3/2 ගැන විශ්වාසයි / රමේෂ් පතිරණ

මොකද මේ දකුණු පළාතේ අපේක්ෂකයන් අතර මනාප ගෝරි තියෙන්නේ?

(ගාල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක වෛද්‍ය රමේෂ් පතිරණ) දකුණු පළාතේ අනෙකුත් දිස්ත්‍රික්කවල තත්ත්වය කියන්න දන්නේ නැහැ. නමුත් ගාල්ල දිස්ත්‍රික්කයේ එවැනි මනාප ගැටුමක් නැහැ කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්. සෑම කෙනකුටම තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරගෙන යන්න පසුබිම සැකසිලා තියෙනවා. මේ මනාප ඡන්දවලදී ඉතිහාසය පුරාවටම විවිධ පක්ෂවල අපේක්ෂයන් අතර ගැටලු ඇති වෙලා තියනවා. නමුත් අපි එවැනි දෙයක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ මැතිවරණ ව්‍යාපාරය ඉතා සාමකාමී ලෙස කරගෙන යනවා.

ජනාධිපතිවරණය නිමාවෙලා මේ වනවිට මාස 7ක් ගෙවිලා ගිහින් ඉවරයි. විපක්ෂය චෝදනා කරනවා ඔබලාට ජනාධිපතිවරණයේ දුන් පොරොන්දු ඉටු කරන්න බැරිවෙලා තියෙනවා කියලා?

ජනාධිපතිවරණයේදී අපි ජනතාවට ලබා දුන් ප්‍රධාන පොරොන්දුව තමයි ජනතාවගේ ජිවිත ආරක්ෂාව සලසනවා කියන කාරණය. අපි ඒ කාරණය ඉටු කරලා තියනවා. ඒ වගේම යහපාලන රජය ගත් ඇතැම් තීන්දු නිසා වුණ දේශපාලන අර්බුදය කළමනාකරණය කියන කාරණයත් අපි ඉටු කරලා තියනවා. කොවිඩ් වසංගතය නිසා අපිට ඒ ලබා දුන් පොරොන්දු සියයට සියයක් ඉටු කරන්න බැරි වෙලා තියෙනවා. නමුත් ජනතාවට අපි ඉදිරියේදී අනිවාර්යයෙන් ඒ පොරොන්දු ඉටු කරනවා.

ඔබතුමන්ලා පුන පුනා කියනවා 3/2 ක ජයග්‍රහණයක් ලබා ගන්නවා කියලා මේක ලබා ගන්න පුළුවන් ඉලක්කයක් කියලා ඔබලා ඇත්තටම විස්වාස කරනවද?

දේශපාලනමය වශයෙන් අපි යම් ස්ථාවරයකට ගොඩ නැගිලා තියෙනවා. පසුගිය දිනවල ජනාධිපතිවරණයේදී ඒක තවත් හොඳින් පැහැදිලි වුණා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ තියන අර්බුදයත් සමඟ අපිට තවත් ඉහළට යන්න පුළුවන්. ඒ වගේම අපි විශාල ඉලක්කයක් වෙත හඹා යනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා අපිට ඒ ප්‍රතිශතය ගන්න පුළුවන් කියලා.

ඔබලා 3/2 බලයක් ලබා ගත්තා කියමුකෝ? ඊට පස්සේ ජනතාව අතර සැකයක් මතුවෙන්න පුළුවන් නේද ඔබලා ඒකාධිපති පාලනයකට රට ගෙනියනවා කියලා?

මේ රටේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට පසුගියදා අවසන් වුණු මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ කාලය දක්වාම ඒකාධිපති පාලනයක් කියලා කිව්වා. නමුත් ඒ චෝදනා වැඩිවශයෙන් එල්ල වුණේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාටත් ප්‍රේමදාස ජනාධිපතිවරයාටත් කියන එක අමතක කරන්න එපා. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ පාලන කාලයට ඇතැමුන් විවේචන ඉදිරිපත් කළත් ඒවා පිළිගන්න බැරි තර්ක. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ තමයි මේ රටේ සංවර්ධනය වෙලා අර්ථිකය ඉහළට ගියේ. අපි සෑමවිටම ජනතාවගේ සර්වජන ඡන්ද බලය ආරක්ෂා කරමින් කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක්.

මහ මැතිවරණයට නාම යෝජනා දීමට පෙර සිටම පොහොට්ටුව කිව්වේ උගතුන් වියත්මග සංවිධානයේ පිරිස් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල අය ඡන්දයට දානවා කියලා. නමුත් එහෙම අය ඉදිරිපත්වන බවක් පෙන්න නැහැ නේද?

බොහෝ දිස්ත්‍රික්කවලට උගත් බුද්ධිමත් විවිධ ක්ෂේත්‍රවල අපේක්ෂකයන් ඉදිරිපත් වෙලා තියනවා. නමුත් සමහර දිස්ත්‍රික්කවලට ලැයිස්තු අනුව ඉදිරිපත් කරන්න අපහසු වුණා. අනෙකුත් පොහොට්ටුවේ දේශපාලන පක්ෂ අතර  බදා හදා ගැනීමේදී තමයි එවනි ගැටලු මතු වුණේ. කොහොම වුණත් අපිට සියලු දෙනාගේ උදව් උපකාර ලැබෙනවා. අනෙකුත් පක්ෂවලට සාපෙක්ෂව රටේ විවිධ ක්ෂේත්‍රවලින් ඉදිරිපත්වන අය ඉන්නේ අපේ පොදුජන සන්ධානය වටා කියන එක මම කියන්න කැමතියි.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.