තිස්‌ හත් වැනි සැතපුම් කණුව පසු කළ ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය…

සංචාරය සැම විට ම උත්කෘෂ්ට වන්නේ නැත. එනිසා ම රසවින්දනය විටෙක පහත හෙළයි. ඒ බොහෝ විට සංචාරයේ දුෂ්කරභාවය ද එනිසා ම පැනන`ගින වෙහෙස මහන්සිය ද මේ සඳහා ප්‍රබල හේතුවක්‌ වෙයි. කෙසේ වෙතත් වසරින් වසර තම සංචාරයේ අත්දැකීම් තම සාමාජිකයන්ට ලබා දෙමින් දිනෙන් දින උත්කෘෂ්ට බවට පත් වන්නට හැකි බව බොහෝ සාධක සම`ග ඔප්පු කරන අප අතර ම අයෙක්‌ වෙයි. ඒ අන් කවුරකු වත් නො ව ඒක පුද්ගලභාවයක්‌ නොමැති වුව ද සාමූහිකත්වයේ පිළිබිඹුව වෙමින්, දේශීය පමණක්‌ නො ව විදේශීය භූ විද්‍යාඥයන් අතර පවා ගෞරව ආදරයට පත් ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයයි. ඒ ඔබ සංචාරය කළ යුතු ම ස්‌ථානයකි.

වසර 36 ක අනර්ඝ මෙහෙවරක්‌ දේශීය භූ විද්‍යාඥයන්ට ඉටු කරමින් පසුගිය පෙබරවාරි මස 28 වැනි සිකුරාදා තම තිස්‌ හත් වැනි සැතපුම් කණුවට පා තබන්නට ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයට හැකි විය. ඒ පන් සියයකට වැඩි සාමාජික පිරිසක්‌ සම`ග ඉහත කී සාමූහිකත්වයේ චාරිකාව සාර්ථක කරගෙන යැමට හැකි වීම ද ‘තම දරු දැරියන්ගේ’ නොම`ද සැලකිල්ල ද හේතුවෙනි.

වසර එක්‌ දහස්‌ නව සිය අසූ තුනේ සුළු පිරිසක නියෝජනයකින් ආරම්භ කරන ලද මේ සංගමය පසුගිය වසර තිස්‌ හයක කාලය තුළ භූ විද්‍යාඥයන් බොහෝ පිරිසකට තමන්ගේ සංචාරක සටහන් පර්යේෂණ පත්‍රිකා ලෙස ලියා සටහන් කර තබන්නට අවකාශ සලසා දී තිබේ. එපමණක්‌ නො ව ඒ ඒ සංචාරක සටහන් පිළිබඳව එක්‌ එක්‌ භූ විද්‍යාඥයන්ගේ විවෘත අදහස්‌ විමසා බලන්නට, ප්‍රකාශ කරන්නට කොටින් ම තම පර්යේෂණ ජීවිතයේ වැදගත් සන්ධිස්‌ථාන සනිටුහන් කරගන්නට වාතාවරණය සහ පරිසරය සලසා දෙන්නට භූ විද්‍යා සංගමය සමත් වී තිබේ.

භූ විද්‍යා සංගමය ආරම්භ කිරීමෙහි ලා දායක වූ අමතක කළ නොහැකි දැවැන්ත පුද්ගල චරිත කිහිපයක්‌ වෙයි. ඉන් එක අයකු වන්නේ මහාචාර්ය කපිල දහනායක මහතා ය. එකල ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ප්‍රධානියා විය. අනෙක්‌ තැනැත්තා වන්නේ මහාචාර්ය පී. ජී. කුරේ මහතා ය. ‘ජියෝලොජි ඔෆ් සිලෝන්’ (Geology of Ceylon) නම් වූ ශ්‍රී ලංකාවේ භූ විද්‍යාව සම්බන්ධව වූ දැවැන්ත ග්‍රන්ථය රචනා කරමින් මෙරට භූ විද්‍යාවට අමතක නො වන සේවයක්‌ කළ ඔහු මේ සංගමය බිහි කිරීම සඳහා තිරය පිටුපසින් සිට නිතර ම තමන් උද්යෝගිමත් කළ බව මෑතක දී මහාචාර්ය කපිල දහනායක මහතා මේ ලේඛකයා හා පවසා සිටියේ ය. තවදුරටත් ඔහු පවසා සිටියේ මහාචාර්ය කුරේ මහතාට අතිශය වුවමනාවක්‌ සහ අධික උනන්දුවක්‌ මේ පිළිබඳව තිබූ බවයි.

ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය බිහි කිරීමේ දී එකල පැවැති රාජ්‍ය තන්ත්‍රය පාලනය කළ ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා වෙතින් ද සුබදායි අතහිත දීමක්‌ වූ බව මාහාචාර්ය කපිල දහනායක මහතා සිහිපත් කරන්නේ හද පිරි සතුටිනි. එනිසා ම එකල මේ පිළිබඳව රූපවාහිනියෙන් ද (ප්‍රවෘත්තියක්‌ ලෙස) ප්‍රචාරයක්‌ ලද බව තවදුරටත් ඔහු පවසා සිටියේ ය. කිහිප දෙනකුගේ අප්‍රතිහත ධෛර්යය නිසා බිහි වූ සංගමය හරහා එකල ක්‌ෂේත්‍රයේ පැවැති යම් යම් නොහොඳ නෝක්‌කාඩු ද දුරු වූ බව පැවසේ.

වසර තිස්‌ හයක්‌ අඛණ්‌ඩ ව මේ සංගමය ආරක්‌ෂාකාරී ව පවත්වාගෙන යන්නට කැප වූ එදා මෙදාතුර එහි වගකීම් දරූ නිලධාරී මණ්‌ඩලය ද මෙහි ලා ඉතා ගෞරවයෙන් මතක්‌ කළ යුතු ය.

භූ විද්‍යා සංගමයේ පැවැත්ම ඉදිරියට ද තහවුරු විය යුතු ය. ඒ, ආධුනික භූ විද්‍යාඥයන් හට තම තමන්ගේ දස්‌කම් විස්‌කම් තම වර්ගයාට පෙන්වන්නට කදිම තෝතැන්නක්‌ මෙහි සකසා ඇති බැවිනි. මේ ලේඛකයා 2002 වසරේ සිට ම එම අගනා අවස්‌ථාව හිමි කරගත් අයෙකි. මාගේ ප්‍රථම පර්යේෂණ පත්‍රිකාව එළි දක්‌වන්නට 2002 වසරේ දී හැකි විය. ඒ මා මගේ තනි කැමැත්තෙන් කරන ලද අවසාන වසරේ පර්යේෂණ පුස්‌තකය මූලික කරගෙන ය. ඉන්පසු එක දිගට වසර ගණනාවක්‌ පුරාවට මාගේ පර්යේෂණ චාරිකාවල ලත් තොරතුරු විද්‍යාත්මකව සම්පාදනය කර වාර්ෂික පර්යේෂණ සමළුවේ දී ඉදිරිපත් කරන්නට භාග්‍යය ලද්දෙමි. මා ඉදිරිපත් කළ සමහර විෂය ක්‌ෂේත්‍ර සහ මාතෘකා බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්‌ විය.

වසර කිහිපයක්‌ ම එහි විද්වත් කමිටුවේ සාමාජිකයකු වන්නට ද මා හට හැකි විය. එම`ගින් ද මා ලද අත්දැකීම් බොහෝ ය. එමෙන් ම ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ තිස්‌ හය වැනි (2019/2020) කමිටුවේ ද තිස්‌ හත් වැනි කමිටුවේ ද (2020/2021) ලේකම් ලෙස පිට පිට ම දෙවතාවක්‌ ම කටයුතු කරන්නට ලැබීම ද එක්‌තරා ආකාරයකට මා ලද භාග්‍යයකි. එවැනි අත්දැකීමක්‌ ලබන්නට නවක භූ විද්‍යාඥයන් උත්සුක විය යුතු ය. මෙවැනි ක්‍රියාකාරකම් හා සම්බන්ධ වීම හරහා ක්‌ෂේත්‍රයේ බොහෝ දෙනකු හඳුනාගන්නට ලැබීම ද වක්‍ර ව ලැබෙන වාසියකි.

ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය අංකුර භූ විද්‍යාඥයන් දිරිමත් කිරීම සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක්‌ ද ආරම්භ කර ඇත. ඒ අතර මහචාර්ය පී. ඩබ්. විතානගේ මහතා සිහි කරමින් එනමින් ශිෂ්‍යත්ව ලබා දීම විශේෂිත ය. මේ ශිෂ්‍යත්වය ආරම්භ කිරීමෙහි ලා මේ ලේඛකයාට ද යම් සැලකිය යුතු කාර්ය භාරයක්‌ ඉටු කරන්නට ලැබීම සතුටකි. විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍ය භූ විද්‍යා සංගමයට, 1998 දී ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය විසින් කරන ලද ආරාධනාවක්‌ අනුව රුපියල් 50,000ක මුදලක්‌ මේ අරමුදල සඳහා සොයා දීමේ අභියෝගයට සාර්ථක ව මුහුණ දෙමින් ‘උදුම්බරා’ නම් වූ සංගීත ප්‍රසංගය ඉදිරිපත් කර අවසානයේ දී රුපියල් 75,000ක මුදලක්‌ අරමුදල වෙනුවෙන් ලබා දෙන්නට හැකියාව ලැබිණි. එකල මා විශ්වවිද්‍යාලීය භූ විද්‍යා සංගමයේ භාණ්‌ඩාගාරික තනතුර දරමින් සිටි අවධියයි. ඒ වෙනුවෙන් එලෙස සක්‍රිය ව දායකත්වය ලබා දීමට හැකි වීම සාමූහිකත්වයේ වගකීම ඉෂ්ට කිරීමට ලද මහඟු අවස්‌ථාවක්‌ ලෙස මම සලකමි.

වාර්ෂික ව අවම ලෙස පර්යේෂණ පත්‍රිකා සහිත සඟරා දෙකක්‌ එළි දක්‌වමින් සාමාජිකයන්ගේ සංචාරක අත්දැකීම් ලෝකයට එළි දක්‌වන්නට ද කටයුතු කර ඇත. එලෙස භූ විද්‍යා සන්දර්භය තුළ මහඟු කාර්ය භාරයක්‌ ඉටු කරමින් සාර්ථක සංචාරයක නිරත වන භූ විද්‍යා සංගමය තවත් චිරාත් කාලයක්‌ දක්‌වා පවත්වාගැනීම එහි සාමාජිකත්වය දරන සියල්ලන්ගේ ම වගකීම බව සිහි තබා ගත යුතු ය. එය අනාගත ආයෝජනයක්‌ බව අප අමතක කළ යුතු නො වේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

5585

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2132

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.