කොටි මර්දනයට පෙරමුණ ගත් කෆීර් යානා විස්කම්

Sri Lanka

වසර තිහකට ආසන්න කාලයක් මෙරටට මහා විනාශයක් සිදු කරමින් ජනතාව භීතියට පත් කළ කොටි ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුම මඟින් අවසන් කර වසර එකොළහක් ගතව තිබේ.

මානුෂීය මෙහෙයුම ලෝකයේම ජනතාවගේ මතකයේ රැ‍ඳෙන්නට තරම් විශිෂ්ට ලෙස ජය ගන්නට මෙරට රණවිරුවන් දක්ෂ විය.

ගුවනින්, මුහුදෙන් මෙන්ම ගොඩබිමෙන් සන්නද්ධව සිටි කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා මෙරට හමුදාවන්ට විවිධ උපක්‍රම භාවිතා කිරීමට සිදු විය.

ඒ අනුව ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය ප්‍රහාරක ශක්තිය වැඩි කරමින් කෆීර් (Kfir) ගුවන් යානා වලින් සැදුම් ලත් නව ගුවන් හමුදා ප්‍රහාරක බළගණයක් හඳුන්වා දෙනු ලැබීය. එය අංක 10 ප්‍රහාරක බළගණය ලෙස නම් කෙරිණි. මෙම ප්‍රහාරක බළගණය පිහිටුවා ඉකුත් ජනවාරි මාසයට වසර 25ක් සපිරේ.

ඩොලර් මිලියන 18 කට ආසන්න වටිනාකමක් ඇති කෆීර් ප්‍රහාරක යානය මුල්වරට ශ්‍රී ලංකාවට ගෙන එනු ලබන්නේ 1996 වසරේදීය. ලෝකයේ රටවල් සුළු සංඛ්‍යාවක භාවිත කරන මෙම ගුවන් යානයට ශබ්දයේ වේගයට වඩා වේගයකින් ගමන් කළ හැකිය.

1996 ජනවාරි 05 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තො‍ටුපොළ ආශ්‍රිතව මෙම 10 වන බළගණය ස්ථාපිත කරනු ලැබීය. ‘වැලිකතරේ සිංහයා‘ යන නාමයෙන් හඳුන්වනු ලබන කෆීර් යානය ඊශ්‍රායලයෙන් ලොවට හඳුන්වා දුන් අතර එය 1976 වසරේදී නිෂ්පාදනය කර තිබේ. මෙම යානයේ දිග මීටර් 15.65ක් වන අතර පළල මීටර් 8.22කි. උස මීටර් 4.55කි.

ඇමරිකානු තාක්ෂණයෙන් නිපදවා ඇති එහි හදිසි අවස්ථාවකදී යානයේ නියමුවා ගුවනට විසි කිරීමේ තාක්ෂණයක් සතු අතර එහිදී පැරිෂුටයක ආධාරයෙන් නියමුවාට දිවි බේරා ගත හැකිය. කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ප්‍රබලම තීරණාත්මක මෙහෙයුම් රැසක් සිදු කිරීමට මෙම ප්‍රහාරක බළගණයට හැකි විය.

ගුවන් නියමුවන් හයදෙනකු, කාර්මික ශිල්පීන් හැත්තෑදෙනකු සහ ඊට සහය ලබා දුන් ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම විසින් මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වූ අවස්ථාවේ රණබිමට මහඟු දායකත්වයක් ලබා දෙන ලදී. පුහුණුවීම් සඳහා යොදා ගන්නා ගුවන් යානා ඇතුළු ගුවන් යානා දහයකින් සන්නද්ධව ආරම්භ කළ මෙම බළගණය විසින් ලොව මවිත කළ ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වන්නේ එවකට කොටි සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස පෙනී සිටි තමිල් සෙල්වම් ඉලක්ක කර ගනිමිනියි.

කි‍ලිනොච්චියේ පිහිටා තිබූ සෙල්වම්ගේ දේශපාලන මෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානය ලෙස හැඳින්වූ ස්ථානයට කෆීර් ප්‍රහාරක යානාවක් යොදා ගනිමින් එල්ල කළ ප්‍රහාරයෙන් අවට කිසිදු ගොඩනැඟිල්ලකට හානියක් නොවීමට ගුවන් නියමුවා කටයුතු කර තිබුණි.

ගු‍වනේ සිට ප්‍රහාර එල්ල කිරීම සඳහා පහළට පැමිණෙන කෆීර් ගුවන් යානයක් පොළව ආසන්නයටම පැමිණි එකම අවස්ථාව මෙය බව එවකට අනාවරණය විය.

එමෙන්ම මෙම ප්‍රහාරය එල්ල කර සුළු වේලාවකදී තමිල් සෙල්වම් මියගිය බව අනාවරණය කර ගැනීමට ද හමුදා බුද්ධි අංශ සමත්වීම විශේෂත්වයකි.

එලෙසම යුද්ධය පැවැති සමයේ ජයසිකුරු මෙහෙයුම සඳහා ක්‍රියාත්මක වූ ‘කෆීර්’ ප්‍රහාරක යානයකට කොටි ත්‍රස්තවාදීන් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ අතර එය ගුවනේදීම විනාශ කර දැමීමට කෆීර් යානයේ නියමුවාට හැකි විය.

මුලතිව් ප්‍රදේශයේ ඉදිකර තිබූ කොටි ත්‍රස්තවාදින්ගේ ගුවන්පථය වෙත 2006 ජූලි මස 27 වැනිදා සාර්ථකව ප්‍රහාර එල්ල කළ කෆීර් යානා එම ගුවන් පථය සම්පූර්ණයෙන්ම විනාශ කර දැම්මේය.

කපීර් යානා තුනක් යොදා ගනිමින්, මුලතිව් පුද­ිකුඩුඉරිප්පු ප්‍රදේශයේ තිබූ කොටි ත්‍රස්තවාදීන්ගේ විශාලතම අවි ගබඩාවක් සහ එම කඳවුර 2007 දෙසැම්බර් 25 වැනිදා විනාශ කර දැමීමට ද ගුවන් හමුදාව සමත් විය. පුපුරන ද්‍රව්‍ය ටොන් 1500ක් සමඟ මුලතිව් මුහුදු ප්‍රදේශයේදී කොටි ත්‍රස්තවාදීන්ට අයත් විශාල නෞකාවක් කෆීර් ප්‍රහාරක යානා යොදා ගනිමින් විනාශ කර දැමීමට ගුවන් හමුදාව සමත් විය.

මෙවැනි ප්‍රහාර රැසක්ම කෆීර් බළගණය විසින් යුද්ධය පැවති සමයේ සිදු කළ අතර කොටි ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ මෙහෙයුමේදී සුවිශේෂී කාර්ය භාරයක් මේ මඟින් ඉටු කෙරිණි. –

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *