වසර 48000කට පෙර කතාන්දරය

මීට වසර 48000කට පෙර ජීවත් වූ අපගේ ආදිතමයින් දුනු ඊතල භාවිත කළ ආකාරය මේ වන විට ලෝකයට අනාවරණය වී තිබේ.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් හොරණ පාහියන්ගල දී 2007 වසරේ සිට 2012 දක්වා කළ කැණීම් මඟින් මේ බැව් ඔප්පු වී ඇත. වසර 48000ක අතීතයක් ඇති පස් තට්ටු තුළින් එම අතීතය හෙළි වී ඇති අතර සතුන්ගේ ඇටකටු යොදා ගනිමින් සෑදූ උල් සහිත ආයුධ එහිදී සොයා ගැනීමට හැකි වූ බව අදාළ පර්යේෂණයට සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ඔෂාන් වෙදගේ මහතා ප්‍රකාශ පැවසීය.

ලෝකයේ බොහෝ රටවලට ඉතිහාසගත කතාවක් තිබේ. අපේ රටේ ද එවැන්නක් පවතී. මහා වංශය, දීප වංශය, චූල වංශය ආශ්‍රයෙන් අපට ඒ බැව් සනාත වන අතර ඒවායේ අපේ ඉතිහාසයේ යම් කාල පරාසයක් සඳහන් වේ. ඉතිහාස ග්‍රන්ථයන්ගේ සඳහන් නොවන ඉන් ඔබ්බට ගිය ලිඛිත ඉතිහාසයක් නොමැතිව අතීතයකට ගමන් කරන්නෙ කෙසේද?. එයට විසදුමක් දෙන විෂය ලෙස පුරා විද්‍යාව හැදින්විය හැකි බවත් කථිකාචාර්යවරයා ප්‍රකාශ කළේය. ලිඛිත ඉතිහාසයක් නොවූ අපගේ දුරාතීත කතාවද ඒ තුළින් අධ්‍යයනය කිරීමෙන් මීට වසර 48000කට පෙර අපගේ ආදි මුතුන් මිත්තන් දුනු ඊතල භාවිත කළ අන්දම සොයා ගැනීමට හැකි වූ බව ප්‍රකාශ කළ කථිකාචාර්ය වරයා ඒ සඳහා අපගේ මානව යටගියාව, මානව අතීතය විද්‍යානුකූල ක්‍රමවේදයන් ඔස්සේ අධ්‍යයන කිරීමක් සිදු කළ බවද කීය.

ඉතිහාස කතාවේ සඳහන් වන ආකාරයට විජය කුමරා පැමිණෙන අවස්ථාවේ ස්වදේශීය කාන්තාවක් වන කුවේනිය කපු කටිමින් සිටිය බව සඳහන් වන අතර ඒ මඟින් විජය පැමිණෙන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ තාක්ෂණය භාවිතා කළ ජන කොට්ඨාසයක් ජීවත් වූ බවද ඔප්පු වේ. මෙම ඉතිහාස කථාවෙන් ඔබ්බට තිබෙන කරුණු කාරණා අලිඛිත යයිද සඳහන් කළ ඔෂාන් වෙදගේ මහතා එම අතීතය ප්‍රතිනිර්මාණය කිරීමට පුරා විද්‍යාව සහ තවත් විෂයන් ගණනාවක් ප්‍රයෝජනයට ගත යුතු බවත් ඒ ආකාරයට පාහියන්ගල කුඩා ලෙනෙන් අපගේ ආදිතමයින් ක්‍රියා කළ ආකාරය සොයා ගත් බවත් තවදුරටත් පැවසීය.

මෙරට ඉතිහාසයට එහා ගිය ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ පිළිබඳව කථා කිරීමේදී ආචාර්ය ශිරාන් දැරණියගල මහතා එහි පුරෝගාමියා ලෙස සඳහන් කළ හැකි බව ප්‍රකාශ කළ කථිකාචාර්යවරයා ඉන් අනතුරුව ආචාර්ය ඩබ්ලිව්. එච් විජේපාල මහතා ඒ සඳහා කටයුතු කළ බවද පැවසීය. ශිරාන් දැරණියගල මහතාගේ මඟ පෙන්වීමෙන් 1986දී පාහියන්ගල මුලින්ම කැණීම් සිදු කළේ ආචාර්ය විජේපාල මහතා යයිද එහිදී වසර 38000ක් පැරණි නූතන මානවයා පිළිබඳව අනාවරණය වූ බවද පැවසූ ඔෂාන් වෙදගේ මහතා ඉන් පසුව හිටපු පුරා විද්‍යා කැණීම් අධ්‍යක්ෂකවරයෙකු වූ එච්. නිමල් පෙරේරා මහතා ඒ සඳහා පෙරමුණ ගත් බවත් කීය.

2000 වසර පුරා විද්‍යාවට අලුත් විද්‍යාවන්ගේ භාවිතය වැඩි වූ වසරක් ලෙස හැදින්විය හැකිය. මේ කාල වකවානුවේ බටදොඹලෙන කැණීම් සඳහා නවීන තාක්ෂණය භාවිතා වූ අතර ඕස්ට්‍රේලියාවේ සිට නවීන තාක්ෂණ රැගෙන කැණීම් අධ්‍යක්ෂක වරයා වූ නිමල් පෙරේරා මහතාද පැමිණි අතර එම තාක්ෂණය පාහියන්ගල කැණීම් සඳහාද එක්කර ගත් අතර වත්මන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනෙරත් දිසානායක මහතා ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේය.

පාහියන්ගල මහ ගල් ලෙනෙන් දුනු ඊතල භාවිතය සොයා ගැනීමට අවශ්‍ය පර්යේෂ සඳහා අවශ්‍ය තොරතුරු හමු නොවේ. එයට හේතුව එම ගල් ලෙන යම් යම් කාලවකවානුවල විවිධ මිනිස් ක්‍රියාකාරම් වලට ලක්වීමයි. එම ස්ථානයේ නොයෙක් නිර්මාණ කිරීමේදී පස් ස්තර ඉවත් කිරීම සිදුවේ. මහ ගල්ලෙන ආශ්‍රිතව තැන්පත්ව තිබූ පාංශු කොටස් පසුකාලීනව වතු වගාවන් සඳහා පොහොරක් ලෙසද භාවිතා කර තිබේ. මෙවැනි කරුණු හේතුවෙන් මහගල් ලෙනෙහි අතීත තොරතුරු ඉවත්ව ගොස් ඇත. පාහියන්ගල කැණීම් කටයුතු කළ කණ්ඩායම් අතීත මානවයාගේ තොරතුරු සොයා ගනු ලබන්නේ පාහියන්ගල කුඩා ලෙන තුළිණි.

පාහියන්ගල කුඩා ලෙනෙහි 2009 වසරේ සිට 2012 දක්වා කාල වකවානුවේ වසරකට මාස කිහිපයක් කැනීම් සිදුකර තිබේ. මෙවැනි කැණීම් කිරීම අති දුෂ්කර ක්‍රියාවක් යයිද පැවසූ කථිකාචාර්ය ඔෂාන් වෙදගේ මහතා ඊට හේතුව පස් ස්ථරයක් තුළ අවුරුදු 48000ක තොරතුරු තිබීම යයිද පැවසීය. මේ සඳහා විශ්‍රාම ගොස් සිටි ප්‍රධාන කැණීම් ශිල්පියෙකු වූ මෙල් මහතා මෙන්ම කැනීම් සහකාරවරුන් වන වන පී.ජී ගුණදාස මහතා, සුසන්ත නිහාල් මහතා, කේ.කේ රුවන් ප්‍රමෝද් මහතා ආදීන් යොදා ගත් බවද කීය. විදෙස් ජාතිකයින් වූ මහාචාර්ය ඉයන් සිම්සන්, ආචාර්ය නිකොළොස්, ඇනා පෝල් යන තිදෙනා කාලනිර්ණය කිරීම සඳහා වරක් සහභාගි වූ බව ප්‍රකාශ කළ ඔෂාන් වෙදගේ මහතා කැණීම් කටයුතු සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ නිලධාරීන්ගේ ප්‍රම්‍රඛත්වය ඉතා වැදගත් යයිද පැවසීය. ඉන් පසුව අදාළ කැනීම් සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරා විද්‍යා අධ්‍යයන අංශය මගින් විශ්ලේෂණ කටයුතු ආරම්භ කළ බවද ප්‍රකාශ කළේය. මෙම කටයුත්ත පිළිබඳව ආචාර්ය ශිරාන් දැරණියගල මහතා නිරන්තරව අවධානය යොමු කළ බවද කී කථිකාචාර්යවරයා ජයවරවරපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා ද මේ කටයුත්තට සම්බන්ධ කරගත් බව පැවසීය.

පර්යේෂණයෙන් තහවුරු වූ කරුණු පිළිබඳව තව දුරටත් අදහස් දක්වූ කථිකාචාර්ය ඔෂාන් වෙදගේ මහතා-

‘අප්‍රිකාවෙන් නික්මුණු ප්‍රාග් ඓතිහාසික මානවයා අප්‍රිකාවෙන් පසුව ප්‍රථම වතාවට දුනු ඊ තල අප රටේදී භාවිතා කළ බව මේ පර්යේෂණ මගින් ඔප්පු වුණා. අප්‍රිකාවෙන් අපේ රටට පැමිණි මානවයාගේ ගමන් මාර්ගය මේ ආකාරයෙන් දැක්වෙනවා. අප්‍රිකාවේ සිට දකුණු පිවිසුම් දොරටුවෙන් වෙරළබඩ තීර ඔස්සේ ඉන්දියාවේ බටහිර ගාඩ්ස් කඳු පන්තියට පහළින් පැමිණ මන්නාරමෙන් ඇතුලු වු බව පැවසෙනවා. එම කාල වකවානුවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙන් වී තිබුණෙ නැහැ. පළමුව ඔවුන් ව්‍යාප්ත වුණේ මුහුදු බඩ ප්‍රදේශවල. පසුව මෙම මානවයා රට අභ්‍යන්තරයට පැමිණෙනවා.එහිදී සතුන් දඩයම් කිරීමට ක්‍රමවේදය සකසා ගන්නවා. දුනු ඊතල භාවිතා කරනවා.‘

මෙම පර්යේෂණයට සත්ව විද්‍යාඥයෙකු ලෙස සම්බන්ධ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා ප්‍රකාශ කළේ පාහියන්ගලදී හමුවූ අස්ථි වළින් අතීත මානවයා ඊතල නිර්මාණය කර තිබෙන බව හඳුනාගත් බවයි. එවැනි පර්යේෂණ ඉදිරියට ගෙන යාමට කාබන් පොසිල දිනකරණයට ලක්කළ යුතු බව ද පැවසූ මහාචාර්යවරයා ඒ සඳහා විදෙස් ආයතන ගණනාවක සහයෝගය ලබා ගත් බවද පැවසීය. මෙම පර්යේෂණය පිළිබඳව විද්‍යාවේ තිබෙන ඉතා ඉහළ සඟරාවක් වන සයන්ස් සඟරාවේ පළ වූ බවත් පැවසූ මහාචාර්යවරයා ඒ සඳහා පර්යේෂණයේ සියලු සාක්ෂි සැපයීමට සිදුවූ බවත් කීය.

යම් ජීවියෙක් අදාළ පරිසර තත්ත්වයකදී එයට අනුවර්තනය නොවුනහොත් විනාශ වීමට ලක්වේ. එසේම තම පරිසර පද්ධතියෙන් මතුවන අභියෝගද එම ජීවියා ජයගත යුතුය. අතීත පාහියන්ගල මානවයාද මෙවැනි අභියෝගවලට මුහුණ දුන් බව කී මහාචාර්යවරයා ඔවුන් වදුරන්, ලේනුන්, උරගයින්, තවත් කුඩා සතුන් දඩයම් කිරීමට දුනු ඊතල භාවිතා කළ බවද පැවසීය. මෙම මානවයා සමාජශීලි යයිද පැවසූ මහාචාර්ය පද්මලාල් එම් මානගේ මහතා ලෙන් ආශ්‍රිතව මුහුදු සිප්පිකටු හමුවීම තුළින ඔවුන් නෑගම් ගිය බව පැහැදිලි වන බවද කීය. එමෙන්ම මෙම මානවයා තාක්ෂණය භාවිතා කරමින් ආභරණ නිෂ්පාදනය කළ බවට සාක්ෂි තිබූ බවද පැවසීය.

උපාලි කරුණාරත්න

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.