දිනෙන් දින වර්ධනය වන සත්ත්ව හිංසනය

මේ ගෙවෙන්නේ පූර්ව මැතිවරණ ප්‍රචාරණ අවධියයි. එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මිනිස් ඝාතන, පාතාල කණ්ඩායම්වල නැගිටීම්, දේපළ පැහැර ගැනීම්, අතවරයන්ට ලක්වූ කාන්තාවන් හා විවිධාකාර හිංසනයන්ට ලක් වූ ළමා වයසේ පසුවන දරුවන් පිළිබඳ ප්‍රවෘත්ති නිරන්තර අසන්නට දකින්නට ලැබේ. එමෙන්ම එයට හා සමාන නැතහොත් ඊටත් වඩා වැඩි වශයෙන් වරේතා වන දෙයක් වන්නේ සත්ත්ව හිංසනයයි. නීති විරෝධීව සතුන් ප්‍රවාහනයේ සිට නිවෙස්වල ඇති කරනු ලබන සුනඛයන් වෙඩි තබා මරා දැමීම, වස දී මරා දැමීම, පුලුස්සා මරා දැමීම, පොලු මුගුරුවලින් පහර දී මරා දැමීම, සුලබව දැකිය හැකිය.

තමන්ට සිදුවන අසාධාරණකම්වලට හඬනැගීමට අසාධාරණයන්ට ලක්වන මිනිසුන්ට පුළුවන. නැතහොත් තම පවුලේ හෝ සමීපතමයන්ට ඒ සඳහා ක්‍රියාත්මක විය හැකිය. නිවැරදි සාධාරණ විනිශ්චයක් යටතේ දඬුවම් නියම කොට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් සාධාරණත්වයක් ඉටු කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවේ නීතියට අනුව පවතී. නමුත් මෑත කාලීනව වාර්තා වන තිරිසන් සතුන් වෙනුවෙන් සිදුවන්නාවූ මිලේච්ඡ ක්‍රියාවන් උදෙසා පිහිටුවා ගත් සත්ත්ව හිංසනය පිටුදැකීමේ සංවිධාන කිහිපයක් මෙන්ම පුද්ගලයන් කිහිපදෙනකු හැරුණු විට ඒ සඳහා හඬ නගන්නා වූ යම් කෙනෙක් සිටී දැයි සැක සහිතය.

ශ්‍රී ලංකාවේ අලින් සහ සුනඛයන් හිංසනයට ලක් වන්නා වූ ප්‍රධානතම සත්ත්ව කොට්ඨාස වේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස සත්ත්ව සුභසාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද එය සම්මත වූයේ නැත. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සිදු වන්නාවූ සත්ව හිංසනය වළක්වාලීම සඳහා සත්ව හිංසන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට පසුගිය රජයන්ට ද නොහැකි විය.

සත්ව හිංසනය සම්බන්ධ හුදෙකලා සිදුවීම් පිළිබඳ මාධ්‍ය වාර්තා පසුගිය කාලයේ පළවනු දැකගත හැකි විය. ඒ අතුරින් 2019 වර්ෂයේ කුරුණෑගල නිකවැරටිය ප්‍රදේශයේ සුනඛයකු වෙඩි තබා මරා දැමීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවීමත් සමග නැවතත් සත්ව සුබසාධන පනත පිළිබඳව හා සතුන්ට හිංසාකිරීම පිළිබඳ විශාල විරෝධතාවයක් සිවිල් සමාජය තුළින් පැන නගින්නට විය.

විවිධ සත්ත්ව හිංසනය පිටුදැකීමේ සංවිධාන මෙන්ම සිවිල් සමාජයේ පුද්ගලයන් එයට විරුද්ධව හඩ නැගූ අතර දේශපාලනඥයකු ලෙස ඒ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ නාමල් රාජපක්ෂ මහතාගේ අදහස් කැපී පෙනුණි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ප්‍රථම මෙම පනත් කෙටුම්පත ගෙන ඒමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබීම සම්බන්ධව මාධ්‍ය වාර්තාකරනු ලැබුවද එය ද යටපත් විය. සත්ව ආඥා පනත, සත්ව හිංසා ආඥා පනත හා ගෝ ඝාතක පනත යටතේ විශේෂිත වූ වැරදි හා සම්බන්ධයෙන් පොලිසියට වගකීමක් හා කාර්යභාරයක් තිබුණ ද සත්ත්ව හිංසනය පාලනය හෝ වැළැක්වීමට හැකිවී නොමැතිවීම ද බරපතළ කාරණාවකි.

සත්ත්ව හිංසා මෙන්ම සතුන්ට නිදහසේ ජීවත් වීම සඳහා සතුන්ගේ අයිතිය තහවුරු කිරීම පිළිබඳව නීති වර්තමානයේ පවතී. එනම්, 1893 අංක 9 දරන ගෝ ඝාතන ආඥා පනත, 1907 අංක 13 දරන සත්ව හිංසා ආඥා පනත, 1958 අංක 29 දරන සත්ව ආඥා පනත වේ. මෙහි පවත්නා බරපතළ ගැටලුව වන්නේ එකී පනත් යාවත්කාලීන නොවීමයි. 1907 අංක 13 දරන පනතට අනුව සත්ත්ව ඝාතනයන් සම්බන්ධයෙන් අධිකරණයක් මගින් පැනවිය හැකි උපරිම දඩ මුදල රුපියල් 100 කි.1907 වර්ෂයට අදාළව එය විශාල මුදලක් ලෙස අර්ථ දැක්විය හැකි වුවද වර්තමානයේ ඉතා සුළු මුදලකි.

මෙහි වරද සෘජුවම එල්ල කළ යුතු වන්නේ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ බලයට පැමිණි පාලකයන් වෙතය. තත්කාලීනව පැරණි පනත් යාවත්කාලීන නොකිරීම තුළින් සත්ව හිංසනය වර්ධනය වී ඇත. මෙලොව ජීවත්වන සියලුම සත්ත්ව කොට්ඨාස අතුරින් බුද්ධිමත් සත්ත්වයා වූ මිනිසා මෙම තත්ත්වය වටහාගෙන මෙවැනි පනත් යාවත්කාලීන නොකරන්නේ නම් ඔවුන්ගේ බුද්ධිමත් බවින් ඇති ඵලක් නොමැත. මෙවැනි යල් පැනගිය නීති ඉහ මුදුනින් තබා සිටීම නිසා සිදුව ඇත්තේ මිනිසාගේ කෲරකම්වලට අසරණ අහිංසක සතුන් දිනෙන් දින ලක්වීම වර්ධනය වීමය.

වාර්තාගත වී ඇති නව තොරතුරු අනුව ගලේවෙල ප්‍රදේශයේ ආහාරවලට විෂ දී මරා දමා ඇති සුනඛයන් ප්‍රමාණය ඉතා විශාලය. මෙය අද වාර්තා වන්නේ එක ප්‍රදේශයක වුවද හෙට දිනයේ තවත් ප්‍රදේශ කිහිපයක මෙවැනි තත්ත්වයන් වාර්තා විය හැක. මන්ද සත්ත්ව හිංසනයට එරෙහිව නීතිය අදාළ වන්නාවූ පනතේ පවත්නා දුර්වලතා නිසාය. එසේත් නැතිනම් සත්ව හිංසනය යන වරද යටතේ දඬුවම් ඉතා ලිහිල් බැවිනි.

තවත් වාර්තාගත තොරතුරකට අනුව 2020.06.23 දින කඳුකර ප්‍රදේශයක (උඩවේරිය වත්ත ආශ්‍රිතව) කොටින්, දිවියන් වැනි සතුන් දඩයම් කිරීමට ඇමක් වශයෙන් සුනඛයකු ඉතා හිංසාකාරී අන්දමින් විදුලි කම්බිවලින් බැඳ තබා ඇති ආකාරය සමාජ ජාල මාධ්‍ය වාර්තාකර තිබුණි.

එහිදී සුනඛයාට හිංසා කිරීම මෙන්ම වඳවීමේ තර්ජනයන්ට මුහුණපා ඇති සතුන් දඩයම් කිරීම බරපතළ කාරණාවකි. 1907 අංක 13 දරන සත්ත්ව හිංසා ආඥා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව කුරුල්ලන්, මත්ස්‍යයන්, උරග වර්ගයේ සතුන් ඇතුළු සියලුම ගෘහස්ථ හා අල්ලාගත් සතුන්ට හිංසාකිරීම තහනම් වේ. මෙහිදී සතුන් නිරාහාරව තැබීම, ඔවුන්ව තුවාලවන අයුරින් සිරකර තැබීම, වද හිංසා පැමිණවීම, නොසැලකිලිමත්කම හේතුකොටගෙන සතුන් වේදනාවට පත් කිරීම යනාදිය මෙන්ම අනවශ්‍ය පරිදි වේදනා විඳීමට අවස්ථා සලසා දෙමින් යම් වාහනයකින් රැගෙන යෑම පවා නීතිමය වරදක් වේ.

නිදසුනක් ලෙස වර්තමානයේ ව්‍යාපාරයක් මෙන්ම මෝස්තරයක් ලෙස මිල අධික වර්ගයේ සුනඛයන්ගේ වලිගය කපා දැමීම ද වරදක් වේ. නමුත් මෙවැනි ක්‍රියා ශ්‍රී ලංකාව තුළ කොතෙකුත් සිදුවන හිංසනයන් වුවද ඒවාට කිසිදු දඬුවමක් ක්‍රියාත්මක වන්නේද නැත. දඩුවම් නොමැතිකම හේතුවෙන් ගෘහාශ්‍රිත සතුන් දැඩි පීඩාවට පත්වන අතරම එම පීඩාවට පත්වන අයුරු පටිගතකර සමාජජාල මාධ්‍යයට මුදාහැරීම ප්‍රවණතාවක් බවට පත්ව ඇත.

පැරණි පනත් යාවත්කාලීන නොවීම, එමෙන්ම නව පනත් සම්මත නොවීම යන කාරණා සඳහා තිබෙන්නා වූ බාධක සුළුපටු නොවේ. ඒවා එක්තරා ආකාරයක මාෆියාවක් ලෙස අර්ථකථනය කළාට ද වරදක් නොමැත. අප රට තුළ මහා පරිමාණ වශයෙන් කුකුළු කොටු, ඌරු කොටු මෙන්ම මාංස ආහාර පිණිස පවත්වාගෙන යනු ලබන සත්ත්ව ගාල්වල හිමිකරුවන් මේ පිටුපස අදිසි හස්තයක් ලෙස ක්‍රියාත්මක වේ. හේතුව වන්නේ පසුගිය ආණ්ඩු සමයේ සම්මත නොවූ පනත් කෙටුම්පත තුළ සත්ත්ව සුභසාධනය හා සම්බන්ධ කරුණු රාශියක් අන්තර්ගතව තිබූ බැවිනි. කුකුළු කොටු, ඌරු කොටු හා ගව ගාල් පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ ව්‍යාපාරිකයන් වර්තමානයේ මෙම මාංස වෙළෙදාම කරගෙන යනු ලබන්නේ එකී සතුන්ට අපරිමිත වද හිංසා පමුණුවාලීමෙනි.

මෙයට නිදසුනක් ලෙස ඌරු කොටුවක එම සත්වයාට අනෙක් පසෙකටවත් හැරීමට නොහැකි ලෙස ගාල් කර ඇත. එමෙන්ම ඊරිය පැටවු ගැසූ විගස පැටවා ගේ දත් ගලවා දමනුයේ ඊරියගේ තනපුඩු ආසාදනය වනවා යැයි කියමිනි. එමෙන්ම ඌරන් මස් කිරීමට පෙරාතුව පොලුවලින් පහර දීම් වැනි අතීශය හිංසාකාරී ක්‍රියාවන් මෙම මහා පරිමාණ වශයෙන් මාංස සැපයුම් ගාල්වල සිද්ධ වන්නාවූ සත්ව හිංසාවන් වේ. එමෙන්ම මාංස සඳහා ඌරන්, ගවයන් ඝාතනය කිරීමේදී එය කෲර අන්දමින් එය සිදුකිරීමද දැකිය හැක.

1893 අංක 3 දරන ගෝ ඝාතක පනත යටතේ ගව ඝාතනය සඳහා බලපත්‍ර ගැනීමේ සිට මාංස අලෙවි කිරීම දක්වා නීති සමුදායක් පවතී. එමෙන්ම, එකී පනත යටතේ ගවයන් ඝාතනය කළ හැක්කේ දහවල් කාලයේදී පමණි, එසේ ඝාතනය කිරීමට පෙර පැය 24ක කාලයක් තුළ මහජනතාවට පෙනෙන සේ එම ගවයා ප්‍රසිද්ධියේ තැබිය යුතුය. පනත්වල සඳහන් මෙම නීති ඒ ආකාරයෙන්ම සිදුවන්නේද යන්න ගැටලු සහගතය. වර්තමානයේ සිදුවන්නේ පනත තුළ සඳහන් නීතිමය වරද සිදුකොට ගෙවිය යුතු සුළු දඩය ගෙවා දැමීමය.

පැරණි පනත සංශෝධනය කිරීමෙන් හා නව පනතක් ගෙන ඒමෙන් මෙවැනි ආකාරයේ සත්ව හිංසනයන් වළක්වා ගත හැකි අතර එවැනි මාංස සඳහා සතුන් ඇතිකිරීමේදී විවිධ ප්‍රමිතීන්ට අනුගත කළ හැකිය. විශාල නීති හා ප්‍රමිති සමුදායකට අනුගතවීමේදී ව්‍යාපාරිකයන්ට දැරූ පිරිවැයට වඩා වැඩි ප්‍රමාණයක් දරන්නට සිදුවන නිසාවෙන් ව්‍යාපාරිකයන් නිරන්තරයෙන් උත්සාහගනු ලබන්නේ යාවත්කාලීන වීමට නියමිත හෝ සම්පාදනය වන්නට නියමිත පනත අකුලාගත හැකි ආකාරයේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකිරීමය. ඔවුන් ඒ සඳහා දේශපාලන සහයෝගය ද ලබාගනී. එබැවින් මෙවැනි යාවත්කාලීන විය යුතුම පනත් කුණු කූඩයට විසිවන්නේ නිරායාසයෙනි.

ප්‍රතිපත්තියක් සම්පාදනය වීම උදෙසා සිවිල් සමාජයේ කිහිප තැනකින් ඉල්ලීම් පැමිණීයද එයට දේශපාලන සහයෝගය නොමැතිනම් ඉන් කිසිඳු ඵලක් නොමැත. පූර්ව මැතිවරණ සමයක සත්ව හිංසාව පිළිබඳ කිසිඳු දේශපාලන වේදිකාවක සාකච්ඡාවක් නොමැත. මෙම මහපොළොව යනු මිනිසාට පමණක් අයිතිවන්නා වූ වස්තුවක් නොවන අතර එහි උරුමක්කරුවන් ලෙසට සියලු තිරිසන් සතුන් ද ප්‍රධාන වේ.

1907 සම්පාදනය වූ අංක 13 දරණ සත්ත්ව හිංසා ආඥා පනත මුල්කාලීනව කිහිපවරක් සංශෝධනය වී තිබුණද වර්තමානයේ කිසිඳු යාවත්කාලීනවීමකින් තොරව පැවතීම දියුණු දේශපාලන සංස්කෘතීන්ට නොගැළපෙන්නකි. නූතන පාලකයන් හඩ නගනුයේ ගෝලීයකරණය තුළ රට ඉදිරියට යෑම ගැනය. බලගතු ජාතීන් සමගින් උරෙනුර ගැටෙමින් කටයුතු කරන අන්දම පිළිබඳවය. නමුත් 1907 සම්මත පනතක් යාවත්කාලීන කරගත නොහැකි තත්ත්වයේ දුර්වලත්වයකට එම පාලන තන්ත්‍රයන් පත්වීමද හාස්‍ය උපදවන්නා වූ කාරණාවකි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.