නොහැකිය.

විද්‍යාඥයන්ය කියන අපේ අයත් ඒ දේශපාලන ඉල්ලීම් ඉටු කළා මිස අමාරු දෙයක් කිරීමට උත්සාහ නොකළහ. උද‌ාහරණයකට රටේ තිබෙන බලශක්ති අර්බුදය ගනිමු. එයට ක්ෂණික විසඳුම් දිය නොහැකිය. සූර්යතාපය ගබඩා කරගන්නා අලුත්ම සෙල් පද්ධතියක් සැකසීම වැනි දෙයක් කිරීමට හෝ අලුත් ඉන්ධනයක් සොයා ගැනීමට හෝ අපට නොහැකිය. එවැනි දේවල් කිරීමට යම් කාලයක් ගතවෙයි. එවැනි අවස්ථාවල අපේ විද්‍යාඥයෝද මූලික දේවල් නොකර දේශපාලනඥයන් සැකසීමට කළ හැකි දේවල් කරති. එසේ කිරීමෙන් දේශපාලකයන් නොමග යන අතර විය යුතු වැඩේ කෙරෙන්නේද නැත. එහි වරද දේශපාලකයන්ගේ නොවේ. වරද තිබෙන්නේ විද්‍යාඥයන් ලෙස පෙනී සිටින්නන්ගේය. ඒ තත්ත්වය එන්න එන්නම නරක් වෙමින් පවතී. මූලික අධ්‍යයන ආයතනයේ සේම විශ්වවිද්‍යාලවලිනුත් ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තුවෙන දේවල් කිරීමෙන් මේ තත්ත්වය බරපතළ ලෙස නරක් වී තිබේ. විද්‍යාවෙන් ඉහළ මට්ටමකට  නොගිහින් අලුත් ප්‍රායෝගික දේවල් කළ නොහැකිය. දුරදිග නොබැලීම හා භෞතික හා මානව සම්පත්වල පවතින ප්‍රශ්නද මේ තත්ත්වයට හේතුවී තිබෙන බවද නොරහසකි.

යමක් නිෂ්පාදනය කිරීම, හඳට යම, අගහරු ලෝකයට යාම, ඖෂධයක් සොයා ගැනීම වැනි දේවල් විද්‍යාව නිසා ඇති වුණු ප්‍රතිඵල පමණකි. විද්‍යාවේ අරමුණ ඊට වඩා බොහෝ ගැඹුරුය. ස්වභාව දහම ක්‍රියාකරන්නේ කෙසේදැයි සොයා බැලීම විද්‍යාවේ එක් අරමුණකි. එය කළ යුත්තේ පරීක්ෂණ, යම් යම් සංසිද්ධි අතර තිබෙන සබඳතාව සොයා බැලීමත්, පැහැදිලි කිරීමත් එකිනෙක සම්බන්ධ කරගෙන වාදයක් ඇතිකර ගැනීමත් යන කරුණු සියල්ල මූලික අධ්‍යයනය නමින් හැඳින්වෙයි. මහනුවර පිහිටි ජාතික මූලික අධ්‍යයනය ආයතනයේ අරමුණු ද ඒවාම විය යුතුය. හඳට යාමට උදව් උපකාර වූයේ තාක්ෂණයයි. ඒ තාක්ෂණය හේතු වූයේ පෘථිවියේ තිබෙන ගුරුත්වාකර්ෂණය සොයා ගැනීමය. වස්තුවල චලනය ගැන සොයා ගැනීමය. හඳට යාම තාක්ෂණයේ දියුණුව නිසා විද්‍යාවේ මූලධර්මවලින් කරගත් දෙයකි. වැදගත් වන්නේ මූලධර්මය. එහෙත් අපේ වැනි නොදියුණු රටවල් හිතන්නේ ඍජුව ආර්ථිකයට යමක් ලැබෙන දේවල් කිරීමටය. එසේ සිතුවහම වෙන්නේ පරීක්ෂණ කරන අයත් කෙටිකාලීන අරමුණු වෙත යොමුවීමය. ප්‍රායෝගික ප්‍රතිඵල ලැබෙන දේවලට මූලිකත්වය දීමත්, සම්පත් පිළිබඳ ප්‍රශ්නයත් නිසා මූලික අධ්‍යයන ආයතනයෙන් විය යුතු දේවල් ද ඉටු නොවෙයි. එය ආයතනයේ තිබෙන ප්‍රශ්නයක් නොව, රටේම තිබෙන ප්‍රශ්නයකි.

මූලික විද්‍යාව කියන්නේ විද්‍යාවේ මූලික දේවල්ය. උද‌ාහරණයකට සෝලා සෙල් එකක් හදන්නේ නම් එය හදන්නේ කොහොමද? එය ක්‍රියාකරන්නේ කෙසේද යන මූලික විද්‍යාවන් දැන ගත යුතුය. අපේ තියෙන ලොකුම දුර්වලතාව මූලික දේවල් (Basic) නොකිරීමය. මූලික දේවල් සේම ලොකු දේවල් කරන්නේ නැත. ජපානය, කොරියාව, තායිවානය වැනි රටවල කෙරෙන මූලික විද්‍යා       පර් යේෂණ ලංකාවේ කෙරෙන්නේම නැත. නොදියුණු අප්‍රිකානු රටවලත් දැන් රටේ දියුණුව සඳහා මූලික විද්‍යා පර් යේෂණවලට විශාල ප්‍රමුඛතාවක් ලබාදෙයි. හොඳම උද‌ාහරණය රුවන්ඩාවය. අපේ රටේ කෘෂිකර්ම උපදේශන සේවාවකට මෑතකදී රුවන්ඩාවෙන් විශේෂඥයන් පිරිසක් ගෙන්වා ගැනීම මෙරට ඇතැමුන්ගේ බරපතළ විවේචනයට ලක්විය. එසේ විවේචනය කළේ වර්තමාන රුවන්ඩාව ගැන මෙලොව හසරක් නොදන්නෝය. ගණිතයටම වෙන්වූ පර් යේෂණ ආයතනයක් සහ මූලික විද්‍යා අධ්‍යයනවලටම වෙන් වූ තවත් ආයතනයක් ලෙස රුවන්ඩාවේ පර් යේෂණ ආයතන දෙකක් තිබේ. රුවන්ඩාව ග්‍රෝතිකයන් සිටින රටකි. ඔවුහු හුටු හා ටුට්සි ලෙස හඳුන්වති. 1990 දශකයේදී ඒ ගෝත්‍රිකයන් අතර ඇතිවූ සටනකින් ලක්ෂ දහයකට වැඩි පිරිසක් ඝාතනය වූහ. එරට දැන් සිටින ජනාධිපති පෝල් කගාමේ රට දියුණු කිරීමේ මූලික කාර්ය හා වගකීම පැවරුවේ ගණිතමය භෞතික විද්‍යා මහාචාර්යවරයකුටය. රුවන්ඩාවේ උපන් ඇමෙරිකාවේ ජීවත් වූ ඒ ගණිතමය භෞතික විද්‍යා මහාචාර්යවරයා රුවන්ඩාවට ගෙන්වාගෙන රුවන්ඩාවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරය භාරදුන්නේය. එතුමා ඇමෙරිකාවේ විශ්වවිද්‍යලයක සේවය කළ ගණිතමය භෞතික විද්‍යා මහාචාර්යවරයෙකි. රටේ දියුණුව සඳහා අවශ්‍ය සියලු සැලසුම් සම්පාදනය කළේ ඒ මහාචාර්යවරයාය. දේශපාලනමය තීන්දු ගැනීමේදී ද විද්‍යාත්මකව සිතා බලා තීන්දු තීරණ ගතයුතු බව ඒ භෞතික විද්‍යා මහාචාර්යවරයා රටේ ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා එය එලෙසින්ම පිළිගත්තේය. ජනාධිපති පෝල්කගාමේ රට දියුණු කළේ ඒ විද්‍යාඥයා කී දේවල් අනුවය. විද්‍යාඥයාගේ මතයට එරෙහිව ගියේ නැත.

රුවන්ඩාවේ එසේ වුවත් අපේ රටේ දැනට වී තිබෙන්නේ වෙනස් දෙයකි. දේශපාලකයන්ට ළංවෙන අපේ රටේ උගතුන්ගේ අරමුණ කැපීපෙනීම හෝ අමතර ආද‌ායමක් උපයා ගැනීම බව මගේ නිරීක්ෂණයයි. නිගමනයයි. විශ්වාසයයි. මේ නූගත් නොදැනුවත් දේශපාලකයන්ට කිට්ටු වන්නේම වැඩක් නොකරන දෙවැනි පන්තියේ මිනිස්සුය. ඉංග්‍රීසි භාෂාවෙන් ඔවුන් හඳුන්වන්නේ මීඩියෝකර් (Mediocre) නමිනි. ඒ වචනයෙහි අර්ථය හොඳක් නැති නරකත් නැති දෙවැනි පෙළ මිනිසුන් යන්නය. තවදුරටත් කිවහොත් විශේෂ දැනුමක් හෝ හැකියාවක් හෝ නැති පටු අරමුණු සහිත මිනිසුන්ය. ඒ අයට රටක දියුණුවකට අවශ්‍ය පුළුල් දැක්මක් නැත. ඒ නිසා ඔවුනට මැති ඇමැතීන්ට නිසි උපදෙස් දෙන්නටද බැරිය. හොඳක් නැති නරකත් නැති විශේෂ දැනුමක් හෝ හැකියාවක් නැති පටු අරමුණු සහිත දෙවැනි පෙළ මිනිසුන් කියන දේවල් මත රටක් දියුණු කළ නොහැකිය. අපේ දේශපාලකයන් විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත බුද්ධිමතුන් තමන්ට කිට්ටු කරගන්නේද නැත. හේතුව ඔවුන්ගෙන් ක්ෂණිකව ජනප්‍රිය විය හැකි පැලැස්තර පිළියම් (Adhoc Solution) නොලැබෙන හෙයිනි. එහෙත් රුවන්ඩාවේ එසේ වූයේ නැත. 1990 දශකයේදී කපා කොටා මරාගෙන මිනිසුන් ලක්ෂ 10 ක් දැයෙන් සමුගත් ඒ රට අද ලංකාවට වඩා විද්‍යාත්මක දැක්මෙන් දියුණු රටකි. එසේ වූයේ ගණිතමය භෞතික විද්‍යා මහාචාර්යවරයකු කළ සැලසුම් මත රට ගමන් කිරීම නිසාය.

අපේ රටේ තියෙන අනෙක් කාරණය විද්‍යාව පැත්තකට දමා මිථ්‍යාව පසුපසයාමය. සාමාන්‍ය මිනිසුන් පමණක් නොව ඇතැම් මහාචාර්යවරුන්ද වන්දනාමාන කරන්නේ මිථ්‍යාවටය. මිථ්‍යාවෙන් පුද්ගලයකුටවත් රටකටවත් යහපතක් වන්නේ නැත. විද්‍යාවෙන් පිළිතුරු සෙවිය යුතු දේවලට මිථ්‍යාවෙන් පිළියම් යෙදීමෙන් සිදුවන්නේ මහා විනාශයකි. එවැනි විනාශයන් අපේ රටේ අදටත් සිදුවෙයි. වෛද්‍ය විද්‍යාවේ තිබෙන්නේ විද්‍යාත්ක පිළියමය. එවැනි පිළියම් කොතෙකුත් තිබියදී ඇතැමුන් ඇතැම් දේවල්වලට පිළියම් යොදන්නේ මිථ්‍යාවෙනි. මේ සම්බන්ධයෙන් දැක්විය හැකි හොඳම උද‌ාහරණය කොරෝනා වසංගතයයි. මේ වසංගතයට පිළියම් යෙදිය යුත්තේ විද්‍යාවෙනි. එහෙත් ඇතැම් දෙනා එයට පිළියම් යෙදුවේ මිථ්‍යාවෙනි. ඒ මිත්‍යා පිළියම්වලින් වසංගතය මර්දනය වූයේ නැත. විද්‍යාව පැත්තක දමා මිථ්‍යාවට වන්දනා මාන කිරීම නිසා වසංගතය පැතිරීමද වේගවත් වන්නට ඇත. වෛද්‍ය විද්‍යාව විද්‍යාත්මකය. එහි පිළිකාවටද පිළියම් තිබේ. එහෙත් ඇතැමුන් පිළිකා රෝගීන් සුවකර ගැනීමටද යන්නේ මිථ්‍යාව පසුපය. සෞඛ්‍ය ප්‍රශ්නවලට ජනතාව මිථ්‍යාව පසුපස යාම නිසා රජයේ සෞඛ්‍ය වියදම්ද ඉහළ යයි. එසේ වන්නේ මිථ්‍යාව පසුපස ගොස් වැරැදුණු පසුව විද්‍යත්මක වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගතවීමෙනි.

මිත්‍යාව පැතිරීම මෙතරම් ඉහළ යාමට අපේ ආගම්ද දැන් විශාල මෙහෙවරක් ඉටු කරයි. සුවිශාල දර්ශනයක් තිබෙන බුදු දහමත් අද හරවා තිබෙන්නේ ඒ දෙසටය. මිථ්‍යාව පසුපස යන්න එපා කියා බුදුපියාණන් වහන්සේද දේශනා කළහ. එහෙත් වර්තමානයේ සිටින ඇතැම් බුදු පුතුන් මිනිස් සංහතිය දක්කන්නේ මිථ්‍යාව වෙතය. එය ඒ බුදු සව්වන්ගේ ශාස්තෲවරයාටද නින්දාවකි. නිග්‍රහයකි. ඒ බුද්ධ දේශනය, ඒ බෞද්ධ දර්ශනය මිථ්‍යාවෙන් යටපත් කිරීමය. අද මහාචාර්යවරු පවා මිථ්‍යාව පසු පස යති. ඔවුන් එසේ යන්නේ විද්‍යාව නිවැරැදිව ඉගෙන ගෙන නැති නිසාය. ඔවුන්ට විද්‍යාව ගැන නිසි අවබෝධයක් නොමැති බව මිථ්‍යාව පසුපස යාමෙන් ප්‍රදර්ශනය වෙයි. මිථ්‍යා විශ්වාස නැතිකරගත හැක්කේ විද්‍යාත්මක ක්‍රමය තේරුම් ගැනීමෙන් පමණකි.

(*** සාකච්ඡා සටහන – ගුණසිංහ හේරත්)

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *