සිරුර දරකඩකි – – ඌරුගමුවේ අස්සජී හිමි

සැවැත්නුවර වාසය කළ එක්තරා කුල දරුවෙක් බුදු රදුන් දෙසු බණ අසා පැහැදී පැවිදිව විසිවයස් සපිරෙන සාමණේරවරුන් ලබන මහලු පැවිද්ද ද ලබා ගත්තේය. එයින් පසු ප්‍රකට වූයේ “තිස්ස” තෙරුන් වහන්සේ යන නමිනි. ටික කලක් ගත වීමෙන් පසු උන් වහන්සේ ගේ ශරීරයෙහි මරණයෙන් මිස ප්‍රතිකාර කිරීමෙන් සුව කළ නො හැකි රෝගයක් ඇති විය. එය සිදු වූයේ මෙසේ ය.

මුලින් ම අබ ඇට තරම් කුඩා බිබිළි මතු වී, පසුව ඒවා මුං ඇට තරම් ද, මෑ ඇට තරම් ද, නෙල්ලි ගෙඩි තරම් ද අවසානයේ දී බෙලි ගෙඩි තරම් ද විශාලත්වයට පත් විය. ඒවා පැසවා පැළී හිල් වන්නට ද විය. මුළු ශරීරය ම වේයන් විසින් කන ලද පරඬැල් කොළයක් සේ ඉතා කුඩා සිදුරු වලින් යුක්ත විය. එතැන් සිට උන් වහන්සේ “පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ” යැයි ප්‍රසිද්ධ වූ හ. පසුව තවත් දවස් කිහිපයකින් ශරීරයේ ඇට බිඳුණි. එබැවින් බැලීමටත් අපහසු විය. ඇඳීමට හා පෙරවීමට ගන්නා සිවුරු සැරවවලින් හා ලේ වලින් ගැවසී ගත්තේ ය. ශිෂ්‍යයෝත් උන් වහන්සේ දෙස බැලීමට ඇති අපහසුකම නිසා අත්හැර ගිය හ. එබැවින් උන් වහන්සේ කිසිවකු ගේ පිහිටක් නො මැති ව මඤ්චපරායන ව හෙවත් ඇඳට ම සීමා වී වැතිර සිටිය හ.

එකල්හි බුදු රදුන්ට ශරීරය කුණු වී ගියත් රහත් වීමට හේතුවන පිනින් අඩු නො වූ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ පෙණුනු සේක. භික්ෂූන් වහන්සේත් සමග එහි වැඩමවා පළමුව රෝගී තෙරුන් වහන්සේ ඇඳ පිටින් ම ඔසවා ගෙන ස්නානය කරන තැනට ගෙන ආහ. සිවුරු සේදීමට දමන ඔරුවක් ගෙන්වා ගෙන උණු වතුර එයට වත් කොට තෙරුන් වහන්සේ පොරවා ගෙන සිටි සිවුරු ඉවත් කළ හ. එම සිවුරු උණු වතුරෙන් සෝදා සැර නැති අවුවක තදින් නො වියළෙන ලෙස දැම්ම වූ සේක. පසුව බුදුරදුන් පූතිගත්ත තිස්ස තෙරුන් ළඟට ම වී තමන් වහන්සේ ගේ අතින් ම උණු වතුර වත් කරවා ඇඟ අතගා නෑවූ සේක. තෙරුන් වහන්සේ ද නීරෝගී භාවයට පින නැතත්, ශක්‍ර බ්‍රහ්ම ආදීන් ගෙන් පවා අත් පා සේදීම් ආදී උපස්ථාන ලබන බුදුරදුන් ගෙන් එම උපස්ථාන ලැබීමට තරම් පින ඇති බැවින් එම දිය නෑවීම ලබමින් වැඩ හුන්හ. දිය නාවා අවසන් වූ විට සේදූ සිවුරු වියළී තිබිණි. ඒවා ගෙන අවුත් උන් වහන්සේට අන්දවා අඳනය උණු වතුරෙන් සෝදවා අවුවේ දැම්ම වූ හ.දිය නෑ ශරීරයේ ජලය සිඳුණු කල්හි අඳනයත් වියළී තිබිණි. එවිට පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ අඳනය ද ඇඳ ගෙන සිවුරත් පොරවා ගෙන සැරව කුණු ඉවත් වී ශරීරය සැහැල්ලු බවට පත් ව සිත එකඟ කොට ගෙන ඇඳෙහි වැතිර සිටිය හ.

ඉක්බිති බුදු රජාණන් වහන්සේ පූතිගත්තතිස්ස තෙරුන් සමීපයෙහි වැඩ සිටිමින් මෙසේ දෙසූ හ.

අචිරං වතයං කායෝ
පඨවිං අධිසෙස්සති
ඡුද්ධෝ අපේතවිඤ්ඤාණෝ
නිරත්ථංව කලිංගරං

මේ සිරුර නොබෝ කලකින් ඒකාන්තයෙන් පහ වූ සිතැති ව, ඉවත ලන ලදුව, දිරා ගිය දඬු කඩක් මෙන් පොළොව මත හෝනේ ය.

පසුව මෙසේ ද දෙසූ හ. මහණෙනි, ලී දඬුවලින් ප්‍රයෝජන ඇති මිනිස්සු කැලෑවට ගොස් ඇද නැති ලී ඇද නැතුවම ද, ඇද ලී ඇද ඇතුව ම ද, කපා ගෙන සිදුරු තිබෙන ස්ථාන, දිරීමට පත් වූ ස්ථාන, ගැටිති සහිත ස්ථාන කපා එතැන ම දමා යත් ද, පසුව දඬු හා ලෑලි සොයාගෙන පැමිණි කෙනෙක් ගැලපෙන දඬු හා ලෑලි කපා ගෙන යන නමුත් කපා දැමූ දඬු හා ලෑලි එ පරිද්දෙන් ම රැගෙන නො යත්. තවදුරටත් එයින් යටට තැබීමට ගන්නා ලී කැබලි ආධාරකයකට ප්‍රයෝජනයක් ඇති නමුත් මෙම ආත්ම භාවයේ දී ශරීරයේ ඇති කෙස්, ලොම්, නිය, දත්, සම යනාදී කුණු කොටස් තිස් දෙකින් එක කොටසක් හෝ පාද ආධාරකයකට යනාදී වූ කිසිම දෙයකට ගැනීමට නොහැකි හෙයින් කපා දැමූ දඬු කෑලි ආදිය තරම් වත් ප්‍රයෝජනයක් නැත. එම නිසා මේ සිරුරෙහි රූප අරූප ජීවිතය ද නැති වන්නා සේ සැප පහසු අගනා ඇඳන්වල නිදා සිටිය ද වළ දෑමීම යනාදිය මහ පොළොවේ ම වන බැවින් වැඩි කල් යාමට පෙර අත් හැර දැමූ ලී කැබැල්ලක් මෙන් මහ පොළොවට ම පැමිණෙයි.

සෑම දෙයකට ම සිරුර උචිත නො වෙතත් සිත දුබල නො වී පවත්නා නිසා මේ ආකාර වූ කිලිටි ආත්මභාවය දිගට ම පවතියි. ශරීරයේ කෙස්, ලොම්, නිය, දත් හා සම යන අංග පහ හැර ඊට වඩා වෙනත් කුණු කොටස් නැති දිව්‍ය ආත්මභාව හා බ්‍රහ්ම ආත්මභාවයන් ද නො මැති වීම නිසා සසර අවසන් කිරීමට ම උත්සාහ කළ යුතු ය.

මෙම දේශනාව අවසානයේ දී පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන වශයෙන් ඇති දැනීම උපදවා එනම් සිව්පිළිසිඹියාපත් රහත් බව ලැබ කෙලෙස්වලින් හට ගන්නා රෝගයෙන් ද සුවපත් වී ආයුෂ ප්‍රමාණය ද අවසන් වූ බැවින් පිරිනිවන් පෑහ. තවත් විශාල පිරිසක් නිවන් දුටුව හ. බුදුරජාණන් වහන්සේ පූතිගත්තතිස්ස තෙරුන් ගේ සිරුර ආදාහනය කරවා අවසානයේ ධාතු ලබා ගෙන චෛත්‍යයක් ද කර වූහ.

එතැන වැඩසිටි භික්ෂූන් වහන්සේලා “ස්වාමීනි, තෙරුන් වහන්සේ මෙතරම් දැඩි දුකකින් පීඩා විඳ ශරීරයේ වේදනාව බලවත් වූ බැවින් මරණය සිදු වන විට පැවැති සිතේ පිරිසිදුකම කෙසේ ද? කවර නම් තැනක ඉපදුණ සේක් දැ” යි, විමසූ හ. බුදුහු උන් වහන්සේ පිරිනිවන් පා වදාළ බව දේශනා කළ හ. රහත් වූ බැව් අසා “ස්වාමීනි, රහත්වීමට තරම් සුදුසු මෙ බඳු වූ පින් තිබිය දී ත් සිරුර කුණු වූයේ ඇයි? සිරුරේ ඇට සියල්ල බිඳී ගියේත් ඇයි ? රහත් භාවයට පත් වීමත් කෙසේ සිදුවී දැ” යි, විමසූ හ. “මහණෙනි, මේ සියල්ලක් ම වෙනත් අයෙකු විසින් කරන ලද දෙයක් නො වෙයි. මොහු තම තමන් විසින් ම කළ දේවල් යැ” යි, පැහැදිලි කළ හ. පසුව කර්මයේ ස්වභාවය අසා දැන ගනු කැමතිව සිටි භික්ෂූන් වහන්සේලාට මෙසේ වදාළ හ.

මහණෙනි, මේ තෙමේ කාශ්‍යප බුදුරදුන් කාලයෙහි පක්ෂීන් අල්වා බැඳ විකුණා ජීවත්වීම සිදු කරන වැදි පවුලක ඉපදී මොනර, කුකුළු ආදී වූ පක්ෂීන් අල්වාගෙන නොමරා ඇති දැඩි කිරීම සඳහා බොහෝ දෙනාට දෙයි. පක්ෂීන් ඉතිරිව ඇත්නම් මරා මස් කන්නවුන්ටත් විකුණයි. විකුණා ඉතිරි වූ පක්ෂීන් මරා තැබූ විට නරක් වන නිසා පියඹා යාමට නො හැකි වන ආකාරයට කකුල් ඇට ආදිය බිඳ දමා විකුණයි. ඉතා වැඩියෙන් පක්ෂීන් ලැබුණි නම් ඔහු ද පිසවා ගෙන කයි.

එක දිනක් මස් ව්‍යංජනයක් පිසූ විට පිඬු සිඟා හැසිරෙන රහත් තෙරුන් වහන්සේ නමක් මොහු ගේ නිවසට වැඩම කළ හ. ඔහු උන් වහන්සේ දැක පැහැදීමට පත්ව “අපොයි, බොහොමයක් පර පණ නැසීම් සිදු කළෙමි. තෙරුන් වහන්සේ ද මාගේ නිවසට පිඬු සිඟා වැඩම කළ හ. නිවසෙහි දීමට කිසිවක් නැත. මස් ව්‍යංජනයක් නම් ඇත. මස් ව්‍යංජනයෙන් යුක්තව ආහාරයක් දානය පිණිස දෙමි” යි, අදහස් කළේ ය.

පසුව තෙරුන් වහන්සේට ඇරයුම් කොට පාත්‍රය අතට ගෙන මස් ව්‍යංජනයෙන් යුක්ත ආහාර පාත්‍රය පිළිගන්වා උන් වහන්සේට දෙ දණ, දෙ අත, නළල යන ශරීර අංග පස බිම තබා නමස්කාර කොට “ස්වාමීනි, ඔබ වහන්සේ ලත් නිවන නමැති රසය මා දුන් මස් ව්‍යංජන රසයේ ප්‍රධාන විපාකයෙන් මට ද වේ වා!” යි ප්‍රාර්ථනා කළේ ය. රහත් තෙරුන් වහන්සේත් “එය එසේම වේවා”යි, වදාළහ. ඒ කාලයෙහි පක්ෂීන් ගේ ඇට බිඳ දැමූ ලෙසට ම මොහු ගේ සිරුර කුණු විය. ඇට බිඳී ගියේ ය. රහතන් වහන්සේට දුන් දානයෙහි ආනිසංසයෙන් නිවනෙහි රසය ලැබුයේ ය. – ඌරුගමුවේ අස්සජී හිමි

5585

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2132

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.