දිනකට අටක් බිලිගන්නා මහ මඟ රිය අනතුරු

රවීණ සිනමාවේදි චන්ද්‍රරත්න මාපිටිගමගේ දියණිය වීණාවි සුලක්ඛනා පසුගිය 14 වැනිදා ජීවිතයෙන් සමුගෙන ගියේ රිය අනතුරක් හේතුවෙනි. ඊට පැය 24කට පසුව, එනම් 15 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා පූජානි ලියනගේ මරණයට පත් වූයේ සිය යතුරුපැදියෙන් කොළඹ සිට අනුරාධපුර බලා යන අතරමගදී අනතුරකට භාජනය වීමෙනි. පසුගිය 09 වැනිදා කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ලකෑ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරින් අතරින් පොලිස් නිලධාරි සිතුම් දුලිත 14 වැනිදා අලුයම මෙලොව හැර ගියේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ඉදිරිපිට ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙනි.

මෙම රිය අනතුරු 3ම ඉතා කෙටි කාලයක් ඇතුළත සිදු වූ මාරක රිය අනතුරු වශයෙන් අපට වාර්තා වූයේ ඊට භාජනය වූ තිදෙනාම රටේ අවධානයට ලක්වූ චරිත නිසාය. මේ ආකාරයට රිය අනතුරු හේතුවෙන් අප්‍රසිද්ධයේ මිය යන අය ද සිටිති. රිය අනතුරු නිසා මරණයට පත්වන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර මේ වන විට ලංකාවේ රිය අනතුරු හේතුවෙන් දිනකට මිය යන සංඛ්‍යාව 8 දක්වා වර්ධනය වී තිබේ. වසරකට මිය යන ගණන 3,000ක් ඉක්මවයි. ලංකාව තුළ සෑම විනාඩි 10කට වරක් කොහේ හෝ රිය අනතුරක් සිදු වේ. සෑම පැය 2කට වරක් රිය අනතුරකින් කවරකුට හෝ තුවාල සිදු වේ. 2019 වර්ෂයට පමණක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය රිය අනතුරුවලට ගොදුරු වූ රෝගින් 11,542 දෙනකුට ප්‍රතිකාර කර ඇත. මෙම වසරේ ගතවූ හය මාසය තුළ මාරක රිය අනතුරු 891ක් සිදු වී ඇති අතර එයින් 936 දෙනකු මිය ගොස් ඇති බව අනාවරණය කරනු ලබන්නේ පොලිස් මූලස්ථානයේ රථවාහන අංශය විසිනි. මෙම කාලයේදී සිදු වූ රිය අනතුරු සංඛ්‍යාව 9000කට ආසන්න බවත් එයින් මාරක රිය අනතුරු 2,278ක් සිදු වී ඇති බවත් පොලිස් මූලස්ථානයේ සංඛ්‍යා ලේඛන වාර්තා කරයි. සුළු අනතුරු ගණන 3,573කි. අලාභ හානි ගණන 2,188කි. මේ වන විට රිය අනතුරුවලින් වැඩි වශයෙන් මිය යන්නේ මෝටර් සයිකල් පදවන්නන් ය.

එහෙත් 2013 වන තුරු මිය ගියේ පදිකයන් ය.රිය අනතුරු බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන්නේ ලංකාවට පමණක් නොවේ. එය ලෝකයටම ප්‍රශ්නයක් වී තිබේ. රිය අනතුරු හේතුවෙන් ලෝකයේ දවසකට මිය යන සංඛ්‍යාව 3,400කි. වර්ෂයකට මිය යන ගණන මිලියන 1.35කි. ලොවම වසඟ කළ ඩයනා කුමරිය මිය ගියේ ද රිය අනතුරක් හේතුවෙනි. අද වන විට ලංකාවේ මාරක රිය අනතුරු බහුලව සිදු වන්නේ වාහන ඉස්සර කිරීමට ගන්නා උත්සාහයෙනි. තරගයට රිය ධාවනය කිරීම, ජංගම දුරකථනයේ හෝ මිතුරන් සමඟ කතා කරමින් අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීම, බීමතින් රිය ධාවනය කිරීම වැනි හේතු රිය අනතුරු කෙරෙහි බලපාන සාධක වශයෙන් හඳුනාගෙන තිබේ. ආචාර්ය ජයලත් එදිරිසිංහ සඳහන් කරන්නේ රිය අනතුරුවලින් 95%ක් මනුෂය දෝෂ නිසා සිදුවන බවය.

2020 වර්ෂයේ හය මාසය තුළ ලංකාවේ සිදු වූ රිය අනතුරුවලින් අධික වේගය නිසා සිදු වූ අනතුරු ගණන 435කි. අධික වේගය හේතුවෙන් රියදුරන් 15,478ක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ සංඛ්‍යා ලේඛනවල සටහන් වේ. ශ්‍රී ලංකා පොලිසිය, ජාතික මාර්ග ආරක්ෂණ සභාව ඇතුළු විවිධ ආයතන රිය අනතුරු පාලනය කිරීම සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග ගනු ලැබූවද එය අඩු කිරීමට නොහැකි වී ඇති බව පහත දැක්වෙන වගුවෙන් තහවුරු වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රිය අනතුරු වැළැක්වීම පිළිබඳ විශේෂඥ කමිටුවේ සම සභාපති මහාචාර්ය සමත් ඩී. ධර්මරත්න පැවසුවේ මෙවැන්නකි.

“ගොඩක් වෙලාවට රිය අනතුරුවලින් මරණයට පත් වන්නේ රටේ තරුණ ප්‍රජාව. රටක තරුණ පිරිස කියන්නේ රටේ ඵලදායිත්වයට දායක වන ශ්‍රම බලකාය. රටේ ශ්‍රම බලකාය අඩු වීම ආර්ථික වශයෙන් රටකට ලොකු පාඩුවක්. ඒ වගේම රිය අනතුරුවලින් මිය යන හෝ සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන අය නිසා ඒ අයගෙන් යැපෙන පවුලේ සාමාජිකයන් අන්ත අසරණ තත්ත්වයට පත්වෙනවා. සමහර වෙලාවට සදාකාලික ආබාධිත කෙනකුව රැක බලා ගැනීමේ ගැටලු ඇති වෙනවා. මුළු පවුලම අසරණ වෙනවා. එවැනි ගැටලු, රිය අනතුරු නිසා ඇති වන සමාජීය ප්‍රශ්න හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි රිය අනතුරකට ලක් වුණු රෝගියකු වෙනුවෙන් රෝහලක දැඩි සත්කාර ඒකකවල ඇඳන්, කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර යොදවනවා. ඒ රෝගියා නිසා ශල්‍යකර්මවලට පොරොත්තු ලේඛනයේ සිටින රෝගින්ගේ සැත්කම් කරන අවස්ථා තවදුරටත් කල් යනවා. මොකද සැත්කමක් කරපු රෝගියකුට දෙන්න දැඩි සත්කාර ඒකකයේ ඇඳන් නැහැ. එය රටට බලපාන සෞඛ්‍ය අංශයේ ප්‍රශ්නයක්. ඒත් මේ ගැන කවුරුත් අවධානය යොමු කරන්නේ නැහැ”

තවදුරටත් ‍ඔහු සඳහන් කරන්නේ ලංකාවේ සිදුවන රිය අනතුරු නිසා රටට වාර්ෂිකව රු:බිලියන 10ක් අහිමි වන බවයි.

“අපේ රටේ යුද්ධෙ ඉවර වුණේ 2009 දී. යුද්ධෙ අවසාන වු‍ණත් වර්ෂයකට පුද්ගලයන් 3100ක් රිය අනතුරුවලින් මැරෙනවා කියන්නේ රටක බරපතළ ගැටලුවක්. ඒ වගේම රිය අනතුරු නිසා රටකට රු. බිලියන 10ක් අහිමි වීම කොයි තරම් ලොකු ප්‍රශ්නයක්ද? රිය අනතුරු අඩු කර ගන්න කටයුතු කරනවා නම් අඩු ගණනේ මේ මුදලින් අපිට 1/2ක් ඉතිරි කරගෙන රටේ වෙනත් ඵලදායි කටයුත්තකට යොදවන්න පුළුවන්.” යනුවෙන් මහාචාර්ය සමත් ඩී. ධර්මරත්න විස්තර කළේය.

රිය අනතුරු වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග වර්ග 2ක් අනුගමනය කළ හැකි බව පෙන්වා දුන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයලත් එදිරිසිංහය. ඔහු දීර්ඝ කාලයක් මුළුල්ලේ මාර්ග අනතුරු පිළිබඳව අධ්‍යයනය කරමින් මාර්ග නිර්මාණය සැලසුම් කිරීමේ නිරත අයෙකි. එම ක්‍රියාමාර්ග 2 ලෙස ඔහු පෙන්වා දෙන්නේ නීතිය සැමදෙනාට එක සමාන අයුරින් ක්‍රියාත්මක කිරීම සහ අනතුරු පාලනය වන පරිදි මාර්ග නිර්මාණය කිරීමයි. රිය අනතුරු පාලනය සඳහා විවිධාකාරයේ වේග පාලන ගැටිති (Hump) දැමීම, ඈතට විහිදෙන ඍජු මාර්ග වෙනුවට හිතාමතාම වංගු දැමීම, මාර්ගයේ පළල අඩු කිරීම වැනි උපක්‍රම (Traffic calm) භාවිත කළ හැකි බව ඔහුගේ යෝජනාවන්ය.

“ස්විඩනයේ රිය අනතුරු අඩු කළේ මාර්ග නිර්මාණය වෙනස් කිරීමෙන්. කොයි තරම් තදින් නීතිය ක්‍රියාත්මක කළත් රිය අනතුරු පාලනය කරන්න අමාරු බව ඒ රජය තේරුම් ගත්තා. සමහර පාරවල්වල සාමාන්‍ය වේගයකින් ගියොත් සංගීත ඛණ්ඩයක් ටයර් ශබ්දයෙන් ඇහෙනවා. හැබැයි අධික වේගයෙන් ගියොත් සංගීත ඛණ්ඩ අහැන්ෙන් නැහැ. ඒ නිසා සංගීතය රස විඳින්න ගොඩාක් දෙනා සාමාන්‍ය වේගයෙන් යන්න පටන් ගත්තා. තවත් සමහර රටවල්වල පදිකයන් බහුලව ගමන් කරන ප්‍රදේශවල පැයට කි:මි: 30ක වේගයක් දීලා තියෙනවා. පදිකයො අඩු වෙන්න, අඩුවෙන්න පැයට කි:මි: 50, 70 වශයෙන් වැඩි කරලා තියෙනවා. හැබැයි පැයට කි:මි: 100 වේගයෙන් යන්න පුළුවන් වෙන්නේ අධිවේග මාර්ගවල විතරයි. ඒ වගේම තවත් රටවල්වල පාරේ පැහැය වෙනස් කර තිබෙනවා.

අපේ රටේ තිබෙන්නේ කළු පාට තාර දැමූ පාරවල් වුණාට සමහර රටවල්වල රතු පාට නිල්පාට කොළපාට පාරවල් තිබෙනවා. එත‍කොට මාර්ගයේ පාටට අනුව රියදුරන් දැනගන්නවා ගමන් කළ යුතු වේගය මොකක්ද කියලා. හැබැයි ඒ රටවල්වල රියදුරන් විනයගරුකයි. අපේ රටේ රියදුරන්ට හැකියාව තිබුණාට හැදියාව නැහැ.” යනුවෙන් ආචාර්ය ජයලත් එදිරිසිංහ පැවසුවේ විනයගරුක රියදුරන් පුහුණු කිරීමේ වැදගත්කම අපට සිහිගන්වමිනි.

රිය අනතුරු පිළිබඳව සිදු කළ ජාත්‍යන්තර සමීක්ෂණවලට අනුව රථයක වේගය 5%කින් වැඩි කළහොත් රිය අනතුරු ඇති වීමේ ප්‍රවණතාව 20%කින් ඉහළ යන බව තහවුරු කර තිබේ. එමෙන්ම වාහනයේ වේගය වැඩි වන විට රියදුරන්ගේ දෘශ්‍ය පරාසය අඩු වන බව අනාවරණය වී ඇත. ඒ අනුව පැයට කි:මි: 40ක වේගයෙන් ධාවනය කරන රියදුරකුගේ දෘශ්‍ය පරාසය අංශක 100කි.

වේගය පැයට කි:මි: 70 වූ විට දෘශ්‍ය පරාසය අංශක 75 දක්වා අඩුවේ. වේගය පැයට කි:මි: 100 වූ විට එය අංශක 45 දක්වා තවත් පහත වැටේ. මේ අනුව රථයේ වේගය සහ රියදුරන්ගේ පෙනීම අතර ඇති සම්බන්ධතාව රිය අනතුරු කෙරෙහි ඍජුවම බලපාන බව මනාව පැහැදිලි වේ.

“ලංකාවේ රිය අනතුරු පාලනය කිරීම සිද්ධ වෙන්නේ තනි තනිවම. පොලිසිය වෙනම වැඩ කරනවා. ප්‍රවාහන අමාත්‍යාංශය වෙනම වැඩ කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනම වැඩ කරනවා. මේ සියලුම දෙනා එක මේසයකට ගෙනත් සාමූහිකව කටයුතු කිරීමෙන් මේ බරපතළ ප්‍රශ්නයට විසඳුම් හොයන්න පුළුවනි. ඒ නිසා මගේ යෝජනාව වෙන්නේ රිය අනතුරු වැළැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ආරම්භ කිරීම. එවිට මේ හැමෝම එකට එකතු වෙනවා. එතකොට අපිට ප්‍රබල විසඳුමක් ඉදිරිපත් කරන්න පුළුවන්.” යනුවෙන් නව යෝජනාවක් ඉදිරිපත් කළේ මහාචාර්ය සමත් ඩී. ධර්මරත්නය.

තිස් වසරක යුද්ධය නිමා කළ අපට, ලෝක වසංගයත් වූ කොරෝනා ව්‍යාප්තිය මැඬ පැවැත්වූ අපට, ලංකාවේ බරපතළ ගැටලුවක් වී තිබෙන රථවාහන අනතුරු වැළැක්වීමට හැකි නොවේ යැයි සිතිය නොහැකිය. එබැවින් මේ කෙරෙහි රජයේ අවධානය යොමු කිරීම කාලෝචිතය.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.