හසලක වීර ගාමිණී දිවිපුදා වසර 29 ක්

පුරා තිස් වසරක් මුළුල්ලේ අපේ රටට මහත් විනාශයක් සිදුකළ රුදුරු කොටි ත‍්‍රස්තවාදී යුද සමයේ අලිමංකඩ යුද හමුදා කඳවුරට එල්ල වීමට ගිය දරුණු බෝ්ම්බ ප‍්‍රහාරයක් තම ජීවිතය පූජා කරමින් වළක්වා සහෝදර සෙබළුන් 1000 කට කිට්ටු ප‍්‍රමාණයකගේ ජීවිත බේරා දුන් හසලක වීර ගාමිණී සෙබළා දැයෙන් සමුගෙන මෙම ජුලි මස 14 වැනිදාට විසිනව වසරක් සපිරේ.

1966 වසරේ සැප්තැම්බර් මස 22 වැනි දින හසලකදී උපත ලද හසලක වීර ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න පස් දෙනකුගෙන් සමන්විත පවුලක දෙවැන්නා විය. හසලක ප‍්‍රදේශයේ ගොවියකු වූ ඔහුගේ පියා ඔහු කුඩා කාලයේදී මියගොස් ඇති අතර වයි.බී. ජුලියට් නමැති සිය මෑණියන් සහ සෙසු සොහොයුරන් සහ සොහොයුරිය සමග ගාමිණී ජීවත් වූයේ හසලක ප‍්‍රදේශයේ කුඩා නිවසකය.

මුලින් සාමාන්‍ය සෙබළකු ලෙස හමුදා සේවයට බැඳුණු ගාමිණී කුලරත්න මියයන විට ලාන්ස් කෝප‍්‍රල්වරයකු ලෙස සේවය කරමින් සිටියේය. සිද්ධිය වූ 1991 වසරේ ජුලි මස 14 වැනි දින ඔහු සේවය කළේ අලිමංකඩ යුද හමුදා කඳවුර අසල ආරක්‍ෂක සෙබළකු ලෙසය. බෝම්බ පුරවාගත් කොටි බුල්ඩෝසරයක් අලිමංකඩ හමුදා කඳවුර පුපුරවා විනාශ කර දමන්නට ළඟ ළඟම එමින් සිටින බවට හදිසි තොරතුරක් ඔහු වෙත ලැබුණේ මේ අතරවාරයේය. ඒ වන විට කඳවුර තුළ සිටි සහෝදර සෙබළුන් විශාල පිරිසකගේ ජීවිත විනාශ වන්නට යන ආකාරය ඔහුට මැවී පෙනෙන්නට ඇත. වහා කි‍්‍රයාත්මක වූ ගාමිණී කුලරත්න සෙබළා බෝම්බ පුරවාගත් බුල්ඩෝසරය වේගයෙන් තමා පසුකර යන්නට සැරසෙනවාත් සමගම අත තිබූ ග්‍රෙනේඞ් බෝම්බ දෙකක් ද සමග වහාම කොටි බුල්ඩෝසරයට පැන ගත්තේ තම ජීවිතය ගැනද නොසිතිමිනි. මොහොතකින් එහි තිබූ බෝම්බ සියල්ල පුපුරා ගොස් බුල්ඩෝසරය ද විනාශ වූයේ ගාමිණී කුලරත්න වීර සෙබළාගේ ජීවිතයද අහිමි කරමිනි.

හසලක ගාමිණී කුලරත්න සෙබළාගේ වීර කි‍්‍රයාව වෙනුවට එවකට ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා විසින් ඔහුට ‘පරම වීර විභූෂණ’ සම්මානයෙන් පුදා එම සම්මානය ඔහුගේ මෑණියන් වෙත ප‍්‍රදානය කළ අතර ඊට අමතරව හසලක නගර මධ්‍යයේ ඔහුගේ පිළිරුවක් ද ඉදිකරනු ලැබීය.

‘පරම වීර විභූෂණ’ සම්මානයෙන් පුදනු ලැබූ ප‍්‍රථම රණවිරුවා වීමේ ගෞරවයට ද පාත‍්‍ර වන්නේ හසලක වීර ගාමිණී රණවිරුවා වීම විශේෂත්වයකි.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අවධියේ අලිමංකඩ හමුදා කඳවුර අසල එකී පිපිරීම සිදුවූ ස්ථානයේ වීර ගාමිණී සෙබළා සිහිවීම සඳහා ස්මාරකයක් හා ඔහුගේ පිළිරුවක් ද ඉදිකරන ලදී.

තම සහෝදර සෙබළුන් විශාල පිරිසකගේ ජීවිත ආරක්‍ෂාකර ගැනීම සඳහාත්, තම මවුබිමේ ස්වෛරීභාවය වෙනුවෙනුත් කිසිදු උසස් නිලධාරියකුගේ විධානයකින් තොරව හමුදා සෙබළුන් එලෙස තම ජීවිතය පූජා කළ අවස්ථා ලෝක හමුදා ඉතිහාසයේ නැති තරම්ය.

රට දැය වෙනුවෙන් සිය කැමැත්තෙන්ම දිවි පිදු හසලක කෝප‍්‍රල් ගාමිණී කුලරත්න රණවිරුවා අපට මහත් අභිමානයකි.

ලෝරන්ස් මාදිවල

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.