බහුතරය ලැබුණු දවසක ආණ්ඩුවක් / ලාල්කාන්ත

කොවිඩ් වසංගතයෙන් පස්සේ මේ තරම් ඉක්මනට මැතිවරණයක් එයි කියලා ඔබතුමන්ලා හිතුවද?

(මහනුවර දිස්ත්‍රික්කය ජනතා විමුක්‌ති පෙරමුණ කේ.ඩී. ලාල්කාන්ත )කෝරෝනා පාලනයට ගත්ත පළවෙනි අවස්ථාවෙම ඡන්දයක් තියන්න ඕන කියන ස්ථාවරයේ තමයි අපි හිටියේ. ප්‍රජාත්‍රන්තවාදී පාලනයක් තියන රටක විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන තුනම නිරෝගීව තිබිය යුතුයි. කොහොමත් මේ තත්ත්වය තරමක් දුරට පාලනය වුණාම සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව මහ මැතිවරණය පැවැත්විය යුතුයි කියන මතයේ අපි සිටියා. ඒ අනුව ජූලි මස අග හෝ අගෝස්තු මාසයේ මුල මහ මැතිවරණය පැවැත්වෙනු ඇති බවට ගණනය කිරීමක් අපිට තිබුණා.

මෙවර මහ මැතිවරණයට ජාතික ජන බලවේගයේ ඔබලා ඉදිරිපත් වෙන්නේ මොන තේමා පාඨයෙන්ද?

පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මේ රට වෙනස් කිරීමේ ඕනෑකමක් තියන ජනතාව තුළ බලවත් කලකිරීමක් ඇතිවෙලා තියන බව පසුගිය කාලයේ පෙනෙන්නට තිබුණා. ඒ නිසා මේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාවගේ තේමා පාඨය විය යුත්තේ පාර්ලිමේන්තු කාර්යභාර්යය ඉටු කිරීමට සමත් සක්‍රීය ජනතාවාදී පාර්ලිමේන්තුවක් කියන එක. මොකද අපේ තේමාවට වඩා ජනතාවගේ තේමාව විය යුත්තේ එයයි. ඒ නිසා ජනතාව තේරුම් ගත යුතුයි අගෝස්තු 5 වැනිදට පාර්ලිමේන්තු යැවිය යුත්තේ කවුරන්ද කියන එක.

පසුගිය ජනාධිපතිවරණයේදී ඔබලාගේ ජනාධිපති අපේක්ෂකයා ලබා ගත්තේ සියයට 3ක ප්‍රතිශතයක්. පාර්ලිමේන්තු මැතිවරණයේදී එම තත්ත්වය වෙනස් වෙයි?

ජනාධිපතිවරණයකදී ඡන්ද ගන්නනම් ප්‍රධාන තරගකරුවන් දෙදෙනාගෙන් අයෙකු බවට පත් වෙන්න ඕන. මොකද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට ඡන්දය දෙන ඡන්ද දායකයන් පරදින්න නෙවෙයි ඡන්දය ලබා දෙන්නේ. නමුත් ජාතික ජනබලවේගයේ අපේක්ෂකයාට ඡන්දය දෙන්නේ වෙන ඔළුවෙ අමාරුවකට. සමාජයේ එහෙම ඔළුවෙ අමාරුව තියන අය අඩුයි අර වගේ අපේක්ෂකයන් ඉන්නකම්. ඒ ඔළුවේ අමාරුව තමයි ප්‍රතිපත්තියකට වෙනත් කාරණයකට ඡන්දය ලබා දීම. එහෙම ප්‍රමාණය ඕනම රටක අඩුයි. ජනාධිපතිවරණයකදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා බවට වෙන්න බැරිනම් එවැනි තත්ත්වයක් ඇතිවෙනවා. ඒ ප්‍රාධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්තිවලට විරුද්ධව තමයි අපි ඉදිරිපත් වෙන්නේ. නමුත් මහ මැතිවරණයකදී 225 ක් තෝරන්නේ එක්කෙනෙක් නෙවෙයි. එතකොට ජනතාව තමයි තීන්දු කරන්නේ කවුද පාර්ලිමේන්තු යැවිය යුත්තේ කියලා. එහෙම වුණාම මේ ප්‍රතිශතය වෙනස් වීමට ඉඩ තියනවා.

ඡන්දයේ වැඩට බහිනකොට ඔබලට වැදිලා තියන යූඑන්පි ලේබල් එකෙන් ඔබලා ගැලවෙන්නේ කොහොමද?

මේ ලේබල් එක එක කාලවලදී ගහනවා. ඒ හැටි. දැන් ජේ. ආර්. ජයවර්ධන මහත්තයා ඉන්නකොට අපි අරගල කරද්දි අපිට වෙන ලේබල් ගැහුවා. ඒක තමයි සතුරාගේ කාර්යභාර්ය. මේ වෙලාවේ රාජපක්ෂ ආණ්ඩුව අපිට යූ.එන්.පී. ලේබල් එක ගහනවා. නමුත් මේ රටේ ජනතාව දන්නවා මේ කියන්නේ දේශපලන වශයෙන් අපිට එරෙහිව ගොඩනගන මතයක් කියලා.

හැමදාම විපක්ෂ දේශපාලනයේ ඉන්න ඔබලා කවදද ආණ්ඩුවක් පිහිටුවන්නේ?

ජනතාවගේ බහුතරය අපිට ලැබුණ දවසක අපි අපේම ආණ්ඩුවක් පිහිටුවනවා. එතකම් අපි විපක්ෂ දේශපාලනයට පණ පොවනවා.

► ගයාන් ගාල්ලගේ / හසිත් අංජන

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.