ප්‍රමුඛතා ලයිස්තුවෙන් පිට, ඇමතිවරයෙකුට එන්නත දුන්නේ කොහොමද ?

Sri Lanka

වනජීවී හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක ඉකුත් දහවැනිදා නාරාහේන්පිට යුද හමුදා රෝහලට පැමිණ කොවිඩ් එන්නත එසේ නැත්නම් ඇස්ට්‍රාසෙනෙකා එන්නත විද ගත්තේය. ඒ කතාවත් සමග බොහෝදෙනෙක් අැසුවේ ඇමැතිවරයෙක් යුද හමුදා රෝහලේදී කොරෝනා එන්නත විදගත්තේ කොහොමදැයි කියාය.

හමුදා රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට ඉඩ දී ඇත්තේ ආරක්ෂක අංශයට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ටය. ඒ හැරෙන්නට සිවිල් වැසියන්ට හමුදා රෝහලට ඇතුළු වී එයින් ප්‍රතිකාර ගැනීමට හැකියාවක් ඇත්තේ නැත. ඒ නීතිය, දේශපාලනඥයන් අතර, ජනපතිට හෝ අගමැතිට අදාළ වන්නේ නැත. ඔවුන් දෙදෙනා හැර, යුද හමුදා රෝහලෙන් ප්‍රතිකාර ගැනීමේ වරප්‍රසාදය හිමි තවත් දේශපාලනඥයෙක් වන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. ඔහු හිටපු යුද හමුදාපතිය. ෆීල්ඩ් මාර්ෂල් නිලය වූ කලී මැරෙන තුරා සක්‍රීය වන නිලයකි. එහෙත් මේ කිසිදු වර්ග කිරීමකට අයත් නොවන ඇමැති සී.බී. රත්නායක නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදී එන්නත් විදගත්තේය.

කොරෝනා එන්නත ලංකාවේදී මුලින්ම දුන්නේද යුද හමුදා රෝහලේදී යුද හමුදාවේ තිදෙනකුටය. ඊට හේතු වූයේ ‘‘කොවිඩ් එන්නත’’ නැතිනම් ‘‘ඇස්ට්‍රාසෙනෙකා එන්නත දෙන අය ගැන රජය සකස් කළ පිළිවෙළය. එන්නත අද වන විට දෙන්නේ කොරෝනා මර්දන වැඩසටහනේ ඉදිරියෙන්ම සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ටය. ඒ හැරෙන්නට වෙනත් කිසිවකුටවත් එන්නත මුලින් නොදෙන බව කොවිඩ් එන්නත්කරණ කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග අවධාරණය කළේය. ඒ කොවිඩ් මර්දන එන්නත්කරණයේ ආරම්භක දිනය වන ජනවාරි විසිනමවැනිදා පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු කීවේ ‘‘එන්නත ලංකාවට ගේන්න කලින් කාටද මුලින්ම ගහන්නේ කියලා තීරණයක් තිබ්බෙ නැත්තන් වෙන්නේ එන්නත් ටික මෙහෙ ගෙනල්ලා ලොතරැයි අදින්න. එහෙම නැත්නම් ජනාධිපතිතුමාට, අගමැතිතුමාට හෝ පාර්ලිමේන්තුවේ ඉන්න දෙසිය විසිපහට හරි ගහනවාද කියලා හිතන්න ඕනේ. ඒත් බැරිවෙලාවත් ජනාධිපතිතුමා හරි අගමැතිතුමා හරි ඇමැතිවරු හරි ගහගත්ත නම් එහෙම මොනතරම් කුණු කතා අහන්න වෙනවද? ඉතින් ඒ කුණු කතාවලට ඉඩ නොතිය, ඒ නායකයෝම හිතුවා මේක මුලින්ම දෙන්නේ කාටද කියලා තීරණය කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයටම දෙන්න.’’

ඒ අනුව කොරෝනා මර්දන මෙහෙයුමේ ඉදිරිපෙළ සාමාජිකයන්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නත මුලින්ම දිය යුතු යැයි තීරණය විය. එහෙත් වර්තමානයේ ඇති ගැටලුව වන්නේ සෞඛ්‍ය අංශයට හෝ ආරක්ෂක අංශයට කිසිදු සම්බන්ධයක් නොමැති ඇමැති සී.බී. රත්නායකට ඇස්ට්‍රාසෙනෙකා එන්නත දීම පිළිබඳවයි. හැරත් ඇමැතිවරයා එන්නත ගත්තේ යුද හමුදා රෝහලේදීය.

මේ ගැන විවේචන පළ වන්නේ එන්නත ගැනීමට සුදුසුකම් සැපිරූ බොහෝ දෙනෙක් පෝලීමේ සිටියදී සී.බී. රත්නායක ඇමැතිවරයා පමණක් එන්නත ලබා ගැනීමය.

නමුත් එවැනි පසුබිමක වනජීවී සහ වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක පෝලිමෙන් පිට පැන යුද හමුදා රෝහලෙන් කොවිඩ් එන්නත ගත්තේ කෙසේද කියා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය ස්‍යෙඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් විමසුවෙමු.

එහිදී, ඔහු කී‍වේ ඇමැති සී.බී. කොවිඩ් එන්නත විදගත් බව ඔවුන්ද දැනගත්තේ පත්තරෙන් බවයි.

‘‘ඇත්තටම අපි තවමත් මේ ගැන කිසිම දෙයක් දැනුවත් නැහැ. අපිට එහෙම එන්නත් විදිනවා කියලා කියලවත් නැහැ. මේ ගැන අපිට වඩා හොඳට දන්නේ හමුදාපතිතුමා. මොකද එතුමා යටතෙනේ හමුදා රෝහල තියෙන්නේ. ඒත් මේ වගේ දෙයක් වෙලා තියෙනවා නම් ඒක ඉදිරියට නරක පූර්වාදර්ශයක් වෙන්නත් පුළුවන්. මොකද මේ එන්නත්කරණ වැඩසටහනට එක්තරා ආකාරයක වැඩපිළිවෙළක් තියෙනවා. ඊට අනුව තමයි අපිත් වැඩ කරන්නේ’’

එපමණක් නොව මෙම එන්නත් දැනට ලංකාවේ මධ්‍යස්ථාන සියයකට ආසන්න ප්‍රමාණයක ක්‍රියාත්මක වන්නේය. එහිදී යම් යම් ස්ථානවල ප්‍රභූන්ට සහ වෙනත් පිරිස්වලට මෙම එන්නත ‘‘හොර පාරේ’’ දෙන බවට සමාජයේ කතිකාවක් ඇති වී තිබුණි. ඒ පිළිබඳව අප කළ විමසීමකදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කීවේ, ඒ පිළිබඳව දැනටමත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.

කෙසේ නමුදු මේ ගැන අප යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර්නිලන්ත ප්‍රේමරත්නගෙන් කළ විමසීමේදී ඔහුද පැවසුවේ ඇමැති සී.බී. රත්නායක යුද හමුදා රෝහලෙන් කොරෝනා එන්නත විද ගත් බව සත්‍යයක් බවය. එහෙත් ඊට හේතුව ඔහු පැහැදිලි නොකළේය. ඒ ගැන යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් විමසීමට අපි උත්සාහ කළද ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

හර්ෂණී දිසානායක -Aruna

 


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *