– ජවිපෙ හිටපු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්ස

 ඕනෑම දෙයක් කාලයට ගැළපෙන ආකාරය වෙනස් වෙනවා‍. ජවිපෙන් ඒ ආකාරයට වෙනස් වෙලාද?

ඔව්. සබ්බේ සංඛාරා අනිච්චාති කියල බුදු වදනේ තියෙනවානෙ. ඒ විදියටම ඕනෑම දෙයක් එකම විදියට හැමදාම පවතින්නෙ නෑ. දේශපාලන පක්ෂයක් විදියට ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයට ගැළපෙන විදියට අපේ ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් වෙනස් කරගෙන තිබෙනවා. නමුත් ඒ මුල් කාලයේ අපේ පක්ෂයේ තිබූ හරයන් ඒ අයුරින් ම රැක ගෙනයි.

ඔබ කියන ආකාරයට ඒ වෙනස්වීම වාමාංශික කඳවුරේ සිට දක්ෂිණාංශික කඳවුරට මාරුවීමක් ද?

කවුරු හරි කියනවා නම් ලෝකයේ දක්ෂිණාංශික ව්‍යාපාරය තමයි සාධනීය කියලා එහෙම නම් වාමාංශික ව්‍යාපාරයක් අවශ්‍ය වෙන්නෙ නෑ. ජනතා විමුක්ති පෙරමුණේ පදනම ප්‍රතිපත්තිය තමයි මේ පවතින මතවාදය වෙනුවට සමාජවාදී රාජ්‍යයක් නිර්මාණය කිරීම. සමාජවාදය කියන්නෙ ජනතාව මුල් කරගත් පාලන ක්‍රමයකටයි. එහිදී නිෂ්පාදන ආර්ථිකය දියුණු කරල සමස්ත ජනතාවට සාධාරණ ලෙස ප්‍රතිලාභ ලැබීමට කටයුතු සැලැස්වීම තමයි අපේ අරමුණ. ඒ සඳහා අපි අනුගමනය කරන්නේ අපේ රටේ සංස්කෘතියට ගැළපෙන දේශපාලන ක්‍රමයක්. ඒක ලෝකයේ දේශපාලන මොඩලයත් සමඟ සංසන්දනය කරන්න බෑ. වාමාංශික අදහස් හා සමාජවාදී ක්‍රියාකාරකම්වලින් බැහැර වුණොත් එතැන ජනතා විමුක්ති පෙරමුණක් තියෙන්න විදියක් නෑ.

මේ දැන් පවතින දේශපාලන රාමුව තුළ ඔබේ අපේක්ෂාව සපුරා ගන්න තව කොච්චර කල්ගත වේවිද?

ඒක තීරණය වන්නේ ජනතාව ගේ මතය අනුවයි. ඔවුන් තීරණය කළොත් මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියල ඒක මේ මහ මැතිවරණයේදීත් කරන්න පුළුවන්. හැමදාම අපේ රටේ ජනතාව දුක් විඳිනවා. ඔවුන්ගෙන් බලය ඉල්ල ගන්න අතළොස්සක් සැප විඳිනවා. හැමදාම ජාතීන් අතර ගැටුම් හදනවා. මේවා වෙනස් කරලා රටේ හැමෝටම එකම විදියකට ජීවත්වෙන්න ඕනෑ කියල ජනතාව හිතුවොත් එදාට ජවිපෙ අපේක්ෂාව ඉටු කර ගන්න පුළුවන්.

ලෝකයේ උගත්කම සාක්ෂරතාව අතින් අපේ රට ඉහළින් තිබෙනවා නම් ඔබ ඔය කියන දේ ජනතාව අවබෝධ කරගන්න උත්සාහ නොගන්නෙ ඔබලා ගැන විශ්වාසයක් ජනතාවට නොමැති නිසා නොවෙයිද?

අකුරු කියවීමේ ලිවීමේ හැකියාව වෙනම එකක්. පරිගණක සාක්ෂරතාව තව එකක්. මේවාට අමතරව දේශපාලන සාක්ෂරතාව කියලත් එකක් තිබෙනවා. අපේ රටේ ජනතාවට අකුරු ලියන්න කියන්න පුළුවන්. ජනතාව රවටන්න බලයට පත් ආණ්ඩු සමත් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි නිදහස ලබා වසර 72 ක් ගත වෙලත් අපේ රටේ මේ විදියට තිබෙන්නෙ.

ඔබේ පක්ෂයේ නායකයෙක් සඳහන් කර තිබුණා පසුගිය භීෂණ සමයේදී ජවිපෙ දෙමළ මුස්ලිම් ජනතාව මැරුවේ නෑ කියලා. ඒක බරපතළ ප්‍රකාශයක්. ඒ ගැන මොකද කියන්නේ?

ඉතින් ඒක තමයි අපි කියන්නෙ. ඒවා වැරැදි නම් පරීක්ෂණ කරන්න. අපේ සහෝදරයෙක් කළ දිගු කතාවක එක් කොටසක් පමණක් සමාජගත කරල වැරැදි මතයක් නිර්මාණය කරන්න උත්සහ කර තිබෙනවා. ඒ ප්‍රකාශය ගැන පරීක්ෂණ කරන්න රජයට පුළුවන්. අපි කරුණා අම්මන්ට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ කියනවා වාගේ ම අපේ වරදක් තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි අපි කියන්නෙ.

එජාපයත් සමඟ ජවිපෙට තිබෙන සම්බන්ධය මොකක්ද?

නොයෙක් අයට විවිධ චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන්. ජවිපෙට මේ රටේ යම් දේශපාලන ඩීල් එකක් තිබුණා නම් ඒක තිබුණේ ශ්‍රීලනිපය සමඟ පමණයි. 2004 ශ්‍රීලනිපය සමඟ ආණ්ඩු හදලා ඇමැතිකම් හතරක් හා නියෝජ්‍ය ඇමැතිකම් හතරක් ලබාගෙන අපිට පැවරුණ වගකීම අපි රටට පෙන්නුවා. 2005 දී මහින්ද රාජපක්ෂ දිනවන්න අපි මුළු බර කරට අරන් වැඩ කළා. ඒ හැර අපි කිසිම අවස්ථාවක යූඑන්පී එක හෝ ඉන් කැඩිච්ච කණ්ඩායමකට සම්බන්ධ වෙන්නෙ නෑ එහෙම සම්බන්ධ වෙලත් නෑ.

ස්වාධීන මැතිවරණ කොමිසම යටතේ පැවැත්වෙන මේ මහ මැතිවරණයේ මැතිවරණ නීති රීති මගින් ජනතාව ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බවට එල්ල වන චෝදනා ගැන ඔබ මොනවද කියන්නෙ?

නෑ අපිට ඒක පිළිගන්න බෑ‍. මෙරටේ මැතිවරණ ක්‍රමයේ සාධනීය වෙනසක් ඇති කරන්න මැතිවරණ කොමිසම උත්සාහ කරනවා. ඒ වගේ ම මේ මැතිවරණයේදී සෞඛ්‍යය අංශවල උපදෙස් අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය නිසා ඒ අනුව මැතිවරණ කොමිසම කටයුතු කරනවා‍. ගෙන් ගෙට යෑමේ කණ්ඩායම තුනකට සීමා කිරීම ජනහමු සඳහා සහභාගි වන පිරිස සීමා කිරීම ආදිය හොඳ තීරණ. ජනාධිපතිවරයාටත් ඒ තීරණ වලංගු විය යුතුයි. මැතිවරණ කොමිසමට මුදල් වියදම් කරලා මාධ්‍ය හරහා කරන මැතිවරණ කටයුතුත් වළක්වා ගන්න පුළුවන් නම් හොඳයි.

ඔබ අගය කරන ඔය ක්‍රමයෙන් ජනතාවට තමන් කැමැති අපේක්ෂකයා පිළිබඳ තොරතුරු දැනගන්න තිබෙන ඉඩ ඇහිරිලා කියල ඔබට හිතෙන්නෙ නැද්ද?

නෑ. ඔබ කියන්නෙ අපේක්ෂකයන්ගේ රුව හා අංක ප්‍රදර්ශනයට සීමා පැනවීම ගැන ද? ඒ ගැන වුණත් මැතිවරණ කොමිසම ලබාදී ඇති සීමා ප්‍රමාණවත්. අනික ඒ සීමා පනවා තිබෙන්නෙ ව්‍යවස්ථාවෙන්. ව්‍යවස්ථාව සම්පාදනය කරන්නෙ පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුව කරන දේට මැතිවරණ කොමිසමට දොස් කියල වැඩක් නෑ. නීතිය වෙනස් නොකර කොමිසමට තඩිබාල වැඩක් නෑ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ජවිපෙ නිරතුරුව චෝදනා එල්ල කරනවා. කොරෝනා නිසා බිඳ වැටී ඇති ආර්ථිකය නැවත ගොඩගන්න ජවිපෙට තියෙන සැලසුම් මොනවාද?

කොරෝනා එන්න කලිනුත් අපේ රටේ ආර්ථිකය නිරෝගී සෞඛ්‍ය සම්පන්න වුණේ නෑනේ‍. අද අපි මේ මුහුණ දෙන්නෙ දශක කීපයක් තිස්සෙ අසමත් ආර්ථික ක්‍රියාවලියක් නිසා ඇතිවූ ප්‍රතිවිපාකවලටයි. අපේ රට ණය වෙන්නෙ මහ පරිමාණ ව්‍යාපෘතිවලටයි. විගණකාධිපතිවරයා මේ පිළිබඳව වරක් කරුණු හෙළිකර තිබුණා. අපි ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 3000 ක ණය අරන් හදපු ව්‍යාපෘතිවල වටිනාකම බිලියන 1100 ක් බව හෙළි කර තිබුණා. ඒ අනුව ණය අරගෙන කරන මහ පරිමාණ ව්‍යාපෘතිවල වටිනාකම හා ලබාගන්නා ණය අතර පරතරය රුපියල් බිලියන 11900ක්. මේ මුදල්වලට වෙන්නෙ මොකක්ද? මේ නාස්ති නතර කරගෙන ඍජු ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් වසර පහක් අපේ රටේ ආර්ථිකය හසුරුවන්න පුළුවන් නම් අපිට රටක් විදියට ගොඩ එන්න පුළුවන්. ඒ සඳහා සැලසුම් අපි හඳුනාගෙන තිබෙනවා.

ඔබලා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් රටට මොනවද කළේ. ඔබ කළුතරට මොනවද කරල තියෙන්නෙ?

ජාතික ජන බලවේගය හැටියට අද අපි මැතිවරණයට මුහුණ දෙන්නෙත් ජනතාව අපිව තෝරා පත් කරගෙන පාර්ලිමේන්තු යවන්නෙත් අපි මේ රටට යමක් කරන පිරිසක් විදියටයි‍. මේ රටේ සිදුවූ මහ බැංකු වංචාවේ සිට යහපාලන රජය රුපියල් කෝටි 2800 ක වාහන ගෙන්වීම ඇතුළු සියලු වංචා දූෂණ හෙළිදරව් කළේ අපි. ඒ වාගේ ම ජනතා ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතා කරලා ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා. වසර 62 ක් තිස්සේ නොවිසඳුන ගුරු උපදේශක සේවාව ස්ථාපනය කළේ ජවිපෙ මැදිහත් වීමෙන්. ඒ වගේ ම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේදී කළුතර දිස්ත්‍රික්කයට ප්‍රථම වෛද්‍ය පීඨයක් ස්ථාපනය කරන්න හැකි වුණෙත් මගේ යෝජනාවක් අනුවයි. එවැනි විශාල සේවා රැසක් අපි ඉටුකර තිබෙනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.