බංකොළොත් පක්ෂ එක්ක මොන ඩීල්ද?

මේ වන විට ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරලා ඉවරයි. එක පැත්තකින් කෝවිඩ් වසංගතය. අනෙක් පැත්තෙන් ඡන්දය. අපේක්ෂකයකු හැටියට පරණ ඡන්ද ව්‍යාපාරය කරන්න අමාරැයි. කොහොමද ඡන්ද ව්‍යාපාරය කරන්නෙ?

අපි දැනගන්න ඕනෙ ඡන්ද ව්‍යාපාරය වගේම මේ කෝවිඩ් වසංගතය නිසා මුළු ලෝකයම වෙනස් වෙලා තියෙන්නෙ කියලා. ඒ නිසා සියලු අපේක්ෂකයන් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි වැඩ කටයුතු කළ යුතුයි. ඒ වගේම අපේ අනුගාමිකයන්ව, ඡන්ද දායකයන්ව ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ කරගන්න ඕනෙ. මේ වෙනකොට රටේ ජනනායකයන් ලෙස පිළිඅරගෙන ඉන්නෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ මහත්තයත්. ඒ අයට අපේ ඡන්ද ව්‍යාපාරවලට සම්බන්ධ වෙන්න විදියක් නැහැ. ඒ නිසා අපිට ඡන්ද ව්‍යාපාරවලින් ගැම්මක් ගන්න අමාරැයි. එවැනි නායකයො එන්නෙ නැතිකොට එතන අපිට ලොකු අවාසියක් තියෙනවා. ඒ වගේම අනෙකුත් පක්ෂවල නායකයො ආවා කියලා ඡන්ද දායකයො එන්නෙ නෑ. ඒ නිසා ඒ අයට වාසියක් තියෙනවා ඡන්ද ව්‍යාපාරවලට සෙනග නෑ කියලා කියන්න. ඒ නිසා මේ අභියෝග සියල්ල මැද්දෙ අපි ඡන්දයට සූදානම් වෙනවා.

ඔබ ඡන්ද අපේක්ෂකයකු හැටියට පක්ෂ පාට අමතක කරලා හිතුවොත් මේ වාතාවරණය උඩ නිදහස් හා සාධාරණ මැතිවරණයක් තියන්න පුළුවන් කියලා හිතනවද?

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරලා ඡන්ද ව්‍යාපාරය කරනවා මිසක් එහෙම නැතුව ඡන්දය නොතියා ඉන්න වාතාවරණයක් රටේ ඇතිවෙලා නෑ. මීට කලින් යූ.එන්.පී. ආණ්ඩුවක් යටතේ ඡන්ද තියලා අපි මැතිවරණ දෙකක් ජයග්‍රහණය කළා. මම විශ්වාස කරනවා මේ තත්ත්වය උඩ හොඳ මැතිවරණ දිනයක් හැදෙනවා. ඒක තමයි ලොකුම වාසිය. ඒ නිසා ඡන්දය නොතියා ඉන්න වාතාවරණයක් රටේ ඇතිවෙලා නෑ. සාමාන්‍යයෙන් මැතිවරණය කොටස් තුනකට බෙදෙනවා. මැතිවරණයට පෙර, මැතිවරණය දින සහ මැතිවරණයෙන් පසු. ඒ නිසා අපේ වගකීමක් තියෙනවා මේ තුනම සෞඛ්‍ය උපදෙස් මත සිදු කරන්න. විශේෂයෙන් ගෝඨාභය මහත්තයත් මහින්ද මහත්තයත් මේ වසංගතය වෙනුවෙන් ගත්ත පියවර ආරක්ෂා කරන එක අපේක්ෂකයන් හැටියට අපේ යුතුකමක්. ඒ වගේම මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ ඒකෙ වගකීම තියෙනවා. සෞඛ්‍ය අංශවල උපදෙස් මත මැතිවරණ කොමසාරිස්වරයා කියන විදිහට වැඩේ කළොත් ඔය ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑ.

ඔබ හිතනවාද ඡන්ද දායකයො මැතිවරණපොළට පැමිණෙයි කියලා?

සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි ජනාධිපතිවරණයෙන් පස්සෙ ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරන පක්ෂයට මහ මැතිවරණයේ බලය හිමිවෙනවා. විපක්ෂයට හිමිවන ඡන්ද ප්‍රතිශතය අඩුවෙනවා. 2015 දී අපි ලක්ෂ 58 ක් ගත්තට මහ මැතිවරණයේදී ලක්ෂ 48 දක්වා අඩු වුණා. ඒ නිසා මේකෙත් වෙන්නෙ ඒ න්‍යාය තමයි. හැබැයි අඩුවෙන ඡන්ද ප්‍රමාණය විපක්ෂයට එදාට වඩා වැඩියි. හේතුව අද එක්සත් ජාතික පක්ෂය දෙකට මැද්දෙන් කැඩිලා තියෙන්නෙ. ඒ වගේම යහපාලන ආණ්ඩුව සිදු කරපු වංචා දූෂණ ගැන ජනතාවට කලකිරීමක් තියෙනවා. අපි ඉලක්කයක් තියාගෙන ඉන්නවා. අපිට ඒ ඉලක්කයට යන්න පුළුවන් විපක්ෂයට තියන ජනතා විරෝධයත් එක්ක.

එජාපයට වඩා දැන් අභියෝගයක් වෙලා තියෙන්නෙ සමගි ජනබලවේගය. මේ මැතිවරණය සම්බන්ධයෙන් ඒ අය අධිකරණයට පවා ගියා. ඒ අය කියනවා සාධාරණ මැතිවරණයක් පවත්වන්න බෑ කියලා. ඒ චෝදනාව ගැන ඔබේ අදහස මොකක්ද?
උසාවි තීන්දුවෙන්ම පේනවා මැතිවරණය තියන්න ප්‍රශ්නයක් නෑ කියලා. ඔය සමගි ජනබලවේගයට සම්බන්ධ වෙලා ඉන්නෙ මිනිස්සුන්ට බොරු කියපු මිනිස්සු, රවට්ටපු මිනිස්සු. ඒ අයගේ පරාජය වහගන්න තමයි මෙවැනි බොරු ප්‍රකාශ බොරු දේවල් කියන්නෙ. ඔය යූ.ඇන්.පී ආණ්ඩු තියෙන කාලෙ පවා හරියට මැතිවරණයක් තිබ්බෙ නෑනෙ. ඒ අය පළාත් සභා මැතිවරණය කල් දැම්මෙ දින නියමයක් නැතුව. ඒ නිසා ඒ අයගෙ බය වැඩක් නෑ. අපි ජනතාවගේ මතයට ඇහුම්කන් දීලා ජනතාවට සුදුසු අය පත්කර ගන්න ඉඩ ලබාදෙන්න ඕනෙ.

විපක්ෂයෙන් ගේන චෝදනාව තමයි ආණ්ඩුව මේ කොවිඩ් වසංගතය තමන්ගෙ ඡන්ද ව්‍යාපාරයේ කොටසක් බවට පත්කර ගන්න හදනවා කියලා?

කොවිඩ් වසංගතය කාගෙවත් දේශපාලන වාසියක් කරගන්න බෑ. ඒක තීරණය කරන්නෙ සෞඛ්‍ය අංශ. ඔය කියන කට්ටිය දන්නවා ඒ අය හිටිය නම් මේ වගේ වසංගතයකට මුහුණදෙන්න ශක්තියක් නෑ කියලා. අඩුම ගාණෙ පාස්කු ප්‍රහාරය ගැන දැනගෙන කිසි දෙයක් කරගන්න බැරි වුණානෙ. ඒ විතරක් නෙමේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවමක් දීගන්නත් බැරිවුණා. ඒගොල්ලන්ගෙ ආරක්ෂක ලේකම් කිව්වෙ ගහන බව දැනං හිටියා ඒත් මෙහෙම ගහයි කියලා හිතුවෙ නෑ කියලා. ලංකාවෙ වගේ එවැනි ප්‍රශ්නයක් විසඳගන්න බැරි මිනිස්සු මේ වගේ ජාත්‍යන්තර වෛරසයකට මුහුණ දුන්නා නම් මේ වෙනකොට අමෙරිකාවක් වෙලා ලංකාව. ගෝඨාභය මහත්තයා හරි තීන්දුව අරගෙන මේ වැඩේ කළ නිසා අද රටක් හැටියට අපි බේරිලා ඉන්නවා. ඒ නිසා ජනතාවගේ විශාල ගෞරවයක් තියෙනවා ජනාධිපතිතුමාට. මහින්ද මහත්තයා යුද්දෙ දිනලා මිනිස්සුන්ට ජීවිත දානෙ දුන්නා වගේම ගෝඨාභය මහත්තයා ලෝකෙටම වසංගතයක් වෙච්ච කෝවිඩ් වසංගතයට මුහුණ දුන්න නිසා රටේ ජනතාව බේරිලා ඉන්නවා. මේ නායකයො දෙන්නම රටේ මිනිස්සු වෙනුවෙන් හරි තීරණ ගත්ත නායකයො දෙන්නෙක්. ජනතාවගේ ඇගයීමට ඒ අය කියන්නෙ දේශපාලන වාසි කියලා.

එජාපය කියනවා සමගි ජනබලවේගයට ආණ්ඩුව එක්ක ඩීල් තියෙනවා කියලා. සමගි ජනබලවේගය කියනවා එජාපය එක්ක ආණ්ඩුවට ඩීල් තියෙනවා කියලා. ඇත්තටම ආණ්ඩුවට ඩීල් තියෙන්නෙ කා එක්කද?

අපි ඩීල් දාන්නෙ ජනතාවත් එක්ක විතරයි. අපි පක්ෂ එක්ක ඩීල් දාන්නෙ නෑ. අපි ජනතාවත් එක්ක ඩීල් එකක් දාලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොරොන්දු වෙච්ච දේවල් ඉටුකරන්න ජනතාවට ඡන්දය දෙන්න කියලා. කොහෙත්ම ඔය බංකොලොත් වෙච්ච පක්ෂ එක්ක ඩීල් දාන්න අපට වුවමනාවක් නෑ.

අපිට ආරංචි සහ සමාජ මාධ්‍යවල තියෙනවා ප්‍රසන්න රණතුංග තමන්ගෙම පක්ෂයෙ ඇතැම් අපේක්ෂකයන්ට මනාප සටනින් ඉස්සරහට එන්න දෙන්නෙ නෑ කියලා. ඒක ඇත්තද?

ඒක මගෙන් නෙමෙයි අහන්න ඕනෙ. ඒ මිනිස්සුන්ගෙන්. අපේ ගම්පහ දිස්ත්‍රික්කයෙ අපිත් එක්ක තරග කරන හොඳ කණ්ඩායමක් ඉන්නවා. ජනතාවට ඉඩ දීලා තියෙනවා හොඳ අය පත්කර ගන්න. මම ජනතාවට බලපෑම් කරන්නෙ නෑ මනාප සම්බන්ධයෙන් කා ගැනවත්. එහෙම වුණොත් මම පරදිනවා. ජනතාවට ස්වාධීන තීන්දු ගන්න අයිතිය තියෙනවා.

ඇතැම් අපේක්ෂකයො ඔබගේ ලැයිස්තුවට දැමීම සම්බන්ධයෙන් ඔබ අකැමැත්තක් තියෙනවද?

මට එහෙම ප්‍රශ්නයක් නෑ. මම කියන්නෙ 2015 පරාජයෙන් පස්සෙ අපිත් එක්ක හිටපු මහින්ද මහත්තයා තනි නොකරපු අයට ඡන්දය දෙන්න කියලා. එහෙම උදව් නොකළ කෙනෙක් ඉන්නවා නම් ජනතාව තීන්දු ගනී.

ඔබ කියනවා රාජපක්ෂවරු තනි නොකරපු අයට විතරක් ඡන්දය දෙන්න කියලා. මේකෙන් අනිත් අයට අසාධාරණයක් නෙමෙයිද වෙන්නෙ?

මම හැමදාම එක තීන්දුවෙ ඉන්න මිනිහෙක්. අපි 2015 එළියට බැස්සෙ යූ.ඇන්.පී. ආණ්ඩුව එළවලා ජනතාවාදී ආණ්ඩුවක් පත්කර ගන්න. ඇතැම් අය කිව්වා යහපාලනයට ගියොත් ඒ අය හිතන දේවල් කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒ අරගලයට උදව් කරපු මිනිස්සු ඉන්නවා. අන්න ඒ අය වෙනුවෙන් අදත් පෙනී ඉන්නවා. හෙටත් පෙනී ඉන්නවා.

ඇත්තද ඔබ නාමයෝජනා මණ්ඩලයට බලපෑම් කළා කියන්නෙ ඔබගේ නාමයෝජනා ලැයිස්තුවට ඇතැම් පුද්ගලයන්ගෙ නම් ඇතුළත් කරන්න එපා කියලා?

මම කවදාවත් එහෙම බලපෑම් කරලා නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නෙ හොඳ අවබෝධයක් සහ දේශපාලන පරිණතභාවයක් තියෙන කෙනෙක්. බැසිල් රාජපක්ෂ මහත්තයත් එවැනි අත්දැකීම් තියෙන කෙනෙක්. ඒ අය කොහොමත් දූෂිත පුද්ගලයන්ට අපේ නාමයෝජනා ලැයිස්තුව දෙන්නෙ නෑ. ඒ නිසා ඒකට මම මැදිහත් වුණේ නෑ.

ඔබට වියත් මගයි ශ්‍රීලනිපයයි එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද?

වියත් මගේ අය ජනාධිපතිතුමාට උදව් කරපු අය. ඒ අය ඉන්නවා අපේ ස්ථාවරයේම. ඉතින් මට ඒ අයත් එක්ක ප්‍රශ්නයක් නෑ.

ඔබ ඒ වුණාට ශ්‍රීලනිපයට ගහනවා පක්ෂයත් එක්ක ගැටලුවක් නෑ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක ගැටලුවක් තියෙනවා කියලා. එහෙම ගැටලු තියාගෙන ඉදිරියට යන්න පුළුවන්ද?

එතුමා සමාව ඉල්ලන්න ඕන මහින්ද මහත්තයගෙන් එතුමටයි රටටයි කරපු දේවල් වලට. මොකද එයා පෞද්ගලිකවම කරපු දේවල් අපි දන්නවා. මහින්ද මහත්තයගෙ දරැවො ටික හිරේ දාන්න කටයුතු කරපු හැටි අපි දන්නවා. එතකොට රාජපක්ෂ සහෝදරවරැ හිරේ දාන්න කටයුතු කරපු හැටි අපි දන්නවා. ඒ නිසා මම එදත් එයාට විරුද්ධයි. අදත් එයාට විරුද්ධයි. පොළොන්නරැවෙ ජනතාව තීන්දු කරයි එතුමා පාර්ලිමේන්තු එනවද නැද්ද කියලා.

ඔහු යම්කිසි ආකාරයකට දිනලා පාර්ලිමේන්තු ඇවිල්ලා කැබිනට් ඇමැතිකමක් ගත්තොත් ඔබ ඒකටත් විරුද්ධ වෙනවද?

එතුමත් එක්ක පෞද්ගලික තරහක් මගේ නෑ. දේශපාලන මතවාදී ආරවුලක් තියෙන්නෙ. පක්ෂය යම්කිසි තීන්දුවක් ගත්තොත් දෙන්න කියලා එක්කො මම අයින් වෙන්න ඕනෙ. නැත්නම් මම පක්ෂයත් එක්ක හිටගන්න ඕනෙ. කොහොමත් අපි එදාට බලමු මොකක්ද කරන්නෙ කියලා.

ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි සංචාරක ක්ෂේත්‍රය. ඔබ සංචාර භාර ඇමැති. පාස්කු ප්‍රහාරය, වෛරසය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රය කඩා වැටිලා ඉවරයි. ඒක නංවන්න මොකක්ද අරගෙන තියෙන පියවර?

ඇත්තටම මම නෙමෙයි සංචාරක අධිකාරියේ සභාපතිතුමියත් අධ්‍යක්ෂක මණ්ඩලයත් මේ වෙනකොට ඒ අවශ්‍ය සැලසුම් සියල්ල හදලා ඉවරයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කැඳවලා අපිත් එක්ක සාකච්ඡා කළා. අපි කොහොමත් අගෝස්තු පළවැනිදා ඉඳන් ගුවන් තොටුපොළ විවෘත කරනවා. සෞඛ්‍ය අංශය සහතික කළොත් ඊට කලින් විවෘත කරන්න පුළුවන් වෙයි. ඒ වෙනකොට සියලු කටයුතු ආරම්භ වෙලා තියෙයි. මේ වෙනකොට එහි මූලික වැඩ කටයුතු ආරම්භ වෙලා තියෙනවා.

ඔබ ගුවන් තොටුපොළ භාර ඇමැති. අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙක් නිරෝධායනය වෙන්නෙ නැතුව එළියට ගියා කියලා චෝදනාවක් තියෙනවා. ඒ ගැන ඔබ මොනවද දන්නෙ?

මම ඒ ගැන කිසිම අවබෝධයක් නැහැ. හැබැයි රටේ නීතියක් තියෙනවා. ඒ නිසා මේක පරිස්සමින් කරන්න ඕනෙ දෙයක්. ඒ නිසා හැමෝම වගකීමෙන් වැඩ කරන්න ඕනෙ. එක දේකින් රටම විනාශ වෙන්න පුළුවන්.

මේ වෙනකොට ආණ්ඩුව පාතාල මර්දනය සඳහා වැඩ කටයුතු කරගෙන යනවා. ඔබ නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයත් පාතාල ලෝකයේ නම ගිය පළාතක්. ඔබ මොකද හිතන්නෙ මේ වැඩපිළිවෙළ ගැන?

අනිවාර්යෙන්ම පාතාලය මර්දනය වෙන්න ඕනෙ. එහෙම මර්දනය කළොත් විතරයි අපිට කුඩු නවත්තගන්න පුළුවන් වෙන්නෙ. 2015 මහින්ද මහත්තයා පරාජය වෙනකොට ගොඩක් අය රටින් පැනලා හිටියෙ. තවත් පිරිසක් හිරේ හිටියෙ. නමුත් යහපාලන ආණ්ඩුව ආව ගමන් නැවත ලංකාවට ආවා. කුඩු නැති කරන්න නම් අනිවාර් යෙන්ම පාතාලය නැතිවෙන්න ඕනෙ. මිනිස්සුත් කැමැති ඒ දේට.

ඇතැම් අපේක්ෂකයො මේ වෙනකොට පාතාලයෙ සාමාජිකයො එක්ක පාතාලයට කිරි පොවපු දේශපාලනඥයො එක්ක ඡන්ද ව්‍යාපාරය කරනවා. මොකද ඔබ ඒ ගැන හිතන්නෙ?

මම නම් පැහැදිලිව එවැනි පිරිස්ට ඡන්දය දෙන්න එපා කියලා සඳහන් කරනවා. ජනතාව තීන්දුවක් ගන්න ඕනෙ එවැනි පුද්ගලයන් ගැන.

ඔබේ පක්ෂයෙත් ඇති නේද එහෙම අය?

මගේ ප්‍රකාශය හැමෝටම එකයි.

පසුගියදා පෙරටුගාමී පක්ෂයේ සාමකාමී උද්ඝෝෂණයකට පොලීසියෙන් පහර දුන්නා. ඒක වැරදි දෙයක් නේද?

ඇත්තටම මම මේ ප්‍රහාරය හෙළා දකිනවා. ඒ ගහපු එක වැරදියි. හැබැයි රට ක්‍රමයෙන් විවෘත කරනකොට ඒ අය කරපු මේ උද්ඝෝෂණයත් වැරදියි. එහෙම කිරීම තුළ වෙන්නෙ සෞඛ්‍ය අංශ තරමක් අවදානමකට ලක් වෙනවා. ඒ නිසා මේ උද්ඝෝෂණයේ වගකීම ඒ අය භාරගන්න ඕනෙ වගේම පහරදීමේ වගකීම පොලීසිය විසින් භාරගෙන ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නත් ඕනෙ.

මේ වෙනකොට වෘත්තීය සමිති නායකයකුට ලීසිං සමාගමක මැරයන් පිරිසක් විසින් ගහලා මරලා දාලා තියෙනවා. ඒ විදිහට රටේ නීතියක් තියෙන්න පුළුවන්ද?

අනිවාර් යෙන්ම එම අමානුෂික ඝාතනය මම අනුමත කරන්නෙ නෑ. ඔවුන්ට විරුද්ධව

අනිවාර් යෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. පහුගිය කාලෙ මිනිස්සු ආර්ථික වශයෙන් අසරණ වෙලා ඉන්නකොට ලීසිං සමාගම් ජනාධිපතිවරයා දුන්නු නියෝග පිළිඅරගෙන සහන සලසන්න ඕනෙ. හැබැයි ඒ වෙනුවට මිනිස්සුන්ව ගහලා මරනවා නම් වහාම ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ. මොකද රටක් පවත්වාගෙන යන්න නීතිමය රාමුව වැදගත්.

I ගයාන් ගාල්ලගේ –  Deshaya

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.