පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 145 ක්

දෙදහස් විස්ස මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර එකසිය හතලිස් පහක් හිමිවුණා. ඉතිහාසයේ දැවැන්තම පරාජය හිමිවූ එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇත්තේ එක් මන්ත්‍රී ධුරයක් පමණයි.

පෙරේදා පැවති මහ මැතිවරණයේ දී දිවයිනෙන්ම ඡන්ද හැටඅට ලක්ෂ පනස් තුන්දහස් හයසිය අනූවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවුණා. එහි ප්‍රතිශතය 59.09% යි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් මන්ත්‍රී ධුර 128 ක් හිමිකර ගත්තා. ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17 ක්. මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති සමස්ත මන්ත්‍රී ධුර සංඛ්‍යාව 145 ක් වනවා.

දෙවනුවට වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිකරගෙන ඇත්තේ සමගි ජනබලවේගයයි. ඔවුන් දිවයිනෙන්ම ලබාගෙන් ඇති ඡන්ද සංඛ්‍යාව විසිහත් ලක්ෂ හැත්තෑ එක්දහස් නවසිය අසූවයි. ප්‍රතිශතය 23.90 යි. ඒ ඒ දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී ධුර 47 ක් හිමිවුණා. ජාතික ලැයිස්තුවෙන් ලැබී ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7 ක් වනවා. ඒ සියල්ල සමගින් සමගි ජන බලවේගයට ලැබී ඇති සමස්ත මන්ත්‍රී ධුර සංඛ්‍යාව 54 ක්.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඡන්ද තුන්ලක්ෂ විසිහත් දහස් එකසිය හැටඅටක් ලබාගත්තා. ප්‍රතිශතය සියයට දෙකයි දශම අටයි දෙකයි. ඔවුන්ට ඒ ඒ දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී ධුර නවයක් හා ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමිවුණා. ඒ අනුව ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ලබාගත් මුලු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 10 ක්.

ජාතික ජන බලවේගයට සමස්ත දිවයිනෙන්ම ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව හාරලක්ෂ හතලිස් පන්දහස් නවසිය පනස්අටක්. ප්‍රතිශතය 3.84% ක් වනවා. දිස්ත්‍රික්ක දෙකකින් මන්ත්‍රී ධුර දෙකක් හා ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් ද සමගින් ජාතික ජන බලවේගයට ලැබී ඇති මුලු මන්ත්‍රී ධුර සංඛ්‍යාව තුනක් වනවා.

අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස් පක්ෂය දිස්ත්‍රික්ක මට්ටමෙන් එක් මන්ත්‍රී ධුරයක් හා ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් බැගින් ලබාගනිමින් මන්ත්‍රී ධුර දෙකක් හිමිකර ගත්තා.

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දිස්ත්‍රික්ක මට්ටමෙන් මන්ත්‍රී ධුර දෙකක් හිමිකර ගත්තා. ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් කිසිදු මන්ත්‍රී ධුරයක් හිමිවූයේ නැහැ.

ඉතිහාසයේ දැවැන්තම පරාජය අත්පත් කරගත් එක්සත් ජාතික පක්ෂයට සමස්ත දිවයිනෙන්ම මෙවර හිමිවූයේ ඡන්ද දෙලක්ෂ හතලිස් නවදහස් හාරසිය තිස්පහක් පමණයි. ප්‍රතිශතය සියයට දෙකයි දශම එකයි පහයි. දිස්ත්‍රික්ක මට්ටමෙන් කිසිදු මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවූයේ නැහැ. ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් පමණක් හිමිවුණා. දිවයිනෙන්ම ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව එක්සත් ජාතික පක්ෂය පත්ව ඇත්තේ පස්වන ස්ථානයටයි.

අපේ ජන බල පක්ෂය දිස්ත්‍රික්ක මට්ටමෙන් මන්ත්‍රී ධුරයක් හිමිකර ගැනීමට නොහැකි වුවද ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමිකර ගැනීමට හැකිවුණා.

තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක් මන්ත්‍රී ධුරය බැගින් ලබාගෙන තිබෙනවා. මේ අනුවයි ඒ ඒ පක්ෂ හා කණ්ඩායම් අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 225 බෙදීගොස් ඇත්තේ. ඡන්ද ලක්ෂයේ සීමාව ඉක්මවා යාමට හැකිවී ඇත්තේ දේශපාලන පක්ෂ පහකට පමණයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish