ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වුණාට පොහොට්ටුවේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට බනිනවා. ඇත්තටම ශ්‍රීලනිපයට කෙනහෙළිකම් වෙනවා නේද?(ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක දුමින්ද දිසානායක)

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු ඡන්දයකදී එක පක්ෂයක අය පවා රණ්ඩු සරැවල් වෙනවා. නමුත් අපි සන්ධානයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන විශ්වාසය තියලා එතුමා වෙනුවෙන් ජයග්‍රහණය උදෙසා අපි මේ වෙනකොට ඡන්ද ව්‍යාපාරය කරගෙන යනවා. විශේෂයෙන් තමන්ගේ මනාපය වෙනුවෙන් ඔය වගේ කියන කතාවලට පක්ෂයක් හැටියට උත්තර දෙන්න යන්නෙ නෑ.

දුමින්ද දිසානායක ඉස්සර වගේ නෙවෙයි. දැන් නිහඬයි. මොකද දුමින්ද කැපිල්ලකට අහුවෙලාද?

දුමින්ද දිසානායක කාගෙවත් කැපිල්ලකට ලක්වෙලා නෑ. අපේ ආණ්ඩුවේ 2/3 හදාගන්න අනුරාධපුරෙන් හතක් යවන්න දුමින්ද දිසානායක මේ වෙනකොට වැඩ කරගෙන යනවා.

දුමින්ද දිසානායක අනුරාධපුරෙන් හතක් යවන්න කියන්නේ ඇයි අනිත් පක්ෂ මැරිලද?

පැහැදිලිවම අපි අනුරාධපුරෙන් 7ක් පාර්ලිමේන්තුවට යනවා මේ පාර. අනිත් පක්ෂ අපිට අභියෝගයක් නෙවෙයිනේ.

අලුත් සන්ධානයේ සමහර අය චෝදනා කරනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එක්ක ගමනක් නෑ ශ්‍රීලනිපය ඕන 2/3 හදාගන්න විතරයි කියලා. ඇත්තටම තමන්ගේ නායකත්වය එහෙම විවේචනයට ලක්වෙමින් එකට ඉන්න පුළුවන්ද?

එහෙම විවේචනයක් නෑ. මොකද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති එතුමා. ඒ නිසා අමුතු විවේචන, අමුතුවෙන් රුකගන්න උවමනා නෑ.

විපක්ෂයෙන් චෝදනා කරනවා ආණ්ඩුව කෝවිඩ් 19 ඡන්ද ව්‍යාපාරයේ කොටසක් බවට පත්කරගෙන කියලා?

ඇත්තටම ආණ්ඩුවට ඒ ප්‍රශ්නෙ බරක්. හේතුව මොකද විශාල අභියෝගයක් වුණා ඒක මර්දනය කිරීම. අපිට ඒකෙන් දේශපාලන වාසියක් අමුතුවෙන් ගන්න ඕන නෑ. දේශපාලනය කරන්න යන්නෙත් නෑ එවැනි තත්ත්වයකින්. අපිට උවමනාව තියෙන්නේ ආර්ථිකය ගොඩනගලා ජනතාවට අවශ්‍ය පහසුකම් ටික ලබාදෙන්න.

විපක්ෂයෙන් චෝදනා කරනවා නැවත ඔබලා බලය ඉල්ලන්නේ සුපුරැදු දූෂණ වංචා සිදුකරලා ගසාකෑම් සිදුකරන්න කියලා. ජනතාව ගැන කිසිම කැක්කුමක් නෑ කියලත් ඔවුන් චෝදනා කරනවා.

අපි ජනතාවට කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන විශ්වාසය තබලා අපට ඡන්දෙ දෙන්න කියලා. මේ වර්තමානයේ ඇතිවෙලා තියෙන තත්ත්වය අපි බලාපොරොත්තු වුණ තත්ත්වය නෙවෙයි. ඒත් අගෝස්තු 5 වැනිදායින් පස්සේ අපි අලුතින් හදන ආණ්ඩුවත් එක්ක ජනතාව වෙනුවෙන් කැප වෙන, ජනතාව වෙනුවෙන් වැඩ කරන කණ්ඩායමක් හදනවා කියලා.

හැබැයි විපක්ෂය කියන්නේ ඔය 2/3 ඉල්ලන්නේ ඒකාධිපති පාලනයට අරන් යන්න කියලා. 

එහෙම කිසිම දෙයක් නෑ. අපිට තියෙන්නේ 2/3 බලයත් එක්ක රට නැගිටවීමේ අරමුණක්. ඒ නිසා ඒ ගැන බයවිය යුතු නෑ.

අවසාන වශයෙන් අහන්නේ ඔබ අනුරාධපුරේ බර්ටිගේ පුතා. බර්ටිගේ පුතා එක්ක තරග කරන්න මේ පාර අලුත් කණ්ඩායමක් ඉන්නවා. හැමපාරම වගේම මේ පාරත් උඩින්ම එන්න පුළුවන් වෙයි කියලා හිතනවද?

බර්ටිගේ පුතාට කිසිම වෙලාවක අනුරාධපුරෙන් බලපෑමක් නෑ. අනුරාධපුරේ මිනිස්සුන්ට බර්ටිගේ පුතා ගැන විශ්වාසයි.

හසිත් අංජන / ගයාන් ගාල්ලගේ

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.