නාමල් උයනට උඩින් කේබල් කාර් ව්‍යාපෘතියක්

Sri Lanka

ස්වභාව සෞන්දර්යයෙන් අගතැන් ගත් පුරාවිද්‍යාත්මක සහ පාරිසරික උරුමයක් වන ජාතික නාමල් උයන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම උල්පතගම පිහිටා තිබේ. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් සහ වන්දනාකරුවන් අතර මේ ස්ථානය ප්‍රකටය.

අදින් වර්ෂ 30කට පෙර වනගතව පැවති මේ භූමියේ ගසක අටවාගත් පැලක පදිංචි වී එය සංචාරක ගමනාන්තයක් සහ විහාරයක් ලෙස සංවර්ධනය කිරීමට මුල් වූයේ වනවාසී රාහුල හිමියෝ වෙති. මේ වසරේ මාර්තු 28දාට එහි 30 වැනි සංවත්සරය යෙදී තිබේ. පසුගිය 2018 වර්ෂයේදී වනවාසී රාහුල හිමි විසින් මෙම පූජනීය ස්ථානයේ භාරකාරත්වය මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා දුන්හ.

මෙහි පුරාවිද්‍යාත්මක නටබුන් සහිත බිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයකි. වර්ෂ 2018 දී ජාතික නාමල් උයනේ පරිපාලනය හා නඩත්තු කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලට ගිවිසුමකින් පවරා දීමේදී නාමල් උයන රෝස තිරිවානා කන්ද සංස්කෘතික කලාපයක් ලෙස සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවූ බව පැවසුණි. නමුත් එවැනි වැඩපිළිවෙළකින් විශාල ගොවි ජනතාවක් වාසය කරන පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සංවර්ධනයට මේ වනතෙක් පියවර ගෙන ඇත.

එවකට මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් පැවසුණේ මෙහි ප්‍රධාන භූ ලක්ෂණය වන රෝස තිරුවානා කන්දේ ඇති භූ විද්‍යාත්මක, උද්භිද විද්‍යාත්මක හා සත්ව විද්‍යාත්මක වැදගත්කම සහ 8 වැනි සියවසේ සිට වැදගත් වන බෞද්ධ නගර සංකීර්ණ පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ප්‍රදේශය සංවර්ධනය කරන බවයි.

ඓතිහාසික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද සහිත වනපෙත අක්කර 2000ක භූමි භාගයක ව්‍යාප්තව තිබේ. රෝස තිරිවානා කන්ද ව්‍යාප්තව පවතින ප්‍රදේශය අක්කර 600ක් පමණ වේ. මේ ප්‍රදේශයේ පාරිසරික හා පුරාවිද්‍යාත්මක උරුමයන්ට හානියක් නොවන සේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිළිබඳ යෝජනාවක් වනවාසී රාහුල හිමියෝ රජයට ඉදිරිපත් කර තිබේ. ඒ මගින් රෝස තිරිවානා කන්ද ආසන්නව පිහිටි සීගිරිය, දඹුල්ල වැනි ප්‍රදේශවල සංචාරය කරන දේශීය විදේශීය සංචාරකයන් එම ප්‍රදේශයට ගෙන්වා ගැනීමටත් ඉඩ ලැබෙන ආදායමෙන් ප්‍රදේශවාසීන්ට යහපතක් සැලසීමත් තම අරමුණ බව රාහුල හිමියෝ අප සමඟ පැවසූහ.

මේ වගේ ව්‍යාපෘතිවලින් පරිසරයට හානියක් වෙන්න ඉඩ තිබෙනවා නේද? අප උන්වහන්සේගෙන් ඇසුවෙමු.

නෑ… නෑ… මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදහස් කරන්නේ වනාන්තරය මැදින් නොවේ. වනාන්තර සීමාවට ආසන්නව වැව අසල සිට තමයි කේබල් කාර් යෙදවීමට බලාපොරොත්තු වන්නේ. මෙතැන කඳු මුදුන් හතක් තිබෙනවා. වනාන්තරයට පිටතින් ආරම්භ කර තැන් තැන්වල විවේකාගාර වැනි පහසුකම්ද ස්ථාපිත කරනවා. ඊට පසු කඳු බලාගෙන අවශ්‍යනම් රණව වැව පැත්තටත් යාමට අවස්ථාව සැලසෙනවා. වැවේ ස්නානය කරලා සිරි නැරඹීමටත් ඉඩ ලැබෙනවා.

මේ මගින් මම නම් අපේක්ෂා කරන්නේ අවට ජනතාවගේ දුෂ්කර ජීවන තත්ත්වය ටිකක් හෝ සංවර්ධනය කිරීමටයි. වන අලි තර්ජනය මේ ගම්මානවලට අඩුවක් නැහැ. සංචාරකයන් පැමිණීම ඉහළ ගියවිට ගැමියන්ට බඩඉරිඟු කරලක් හරි විකුණාගන්න පුළුවන්. ආදායම වැඩිකරගන්න අවස්ථාව ලැබෙනවා.

නාමල් උයන භාරකාරිත්වය පැවරී ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදලට නිසා මෙහි සියලු වැඩ ක්‍රියාත්මක වීමට යෝජිත එම අරමුදල හරහාය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංචාරක අමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමඟ මෙම ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව රාහුල හිමියෝ පවසති.

මේකෙන් ලැබෙන ආදායම නැවත ලැබෙන්නේ ආණ්ඩුවටයි. දැනට මේ වැඩේට හොංකොවල ආයෝජකයෙකුත් ඉන්නවා. නමුත් මේ සඳහා කැබිනට් අනුමැතිය අවශ්‍ය වෙනවා. ඒ වගේම රජයේ ආයතනවල අනුමැතියත් අවශ්‍යයි. මේ වනාන්තරයට කිසිම හානියක් නොවන ලෙස තමයි කේබල් කාර් යෙදවීමට බලාපොරොත්තු වන්නේ.

රෝස තිරිවානා කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 180-300 අතර උසකින් යුක්තය. මෙම කන්දට අයත් පාෂාණ ප්‍රාග් කේම්බ්‍රිය යුගයට අයත් වන අතර වයස අවුරුදු මිලියන 550ක් පමණ වේ. මෙහි වනයේ ගස්වැල් අතර බහුලව දැකගත හැක්කේ නා ගස්ය. ඊට අමතරව ශාක වර්ග 100ක් පමණ හඳුනාගෙන තිබේ. කොහොඹ, පලු, වීර, බුරුත, කෝන්. කළුමැදිරිය, මයිල, වෙලන් ඒ අතර ප්‍රධානය. නාමල් උයන 2005 අප්‍රේල් 26 දින සිට රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

නාමල්සෑය, බෝධිඝරය, සීමාමාලක නටබුන්, සංඝාවාස, පිළිම ගෙය, පධානඝර, ආසනඝරය වැනි නෂ්ටාවශේෂද මෙහිදී දැකගත හැකිය. නා වනයෙන් උපත ලබන ජල උල්පත මූලික කර ගනිමින් පානීය ජල ව්‍යාපෘතියක්ද රාහුල හිමියන්ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කර තිබේ. ඒ මගින් පවුල් 5000කට ජලය සැපයීම සිදුකෙරේ. රණව සහ උල්පතගම ගම්මාන දෙකටම ජල ටැංකි යොදාගෙන උල්පත් ජලය සපයයි.

ලංකාවේ ජාතික උරුමයක් බවට නාමල් උයන පත් කිරීමටත් කටයුතු කරගෙන යනවා. එය ජාතික උරුම අමාත්‍යංශය යටතේ තමයි සිදුවන්නේ. රාහුල හිමියෝ පැවසූහ.

 කුසුම්සිරි – Deshaya 


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *