කොරෝනා වසංගතය හෙළි කළ බෞද්ධ සම්ප්‍රදාය

” බෞද්ධ රටවල තිබුණු සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන කාරණය තමයි මේ විනය ගරුකත්වය. හික්මීම. එය අපට ඉබේ පහළවුණු දෙයක් නොවෙයි. බෞද්ධ හැදියාව මුල්කරගෙන, ශිෂ්ටාචාරය හා සංස්කෘතිය මුල් කරගෙන ජනතාව තුළ පැළපදියම් වූ, ජනතාවට ආවේණිකව පුරුදු පුහුණු වුණු සහ දයාද වුණු විනය ගරුකකමයි.” – ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක,ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමි

අප මේ ගෙවා දමන්නේ ලෝකයම සලිත කළ අඳුරු කාලපරිච්ඡේදයක්. පසුගිය දින කිහිපය දෙස ආපසු හැරී බැලුවහොත් ලංකාව පමණක් නොවෙයි සමස්ත ලෝකයම බරපතළ අර්බුධයකට මුහුණ දුන්නා.

කොරෝනා නැතිනම් කොවිඩ් 19 වෛරසය මුල්කරගෙන රටක් විදිහට අපිත් බරපතළ තත්ත්වයකට මුහුණ දුන්නා. එතැනදී අප කවුරුත් මහන්සි ගත්තේ මේ උවදුරින් තමන් ආරක්ෂා වෙන ගමන් අනෙක් අයත් ආරක්ෂා වෙන ක්‍රමවේදයකට මුහුණ දීමටයි. අද අප මාස තුනකට පස්සේ සුබවාදී ලෙස හිස ඔසවන්න පටන් අරන්. සාර්ථක ලෙස මේ උවදුරෙන් මිදෙන්න හැකියාව උදා කරගත්තා.

මේ සටහන තබන මොහොතවන විටත් භූතානයෙන් එකම මරණයක්වත් නැහැ. මොංගෝලියාවෙන් එකම මරණයක්වත් නැහැ. ලාඕසය, කාම්බෝජය, වියට්නාමයත් එහෙමයි. අවම තත්ත්වයක් ලෙස බැලුවොත් මියන්මාරය, තායිවානය වගේ රටවල දෑතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් මරණ වාර්තා වුණේ. ලංකාවේ එකොළොස් දෙනයි. තායිලන්තයේ පමණක් මරණ 58 ක් වාර්තා වුණා.

මේ සියලු රටවල කොරෝනා වයිරස ආසාධිත තත්ත්වයන්ට මුහුණ දීලා සාර්ථකව හිස එසවූ රටවල්. මේක හරිම අපූරු, ඒ වගේම පුදුම සාර්ථකත්වයක් බව ඔබට පෙනෙන්න පුළුවන්.

තවත් පැත්තකින් අපි ගමු ඇමරිකාව. මේ වන විට ලක්ෂයට වඩා මරණ සංඛ්‍යාවක් වාර්තා වෙනවා. අපේ අසල්වැසි රට ඉන්දියාවේ තත්ත්වය එන්න එන්නම අයහපත්. ලෝකයේ අතිශයින්ම දියුණුයැයි සම්මත අධි තාක්ෂණික බලය තිබෙනවා යැයි විශ්වාස කරන, වෛද්‍ය තාක්ෂණය ඉතාම දියුණු යැයි ඔවුන් සිතන යුරෝපය හා බටහිර රටවල තත්ත්වය ඉතාම ඛේදජනක තත්ත්වයන්ට පත්වුණා. සිරුරු වළලන්න හෝ ආදාහනය කරගන්න තැන් නැති වුණා. ඒක හරියට බෞද්ධ සාහිත්‍යයේ එන විශාලා මහනුවර තුන්බිය තත්ත්වයක් වගේ. තැන තැන මළ කඳන් පිරුණු, දුක වේදනාව කළකිරීම, සංතාපය මහා පරිමාණයෙන් ඉහවහා ගිය අන්ත අසරණ තත්ත්වයකට පත්වු ස්වරූපයක් අපි දැක්කේ.

නමුත් එය එහෙම වනවිට අප දකිනවා යට කී රටවල ඉතාම පැහැදිලි සාර්ථකත්වයක්. මොකක්ද මේ විශේෂත්වය. කොරෝනා වෛරසයට ඉතා සාර්ථක ව මුහුණ දී මරණ සංඛ්‍යාව ඉතාම අවම ව සිදු වූ සියලුම රටවල් බෞද්ධ රටවල්.

මේ බෞද්ධ රටවල තිබුණු සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන කාරණය තමයි මේ විනය ගරුකත්වය. හික්මීම. එය අපට ඉබේ පහළවුණු දෙයක් නොවෙයි. බෞද්ධ හැදියාව මුල්කරගෙන, ශිෂ්ටාචාරය හා සංස්කෘතිය මුල් කරගෙන ජනතාව තුළ පැළපදියම් වූ, ජනතාවට ආවේණිකව පුරුදු පුහුණු වුණු සහ දයාද වුණු විනය ගරුක කමයි. හැදිච්ච කමයි. නමුත් දැන් බලන්න ඇමරිකාව ලොක්ඩවුන් කළ වෙලේ එහි ජනතාව නිදහස ඉල්ලා පාරට බැස්සා. උද්ඝෝෂණ කළා. තවත් පැත්තකින් ඉන්දියාවේ පොලීසි හැසිරෙන විදිහ බලන්න. මිනිසුන් පාලනය කරන්න නීතිය ක්‍රියාත්මක කරන ආකාරය.

මෙහිදී අපට පෙනෙන දෙයක් තිබෙනවා. යම් සමාජයක දියුණුව හෝ පරිහානිය මැනිය හැක්කේ වෙන කුමකින්වත් නොවෙයි. ඒ සමාජය තුළ ක්‍රියාත්මක වන විනය ගරුක තත්ත්වය මතයි.

මෙතැනදී එක උදාහරණයක් අවධි කරන්නම්. චීනයෙන් ඇසෙන මේ කතාව හරි අපූරු දායාදයක්. චීනයේ හිටියා එක්තරා අධිරාජයෙක්. මින් නම් අධිරාජයා කාලයේ ඇසෙන මේ කතාව අපිට කියා දෙන අරුත බලන්න. මින් අධිරාජයේ සමයේ චීනයේ ජීවත්වුණා අපූරූ දාර්ශනිකයෙක්. ගුරුවරයෙක්, කොන්ෆියුසියස් කියා.

එක්තරා දවසක මින් අධිරාජයා යනවා කොන්ෆියුසියස් තුමා බැහැදකින්නට අධිරාජ්‍යා අහනව කොන්ෆියුසියස්ගෙන් රටක යහපත වෙනුවෙන් අනුගමනය කළයුතු පිළිවෙත් තුනක් කියන්න කියලා.

ඔහු සඳහන් කරනවා පළමුවෙන්ම රජතුමනි ආර්ථිකය ශක්තිමත් ව තබාගන්න. දෙවැන්න ආරක්ෂක ක්‍රමවේදය හොඳින් තබාගන්න. තෙවැන්න සදාචාරය හා විනයගරුක බව රැක ගන්න කියලා.

එවිට අධිරාජයා විමසනවා ‘හොඳයි මේ කාරණා තුනම වැදගත්. හැබැයි මෙයින් එකක් අඩුකරනවා නම් කුමක්ද එය කියා. ඔහු කියනවා එහෙමනම් ආර්ථිකය ඉවත් කරන්න කියා. හොඳයි අනෙක් කරුණු දෙකෙන් කුමක්ද ඉවත් කරන්නේ කියා අධිරාජයා කොන්ෆියුසියන්ගෙන් විමසනවා. ඔහු කියා සිටින්නේ එහෙනම් ආරක්ෂාව කියන දේ ඉවත් කරන්න කියලා. ඔන්න ඔය මොහොතේ ඔහු මහ හයියෙන් සිනාසී කොන්ෆියුසියස්ගෙන් ප්‍රශ්න කරනවා. ආර්ථිකය හා ආරක්ෂාව නැතුව ඉන්න රටක මිනිසුන්ගේ සදාචාරය විතරක් රැක්කම කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ, කන්නේ බොන්නේ කියලා.

මෙන්න මේ මොහොතේ ඔහු දෙන පිළිතුර හරි අපූරුයි. මහරජ ආර්ථිකය නැතත්, ආරක්ෂාව නැතත් සදාචාරය පවතිනවා නම් ඒ රටේ මිනිස්සු ගැන කිසිම සැකයක් නැහැ. ඔවුන්ට ආර්ථික ශක්තිය වගේම ආරක්ෂාව ලැබෙනවා. හැබැයි ඉතිං සදාචාරය නැතුව අනෙක් කරුණු දෙක තිබුණා කියලා රටකට කිසි සුගතියක් නෑ. ඒක හරියට සූඛරයෝ, ගවයෝ වගේ. මිනිසුන් හැදෙයි. නමුත් මනුස්සකම ඉතුරු වෙන්නේ නැහැ කියලා.

මනුස්සකම පිරිහුණු, නැතිවුණු තැන ආර්ථිකය හෝ ආරක්ෂාව පැවතිලා කුමටද? ඒ නිසා මනුස්සකම, සංවේදිකම රැඳුණොත් අනෙක් හැමදේම පවතියි. මෙතැනදී අපට හිතන්න දෙයක් තියෙනවා. යම් රටක ජනතාව දියුණු යැයි තීරණය කරන්නේ ආර්ථිකය නිසාවත් ආරක්ෂාව නිසාවත් අධි තාක්ෂණික ක්‍රමවේද හා උස්ව නැගුණු ගොඩනැගිලි නිසාවත් නොවෙයි. සියල්ල තීරණය වන්නේ සදාචාරාත්මක හා විනය ගරුකත්වය මතයි. එහෙම නොවුණොත් සමාජය, ශරීරය වැඩුණු සූඛරයන් හා සමානයි. තමන්ගේ අම්මා තාත්තා හඳුනන්නේ නැහැ. හොඳ නරක දන්නේ නැහැ. පරිහානිය වටහා ගන්න පුළුවන් නේද?

ඉතින් මේ කාරණාව හරිම වැදගත්. බෞද්ධ ආර්ථිකය වගේම බෞද්ධ සමාජ විද්‍යාත්මක පදනම මත පිහිටමින් අපි කටයුතු කිරීම. මේ සදාචාරය හෙවත් හික්මීම දෙන බුදුන් වහන්සේගේ දේශනාවන් තුළ තියෙන්නේ ‘විනයෝ නාම ශාසනස්සායි’ යනුවෙන්. මේ සමස්ත සමාජ රටාව පිහිටලා තියෙන්නේ විනය මතයි.

මෙය අපේ පැරණි සම්ප්‍රදායේ තියෙනවා. ‘විද්‍යා දධාති විනයං’ කියලා. ඒ කියන්නේ විද්‍යාව කියන්නේ උගත්කම විෂය ඥානය, ශිල්ප ශාස්ත්‍ර දැනීම. මේ සියල්ලේ අවසන් ඵලය වන්නේ විනය හෙවත් හික්මීමයි.

අද දරුවන් ඉගෙන ගන්නේ ඇයි. ඇහැව්වොත් කියන්නේ සහතික ගන්න. ඊට පස්සේ හොඳ රැකියාවක් කරන්න. දෙමව්පියෝ මොකද කරන්නේ ජනපි‍්‍රය පාසල් හොයන් යනවා. ශිෂ්‍යත්ව විභාගවලට දරුවන් නොමරා මරණවා. ඇයි හොඳ රැකියාවක් ගන්න. රැකියාවක් නම් ලැබෙයි, සහතිකත් ලැබෙයි. හැබැයි ඒ පුද්ගලයා අම්මා තාත්තා හඳුනන්නේ නැතිනම් හොඳ නරක දන්නේ නැතිනම් මොකක්ද ඇති ඵලේ. අපි දැනගතයුතුයි ඉගෙනගත යුත්තේ හොඳ පුරවැසියකු වීමටයි. තමන්ටත් අනුන්ටත් අයහපත් නොකොට යහපත සලසාගෙන සමාජයට පරිසරයටත් යහපත් ව ජීවත් වීමටයි. බුදුන් වහන්සේ තීරණය කළා යහපත් සමාජයක් ගොඩනගන්න නම් මුලින්ම විනය හික්මීම ගොඩගන්න අවැසියි කියා. ඒ නිසයි විනය ශික්ෂාපද පැනෙව්වේ.

මේ විනය ගරුත්වයේ යහපත ඉතා මැනවින් අපි දැක්ක ඓතිහාසික අවස්ථාවක් අපි මේ මුහුණ දුන්න කොරෝනා ව්‍යසන තත්ත්වය. එතැනදී අපිට අද සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට හේතුවූයේ බෞද්ධ සමාජය තුළ පැවැති විනය ගරුකත්වයයි. මා සඳහන් කළ රටවල සාර්ථකත්වයට බලපෑවේ මේ බෞද්ධ සමාජ පරිසරයයි.

අපි බෞද්ධයන් විදිහට පුරුදු වෙලා තියෙනවා මෙත්තා කාය කම්ම, මෙත්තා වචී කම්ම, මෙත්තා මනෝ කම්ම කියන දේට. යහපත් හැසිරීම, යහපත් වචන වගේම යහපත්ව සිටීම කියන ගුණ දහම් වලට. අපි හුරුවුණු සමාජයක්. මෛත්‍රී භාවනාවෙන් අප කරන්නෙත් ඔය දේමයි. තමන්ට මෙත් වඩල ඉන්පසු අපි අනෙක් අයට මෙත් වඩනවා.

මෙන්න මේ සාධකය මුල් කරගෙන කොරෝනා කාලේ අපිට ලැබුණු සෞඛ්‍ය නීති අපි අකුරට පිළිපැද්දා. අදටත් අපි පිළිපදිනවා. තමන්ගේ යහපතට එය අකුරට පිළිපදින විට එය පවුලටත්, ඉන්පසු සමාජයටත්, රටටත් ගෙනාවේ සුබ ප්‍රතිඵලයක් විතරමයි. ආත්මාර්ථකාමී කම්, අන්තවාදී කම් සමහර අය තුළ පැවතුණත් බොදුනුවන් තුළ අපි එය දැක්කේ නැහැ. මෙ විශිෂ්ඨ ප්‍රතිඵලයේ සාර්ථකත්වය එයයි.

මෙයින් අපට පැහැදිලියි මිනිසුන් තුළ සදාචාරවත් බවත්, හික්මීමත් ගොඩනැගුණු රටක් විදිහට කෙතරම් ශක්තිමත්ද කියලා. මේ ව්‍යසනයේ ජයග්‍රහණය එයයි. ඒ නිසා යහපත් ජීවන චර්යාවෙන් ජීවත් වන්නට හැකිනම්, බෞද්ධ සාරගර්භ තුළ රැඳෙන්නට හැකිනම් අපට මෙලොවත් සැනසෙන්ට හැකියි. පරලොවත් සැනසෙන්නට හැකියි.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.