අහස සිඹින කොළඹ වරාය නගරය

කොළඹ වරාය නගරය මුල් සැලසුම අනුව ක‍්‍රියාත්මක වූවා නම් මාස තිස් නමයක් ඇතුළත මුහුද ගොඩකිරීම අවසන්ය. වරාය නගරයේ කටයුතු ඇරඹෙන්නේ 2014 අවුරුද්දේ සැප්තැම්බර් මැදය. වසර දෙකහමාරකට පමණ කලින් එනම් 2017 දෙසැම්බර් වන විට ගොඩකිරීම් අවසන් කරනු ඇත. නීත්‍යානුකූල කාර්ය අවසන් වීමෙන් ඉනික්බිතිව ඉදිකිරීම් අරඹන අතර ඉලක්කය අනුව ගමන් කළේ නම් අද වන විට අහස උසට ගොඩනැගිලි, ලෝකයේ සතර අතට විහිදෙන ව්‍යාපාර ජාල සහ සංචාරකයන් ආකර්ශනය කරන අපූරු භූමියක් එහි තිබෙනු සැකයක් නැත.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ව්‍යාපෘතිය අත්හිටුවීය. ඡන්ද වේදිකාවේ දී කොළඹ වරාය නගරය රටට අහිතකර දෙයක් බවට මහා ඝෝෂාවක් කළේය. ඡන්දය ජය ගත් පසු ජනාධිපතිවරයා දෙවරක් හා අගමැතිවරයා වතාවක් චීනයට ගියේය. එයින් අනතුරුව පරිසර වාර්තා ප‍්‍රශ්නයක් නැති බව ප‍්‍රකාශ වූ අතර 2012 මැද අත්හිටුවන ලද ව්‍යාපෘතිය නැවත 2014 සැප්තැම්බර් මාසයේ ආරම්භ කෙරිණ. කල්මරන ලද කාලය සලකා ගොඩකරන බිම් ප‍්‍රමාණය වැඩි කරන අතර එම භූමිය බෙදාගන්නා ක‍්‍රමය ගැන ද වෙනස්කම් තීරණය කර ගත්තේය. යළි කටයුතු ඇරඹිණ. අද වන විට කොළඹ දිස්ත‍්‍රික්කයට අයත් මනරම් භූමියක් අලුතින් එකතු වී තිබේ. පරිසර කලාපයක් හැදී ඇති බව මාධ්‍ය වලින් පෙන්වයි. වරාය නගරය වශයෙන් නිල වශයෙන් දක්වන නමුත් පැවැති ආණ්ඩුව මෙම කලාපය කොළඹ මූල්‍ය නගරය වශයෙන් නම පවා වෙනස් කරන ලද බව දැක්විය යුතුය.

කොළඹ වරාය නගරයේ පසුබිම ගැන යමක්

කොළඹ වරාය නගරය ඉදිකරන සැලසුම අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ව්‍යාපෘතියකි. චීන කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම එයට මැදිහත් වී තිබේ. මුහුද ගොඩකර අලුත් ඉඩමක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අදහසකි. ඒ වෙනුවෙන් සියලු වියදම් දරන්නට චීන සමාගම එකඟ විය. අයවැය ලේඛනයෙන් මෙම ව්‍යාපෘතියට මුදල් වෙන් කරන්නේ නැත. එහෙයින් බැලූ බැල්මට මෙය ඉතා වාසිදායකය. හොංකොං හි ගුවන් කොටුපොළ, සිංගප්පූරුවේ චන්ගි ගුවන් තොටුපොළ සහ ඩුබායි පාම් නගරය මහ මුහුද ගොඩකර නව නගර ඉදිකරන ලද සාර්ථක අවස්ථා බව සඳහන් කළ යුතුය. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අනුව මුහුද ගොඩකර හෙක්ටයාර් 233 ක් විශාල අලුත් භූමියක් ඉදිවනු ඇත. මුලින් අත්සන් කරන ලද ගිවිසුමට අනුව එයින් හෙක්ටයාර් 20 ක් ඉදිකිරීම් කරන සමාගමට පරම අයිතියක් ලැබේ. තවත් හෙක්ටයාර් 88 ක් අනූනම අවුරුදු බද්දකට යටත්ව චීන සමාගමට හිමිවෙයි. ශ‍්‍රී ලංකා ආණ්ඩුවට හිමි වූ ඉඩම් ප‍්‍රමාණය හෙක්ටයාර් 135 ක් පමණකි. නමුත් අද වන විට ඉඩම් බෙදාගැනීම වෙනස්ය. හෙක්ටයාර් 125 ක් ශ‍්‍රී ලංකා ආණ්ඩුව සතුය. චීන සමාගමට හෙක්ටයාර් 88 ක් අයිති අතර එය අනූනම අවුරැදු බද්දකටය. තවත් හෙක්ටයාර් 20 ක් අවශ්‍ය නම් චීන සමාගමට බදු ගැනීමට අලුත් ගිවිසුම අනුව ඉඩ ලැබේ.

වරාය නගරයේ පොදු පහසුකම් සහිත කොටස්වල ඇතැම් අංශ දැන් අවසන් අදියරට පැමිණ ඇත. උද්‍යාන ඉදිකිරීම එයින් එකකි. චීන සමාගමට අයත් කොටස අඛණ්ඩව කරගෙන යන අතර ශ‍්‍රී ලංකාවට අයත් ඉඩම්වල තැනෙන අවකාශය ගැන තවමත් අවසන් තීරණයක් නැත.

කොළඹ වරාය නගරය කොළඹ පරිපාලන දිස්ත‍්‍රික්කයට යටත් කර තිබේ. පසුගිය ආණ්ඩුව කාලයේ තිබුණු මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වරාය නගරයට අවශ්‍ය ජලය හා විදුලිය සපයන ගිවිසුම අත්සන් කරන ලදී. එයට අනුව ශ‍්‍රී ලංකා ආණ්ඩුව අමෙරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලක් ආයෝජනය කළ යුතු වෙයි. උග‍්‍ර විනිමය හිඟයක සිටින රටට මෙවැනි මුදලක් යෙදවීම පහසු කාර්යයක් නොවේ. ඉදිරි මහ මැතිවරණයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නැවතත් ණය සංචිතයක් ගැනීමේ සූදානමක් තිබේ. එය බොහෝ දුරට අමෙරිකානු ඩොලර් බිලියනයක් හෝ එකහමාරක් විය හැකිය. එම මුදල සම්පූර්ණයෙන්ම වරාය නගරයේ යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය බලවත් අවදානමක් ඇති කරනු නිසැකය.

ආයෝජන ගෙන්වා ගැනීම ගැන අදහසක් තිබේද?

චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගමට අයත් බිම් ප‍්‍රමාණය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන පහළොවක ආයෝජන කැඳවන්නට සැලසුම් කර තිබේ. අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් වියදම් කර අමෙරිකානු ඩොලර් බිලියන 15ක අලුත් ව්‍යාපාර එහි කැඳවන්නට චීනයේ කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම සැලසුම් කරන විට එමගින් අලුත් රැකියා අසූපන් දහසක් ලැබෙනු ඇතැයි උපකල්පනය කරයි. අලුත් ගිවිසුම අනුව ශ‍්‍රී ලංකාවට හිමිවන හෙක්ටයාර් ගණන වෙනස් විය හැකි නමුත් මෙම භූමියෙහි කරන කර්මාන්ත, ව්‍යාපාර හෝ සේවා අංශ කවරේද යන්න පැහැදිලි කරගන්නට අවශ්‍යය.

2016 අයවැය ඉදිරිපත් කරන විට ඩී.ආර්. විජයවර්ධන මාවත අවට ප‍්‍රදේශය විශේෂ මූල්‍ය කලාපයක් කරන්නට යෝජනා කරන ලදී. අලුත් ආයෝජන ප‍්‍රවර්ධනය දිරිගැන්වීම අරමුණු කළේය. එහෙත් කිසිවක් සිදුවූයේ නැත. වරාය නගරය සම්බන්ධව බලපවත්වන නීති සම්බන්ධ අලුත් යෝජනා චීන සමාගම හා ශ‍්‍රී ලංකා රජය අතර තවත් නොබෝ දිනකින් හුවමාරු කර ගැනීමට නියමිතය. ශ‍්‍රී ලංකාවට අයත් කොටසේ ආයෝජන සඳහා පියවර ගැනීමට ආයෝජන මණ්ඩලයේ වරප‍්‍රසාද ප‍්‍රමාණවත් ද යන්න පැහැදිලි කරගත යුතුව ඇත. දැනට තක්සේරු කරන අන්දමට වරාය නගරය ප‍්‍රදේශයේ ඉඩම් මිල අති විශාල එකකි. ආයෝජකයන් එම පිරිවැය දරා ගැනීමට සමත්විය යුතුය. ආසියානු කලාපයේ සංචාරක පාරාදීසයක් වනු ඇතැයි උපකල්පනය කර තිබුණු නමුත් ජාත්‍යන්තර ප‍්‍රවණතා අනුව සංචාරක කර්මාන්තය තවදුරටත් පසුබැමක පවතිනු ඇත. මෙතැනින් ඉදිරියට ගමන් කරන්නේ කෙසේද යන්න ගැන මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන් විසින් අවධානය යොමු කළ යුතුය. මැතිවරණ උණුසුම හෙයින් යම් යම් තීරණ ගැනීම ප‍්‍රමාද වුවහොත් රටට අවාසියකි.

ප‍්‍රමාද වන මොහොතක් පාසා අවාසිය තියුණුය

වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවන ලද කාලය තුළ එහි ඉදිකිරීම් පිරිවැය ඉහළ ගොස් තිබේ. චීනයේ කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම මුලින් සඳහන් කළ ආකාරයට නතර කර තිබුණු එක දිනකට ඔවුන්ට සිදුවූ පාඩුව අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ අසූ දහසකි. ව්‍යාපෘතිය සකස් කරන විට දෙරට අතර ගනුදෙනු සාකච්ඡා කරන ලද්දේ අමෙරිකානු ඩොලරයක් රුපියල් 130.00 ක් යන පදනමෙහි සිටිමින් බව ගිවිසුම්වල දැක්වේ. අද වන විට අමෙරිකානු ඩොලරය ඇපියල් 185.00කට ආසන්නය. ඉදිකරන පිරිවැය අවාසියක් පමණක් නොව විනිමය මත පදනම් කරගෙන පිරිවැය අවාසියක් ද චීන සමාගමට සිදුවී ඇත. චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම දැවැන්ත ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාතියේ අවාසිය වෙනත් පැත්තකින් කළමනාකරණය කරගනු ඇත. ශ‍්‍රී ලංකාවට එය දැනෙන්නේ වෙනස් ආකාරයකටය. එදා කරන්නට තිබුණු වියදම අද කරන විට දෙගුණ තෙගුණ වී ඇති බව පෙනේ. එපමණක් නොව අපේක්ෂිත සැලසුම් ද ව්‍යාකූල වී තිබේ. එය කෝවිඩ්-19 වසංගතයෙන් එල්ල වූ නරක බලපැමකි.

අවුරුදු ගණනක අවාසිය මැඩගන්නට නම් ඉක්මනින් තීරණ ගත යුතුය. අවශ්‍යතාවයක් ඇතොත් ප‍්‍රමාද ගාස්තු, වන්දිය, ඉඩම් බෙදාගැනීම වැනි කාරණා ගැන තර්ක මතු කරමින් තවත් අවුරුදු ගණන් එනම් ආණ්ඩුවල නිල කාල වකවානු අවසන් වන තෙක් සාකච්ඡා කරන්නට ඉඩකඩ තිබේ. තීරණ ගෙන ඉක්මනින් අලුත් යුගයකට ඇතුළු වීම අපහසුය. එයට බාධා ඇති බව පැහැදිලිය. නමුත් වැදගත් කාර්යය ක‍්‍රියාත්මක වීමයි. නිලධාරීන් මෙහිලා යුහුසුළු විය යුතුය. රටට ඉදිරි පිම්මක් සඳහා පැහැදිලිව ඇති අවස්ථාවක් අහිමි කර ගැනීම බරපතළ තත්ත්වයකි. වරාය නගරයේ ශ‍්‍රී ලංකාවට අයත් කොටසට විදේශ ආයෝජන ගෙන්වාගත හැකි නම් තවත් රුකියා අවස්ථා දස දහස් ගණනක් ලැබෙනු ඇත.

හිතන්නට ඇති දේ කරගන්නට හැකි වාතාවරණයක්

කොළඹ වරාය නගරය ගැන ශ‍්‍රී ලංකාවට ඇති අපේක්ෂා සෑහෙන විශාල එකකි. නිවැරදිව කළමනාකරණය කරගත හැකි වුවහොත් ආර්ථික වර්ධනයට ඉමහත් පිටිවහලකි. ඉදිරි පියවර ගැන පුළුල් දර්ශනයක් තිබිය යුතුය. මෙරටින් සම්පාදනය කළ යුතු ජලය, විදුලිය සහ ඇතැම් මංමාවත් ඉදිකිරීම ඉතා භාරධුර කටයුතුය. කොළඹ නගරයට අවශ්‍ය තරමට විදුලිය හෝ ජලය මෙම නව කොළඹ වරාය නගර ව්‍යාපෘතියට වුවමනා බව තක්සේරු කර තිබේ. ඒවා සැලසුම් කිරීම පහසු නැත. අඩුම තරමින් කසළ කළමනාකරණය පවා අතිරේක බරක් බවට පත්වන්නට ඉඩ තිබේ. රට තුළ බරපතළ ගැටලු මතු කර ඇති කසළ ඉවත් කිරීම නාගරික ජනතාවගේ ජීවිත දුක්බර එකක් කර ඇත. කසළ කඳු නිර්මාණය කර තිබේ. නවීන තාක්ෂණය පදනම් කරගෙන වරාය නගරයේදීම එහි කසළ ප‍්‍රතිචකී‍්‍රකරණය නොකළහොත් ඒවා නැවත අලුත් ගැටලු ඇති කරන්නට ඉඩ තිබේ. චීනයේ කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම තමන්ගේ ආයෝජනයට සියයට දහසයක ප‍්‍රතිලාභ අපේක්ෂා කරයි. ඔවුන් ධනය වියදම් කරන්නේ ලාභ උපයාගන්නට විනා අවාසි සහ දෝෂාරෝපණ සහිතව ආපසු යන්නට නොවේ.

ලෝක ආර්ථිකයේ පරිවර්තනය, මිල ඉහළ යාමෙන් සිදුවන හානිය යනාදී කාරණා සලකා බැලිය යුතු පැති වශයෙන් දැක්වීම අවශ්‍යය.

චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම ලෝකයේ ප‍්‍රධාන ඉදිකිරීම් සමාගම් 225 ක් අතර දහවැනි ස්ථානයේ සිටියි. මෑත කාලය තුළ මෙරට දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටරවුම් පාර, හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපොළ යනාදී වශයෙන් ඉදිකිරීම් ගණනාවකට සම්බන්ධ විය. තීන්දු ගැනීමේ විලාශය ගැන මෙම සමාගමට මනා අත්දැකීම් ඇති බව නිසැකය. එහි මෙහෙයුම් සමඟ කරට කර පැවැත්මක් සඳහා ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර සැලසුම්කරැවන් හෝ උපදේශකයන් සමඟ සම්බන්ධ වීම අවශ්‍යය. එවැනි පියවරක් ඉතා වැදගත්ය.

 ගාමිණී සරත් ගොඩකන්ද

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.