සරුවපිත්තල ස්වර්ණ පුස්තක

සිංහල නවකතාවට පිදෙන උත්තමාචාරය යනුවෙන් ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය මගින් හඳුන්වාදෙන ලද ”ස්වර්ණ පුස්තක සම්මානය” අද සරුව පිත්තල සම්මානයක් බවට පත්ව තිබීම සාහිත්‍යය ගැන උනන්දුවක් දක්වන්නන්ගේ දෝමනස්සයට හේතුවී තිබේ. ස්වර්ණ පුස්තක සම්මානය ලේඛකයන්ගේ පාඨකයන්ගේ හෝ විචාරකයන්ගේ අවශ්‍යතා හෝ ඉල්ලීමට ඇති කරන ලද සම්මානයක් නොව හුදෙක් එය පොත් ප‍්‍රකාශකයන්ගේ වාණිජ අරමුණු පෙරදැරි කොටගෙන ආරම්භ කරන ලද්දකි. විශාල මුදලක් තිළිණ කිරීම නිසාද එමඟින් ඇතිවන නැවත මුද්‍රණ හා කර්තෘභාග නිසාද ලේඛක ලේඛිකාවන් බන්ධනයකට හසු කිරීමට ස්වර්ණ පුස්තක සම්මානයට හැකිවී තිබේ. එනිසා මෙය ලේඛක ලේඛිකාවන්ට පිදෙන උත්තමාචාරයක් නොව ලේඛක ලේඛිකාවන් පොත් ප‍්‍රකාශකයන් ඉදිරියේ දණ ගස්වන ලද සම්මානයක් වීය.

එසේ කීමට අපට කොතෙකුත් හේතු තිබේ. ස්වර්ණ පුස්තක සම්මානය ආරම්භයේ පටන් අද දක්වාම එම සම්මාන පෙරහැරේ පෙළට එන එකම එක ලේඛක ලේඛිකාවක සම්මාන ක‍්‍රියාදාමය, එහි ක‍්‍රමවේදය, විනිශ්චයකරුවන්ගේ සුදුසුකම්, සම්මානය සඳහා නිර්දේශ වන කෘති හා අවසාන සම්මානය ලබන කෘතිය විවේචනය කොට තිබේද? පිළිතුර ලොකු අකුරින් ලිවිය යුතු ”නැත” යන්නයි. මේ කවුරුත් ප‍්‍රකාශකයන් සතුටට පත්කිරීම සඳහා මෙම සම්මානයෙන් සිංහල නවකතාවට විශිෂ්ට සේවාවක් වෙන බවත්, සම්මානය තමුන්ට උත්තේජනයක් බවත් පවසන කපටි බස් දොඩන්නට වූහ. ප‍්‍රවීණ යැයි කියන ලේඛක ලේඛිකාවන් පවා පැවැසුවේ විනිශ්චය ක‍්‍රියාවලියෙන් අවසන් කෘති 12ට ආවත් ගොඩ යැයි කියාය. ඒ ඔවුන්ගේ ද වාණිජ අරමුණු ඉස්මතු වූ නිසාය.

එහෙත් මේ ඊනියා සම්මාන ක‍්‍රියාවලිය නිසා අද සාහිත්‍යට සිදුව ඇත්තේ වසරකට පළ කෙරෙන කෘති සංඛ්‍යාවේ ඉහළ අගයක් ගැනීම විනා එහි ගුණාත්මක වර්ධනයක් නොවේ. වරක් එක් පොත් ප‍්‍රකාශකයෙක් පොත්් එළිදක්වන උළෙලක දේශනයක් කරමින් පැවැසුවේ වසර පහකට පමණ සාහිත්‍යය සම්මාන උත්සව නතරකොට ලේඛක ලේඛකාවන්ට හොඳ නිර්මාණ කිරීමට අවශ්‍ය විවේක බුද්ධිය ලබාදිය යුතු බවයි. පොත් ප‍්‍රකාශන සංගමය විවේචනය කළ වරදට වසර කීපයක් යනතෙක් පොත් ප‍්‍රදර්ශන භූමියෙන් කුටියක් පවා ලබා නොදීමට තීරණය කර තිබුණේ මේ ප‍්‍රකාශකයාටයි.

සැප්තැම්බර් සූදුව සඳහා වාර්ෂිකව ඔට්ටු අල්ලන චෝදනාවෙන් මිදීම සඳහා ඇතැම් ලේඛක ලේඛිකාවන් පුවත්පත් සම්මුඛ සාකච්ඡුාවලදී පම්පෝරි ගසන්නේ තමන්ගේ මෙම නවකතාව වසර කීපයකට පසුව එන නිර්මාණයක් බව කියමිනුයි. එහෙත් ඔවුන් ඒ වසර දෙක තුනක පරාසය තුළ එම නිර්මාණයට අවශ්‍ය විවේක බුද්ධියෙන් ගතකළා නොව කෙටිකතා සංග‍්‍රහයක්, කාව්‍ය සංග‍්‍රහයක්, වෙනත් නිර්මාණයක් නොවේ නම් ළමා නිර්මාණයකින් හෝ තරගයට ප‍්‍රවේශවී තිබීම දැකගත හැකියි. මේ සම්මාන ක‍්‍රියාවලිය නිසා අද ලේඛක ලේඛිකාවන් එවන් ව්‍යාජ නිර්මාණ නිදහසක් ලබාගත් බව පෙන්වන්නේ ඊළඟ නවකතාව පළකරන තෙක් ඔවුන් වෙනත් ඉසව්වලට තරග කළ කාලයයි.

පොත් ප‍්‍රකාශක සංගමය තේරුම්ගත යුත්තේ මෙවන් සම්මාන හා දොළ පිදේනි නොතිබූ කාලයෙත් අදට වඩා සාහිත්‍ය ප‍්‍රබෝධය පැවති බවයි. අදට වඩා හොඳ නිර්මාණ බිහිවූ බවයි. සම්මාන උත්සව නොතිබීම පොත්පත් අලෙවියට බාධාවක් නොවූ බවයි. පරිපාලන සේවයේ, සිවිල් සේවයේ නියතු අයට පමණක් නොව රජයේ ලිපිකරු වෘත්තියේ නියැළි සේවකයන්ට පවා හොඳ පොතක් තෝරාගැනීමට හැකියාව තිබුණි. දැන් සිදුව ඇත්තේ වාර්ෂිකව පළකරන 100 කට වැඩි නවකතා අතුරින් නිර්මාණ පිළිබඳ මූලික දැනීමවත් නැති පාදක මණ්ඩලයේ අල්පශ‍්‍රැතයන් තෝරාදෙන පොත් 12 ට පමණක් පාඨක අවධානය සීමා වීමයි. මෙය කෙසේවත් සාහිත්‍යයට හිතකර තත්ත්වයක් නොවේ. ඉන් ලේඛකයන්ට පාඨකයන්ට පමණක් නොව බහුතර ප‍්‍රකාශකයන්ටද අගතියක් වෙන බව පැහැදිලියි.

ඊළඟට ස්වරණ පුස්තක සම්මානයේ විචාර වට තුන ගැන එල්ල වූ ප‍්‍රධාන චෝදනාව වූයේ පාදක මණ්ඩලයේ සංයුතියයි. පාදක මණ්ඩලය සඳහා නුසුදුස්සන් පත් කිරීම නිසා හොඳ පොත් ගිලිහී යන බව පැවැසිණ. මධ්‍යම මණ්ඩලයේ හා උත්තරීතර මණ්ඩලයේ සාමාජිකයන් ද මේ අදහස සමග එකඟ වෙමින් කියා සිටියේ තමා තෝරන්නේ තමාට පාදක මණ්ඩලය මගින් තෝරා දෙන පොත් බවයි. පාදක මණ්ඩලය සමන්විත විය යුත්තේ රසිකයන්ගෙන්ය යන මතය පොත් ප‍්‍රකාශක සංගමය සිතන්නේ නම් රට පුරා විසිරී සිටින ප‍්‍රබුද්ධ අවිධිමත් විචාරශීලි පාඨක පිරිසක් ඔවුනට හඳුන්වාදීමට අපට හැකියාව තිබේ.

පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය තමනට එල්ල වූ මුඛ්‍ය චෝදනාව වූ පාදක මණ්ඩලය එන්ජී ඕ කාරයන්ගෙන් පුරවා දමා එන්ජී ඕ දෘෂ්ටිවාදයට ගැළපෙන පොත් ලියන්නන්ට සම්මාන ලබාදීමේ ක‍්‍රියාවලිය මෙවර වෙනස් කොට තිබීම සතුටට කරුණකි. එහෙත් ඒ වෙනුවට පාදක මණ්ඩලය පුරවා ඇත්තේ කාගෙන්ද? පාදක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනාගෙන් ඇටුවන් බැහැපු එක් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ඇරෙන්නට අනෙක් දාහතර දෙනා රටට හඳුන්වාදීමට පොත් ප‍්‍රකාශන සංගමයට හැකියාවක් ඇද්ද? මේ කිසිවකු සාහිත්‍යය නිර්මාණයක් තබා අවමඟුල් උත්සවයකදී නොමිලේ බෙදාදෙන ශෝක ප‍්‍රකාශයකට කවියක් හෝ ලියා තිබේද? සාහිත්‍යය සංකථනයට කිසිදා සම්බන්ධ වී ඇද්ද? බෙහෙත් සීට්ටුවක තරමට හෝ සාහිත්‍ය විචාරයක් ලියා තිබේද? ඔවුන් සාහිත්‍ය පිළිබඳ ළමා රචනාවක් හෝ ලියා ඇද්දැයි අපට පෙන්විය හැකිද? පසුගිය වසරේ පළ වූ නවකතා අතුරෙන් ගුණදාස අමරසේකරගේ ”සංක‍්‍රාන්ති සමයක”, සේන තෝරදෙනියගේ ‘නිමල මල’, සුමිත‍්‍රා රාහුබද්ධගේ ”තම්මැන්නා” කැත්ලින් ජයවර්ධනගේ ”ඉවුරු ගඟ සිඳී ගිය දා” සමුද්‍ර වෙත්තසිංහගේ ”හිමබිම අරණ” හා ගිලීගිය වෙනත් හොඳ නවකතා ගැන පෘථුල විග‍්‍රහයක් කිරීමට මේ පාදක මණ්ඩලයේ එකදු සාමාජිකයකුට හැකියාවක් ඇත්ද? පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය මේ වංචනිකයන්ට මුදල් දී ලබාගන්නා සේවය මෙයද?

මෙවැනි පාදක මණ්ඩලයක් මගින් ලේඛක ලේඛිකාවන්ගේ කෘති විනිශ්චයට ලක් කිරීම ලේඛක ලේඛිකාවන්ට කරන ලද මහත් අවමානයක් වේ. ජීවිතේ සැලකිය යුතු කාලයක් නිර්මාණකරණයේ යෙදෙමින් උපයාගත් කීර්තියක් ඇති ප‍්‍රවීණ ලේඛක ලේඛිකාවන්ගේ කෘති මේ පුබ්බරුන් ලවා විනිශ්චයට භාජනය කිරීම තරම් නින්දාවක් ඔවුන්ට තවත් තිබිය හැකිද?. ස්වර්ණ පුස්තකයේ දෙවන වටයට තෝරන ලද නවකතා රචනා කළ ලේඛක ලේඛිකාවන් සිතා බැලිය යුත්තේ තමාගේ නවකතාව තෝරා ඇත්තේ කුමන ආකාරයක විනිශ්චයකරුවන්ද යන්නයි. මේ නිර්දේශිත ලැයිස්තුව අතර මීට ඉහත ස්වර්ණ පුස්තක සම්මානය හිමිකර ගත් අය වෙති. ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ වූවෝ වෙති. ලූම්පන් මහාචාර්යවරු වෙති. කලින් රාජ්‍ය හා පරිපාලන සේවාවේ ඉහළ තනතුරු දැරූවෝ වෙති. මේ සියලූ දෙනාම සිතිය යුත්තේ මේ විනිශ්චයකරුවන් පවරන ලද සමීක්ෂණ කාර්යයට සුදුස්සන් වන්නේද යන්නයි. තමන්ගේ නවකතාවට වටිනාකමක් ලබාදීමට මොවුන් සුදුස්සන් වන්නේ කෙසේද යන්නයි. තමාට සම්මානය ලැබෙන්නේ නම් එය කවුරුන් විසින් නිර්දේශ කරන ලද්දේද යන්න මොවුනටත් වලංගු සාධකයක් නොවන බව පෙනේ. මෙය සම්මාන සඳහා නිර්දේශ වන්නන්ගේ හෘද සාක්ෂිය, අකුටිල ගුණය හා අකලංක භාවය පිළිබඳ ප‍්‍රශ්නයක් වේ. එහෙත් ලක්ෂ ගණනින් මුදල් පොදි පසෙකින් එල්ලා තබා ඇතිවිට කුමන හෘද සාක්ෂියක් ද?, කුමන අකුටිල ගුණයක්ද?, කුමන අකලංක භාවයක්ද? වැඩිහිටි ලේඛකයන්ට අවලාද නගමින් තරුණ පරපුරේ ගැලවුම්කාරයන් ලෙස පෙනී සිටින්නන් මේ තීරණ සමග සිට ගනු ඇත්තේ තරුණ ගුණය ඇවිස්සීම දිගුකාලීනව තමන්ට වාසිදායක වන හෙයිනි.

ස්වර්ණ පුස්තකයට අමතරව කෙටිකතා සහ කාව්‍ය කෘති සඳහා පිදෙන රජත පුස්තක විනිශ්චය මණ්ඩලවල සිටින අල්පශ‍්‍රැතයන්ද ඊට දෙවැනි නැත. රජත පුස්තක සම්මාන ක‍්‍රියාවලිය ආරම්භ වන්නේ 2017 දීයි. 1989 ඉපදුණු බාල ලියක්ද දැන් වසර කීපයක සිට එහි විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන්නේ කාව්‍ය පිළිබඳ කුමන අවබෝධයකින් දැයි නොදනිමු. පරාක‍්‍රම, රණවීර, නන්දන, රත්න ශ‍්‍රී වැනි ප‍්‍රවීණ කවියන්ගේ කෘති විනිශ්චය කිරීමට 2014දී පමණ කොළඹ සරසවියෙන් උපාධිය ලද මෙවැනි සිඟිති උත්පලාවන් යොදා ගැනීම තරම් අවමානයක් එම කවීන්ට තවත් තිබේද? කාව්‍ය යනු ළමා රචනා විනිශ්චය කිරීම වැනි යමක් නොව ඊට පුහුණු කළ රසිකත්වයක් මෙන්ම තත්විෂය පිළිබඳ පරිචයක්ද තිබිය යුතුය. විටෙක මේ අය තම කෘතිවලට පෙරවදන් පසුවදන් ලියවා ගන්නේ පෙරකී කවීන්ගෙන් වන අතර රජත පුස්තකයේදී එම ප‍්‍රවීණයන්ගේ කෘති විනිශ්චය කරන්නේ මේ පුබ්බරුන්වීම කොතරම් හාස්‍යයක්ද? මේ කවීන්ද හෘද සාක්ෂ්‍යයට එකඟව කල්පනා කළ යුත්තේ එවැනි අල්පශ‍්‍රැතයන්ගේ ඇගයීමකින් ලැබෙන සම්මානයක ඇති වටිනාකම කුමක්ද යන්නයි.

දැන් ස්වර්ණ පුස්තකය හා රජත පුස්තකය යනු සාහිත්‍යය ග‍්‍රන්ථයකට වඩා වැඩිම ලංසුවට අලෙවි වෙන වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව තිබේ. මුහුණු පොතේ පිණුම් ගසන පොත් ප‍්‍රකාශකයකු තමා පළ කරන නවකතා ස්වර්ණ පුස්තකය මගින් උඩ දමාගෙන යාමෙන්ම එය තහවුරු වී තිබේ. වෙනත් ප‍්‍රකාශකයන් ලවා තමාගේ පොත් ප‍්‍රකාශයට පත් කරවාගෙන ලක්ෂ ගණනින් කර්තෘභාග ගත් අයද මේ පුද්ගලයා වටා රොක් වන්නේ ඔහු ලබාදෙන ප‍්‍රචාරය හා ප‍්‍රවර්ධනය නිසාය. ඕනෑම ආධුනික ලේඛක ලේඛිකාවක් වුවද සිය පළමු කෘතියෙන්ම ප‍්‍රවීණ කිරීමේ හා දොළහක්, පහක්, එකක් වශයෙන් තෝරන වටවලට තල්ලූකර ගැනීමේ දුම්මල වරම මේ ප‍්‍රකාශකයා සතු බව ඔවුන් මනාව දනී. මහාචාරීන්ගේ සිට තමාගේම අච්චු කන්තෝරු හා ප‍්‍රකාශන ආයතන ඇති ලේඛක ලේඛිකාවන්ද, වෙනත් ප‍්‍රකාශකයන් හා බැඳී සිටි ලේඛිකාවන්ද මොහු වෙතට ඇදී එන්නේ ඔහුගෙන් ස්වර්ණ පුස්තක ඉලක්කයට මාවත විවෘත වෙන බව ඔවුන් දන්නා නිසාය.

වත්මන් සාහිත්‍යයේ දක්නට ලැබෙන කෘතියක නිසග ගමන වළකා, ප‍්‍රකාශකයා කරන මේ විගඩම් සහගත මැදිහත්වීම එරික් ඉලයප්ආරච්චි සිය චයිනා ටවුම කෙටිකතා සංග‍්‍රහයේදී ‘පොත් බඳින්නා’ නමින් කෙටිකතාවක් ලියමින් සෝපහාසයට නංවා තිබේ. ”ලේඛන මහත්තයා අපිට ලියල දෙන්නකෝ ලබන අවුරුද්දෙ බණ්ඩාරනායක සම්මානෙ දිනන පොතක්*’ (96 පිටුව* යනුවෙන් මුද්‍රණාලකරුවා කරන මෙම ප‍්‍රකාශය තුළ හුදු ඉල්ලීමක් පමණක් නොව පොරොන්දුවක් ද ගැබ්ව තිබේ. එම පොරොන්දුව නම් පොත ප‍්‍රකාශයට පත් කිරීමට තමාට දුන්නොත් එම පොතට බණ්ඩාරනායක සම්මානය හෙවත් ස්වර්ණ පුස්තක සම්මානය දිනාදීමට තමාට හැකියාවක් ඇතිබවයි. බොහෝ ලේඛක ලේඛිකාවන් දැනට මේ ප‍්‍රකාශකයා වෙත දණගාගෙන එන ආකාරය දකිනවිට එවන් කෙටිකතාවක් ලියූ එරික් ඉලයප්ආරච්චි පවා ඉදිරියේදී ඔහු කරා ගියද අපට පුදුම නැත.

වෙනදා කොටස් වශයෙන් පුවත්පත්වල පළ වූ නවකතා ස්වර්ණ පුස්තකයෙන් ගිලිහී ගියේය. එහෙත් මෙවර ටෙලිනාට්‍ය පාදක කොටගත් නවකතා දෙවැනි වටයට තෝරා ඇති විටදී පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයට නීතිමය බාධා ඇතිවී නැත. මෙහිදී ග‍්‍රන්ථය නොව කතුවරයාගේ සිවිල් බලය ජයගෙන ඇති බව පැහැදිලිය. මීට පෙර මෙන් මෙවරත් අපි අනාවැකියක් කියමු. ස්වර්ණ පුස්තකයේ මධ්‍යම මණ්ඩලය, උත්තරීතර මණ්ඩලය සකසා ඇති ආකාරය අනුව සම්මානයෙන් ඔසවා තබන්නේ කාගේ කෘතිය ද යන්නයි. සදාචාරාත්මක හේතුමත එම නවකතාවේ නම මෙහිලා සඳහන් නොකරමු. එහෙත් මෙවර සිදුවන්නේද නවකතාවක් ස්වර්ණ පුස්තකවීම නොව විශ්වවිද්‍යාලයීය බැඳියාවන් ස්වර්ණ පුස්තකය වීමයි. මේ අමරණීය කීර්තියලත් වරප‍්‍රසාදය ඇත්තේ ලැයිස්තුවේ එක් පුද්ගලයකුට පමණි.

මධ්‍යම මණ්ඩලයේ සිටින යහපාලනවාදීන් දෙදෙනකුගේද, එක් විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරියකගේ ද තේරීම එම නවකතාව වන අතර උත්තරීතර මණ්ඩලයේ තුන්හතර දෙනෙකුගේ තේරීම ද එම නවකතාව වෙයි. මෙය ධාවකයාට ගැලපෙන පරිදි රේස් එකේ දුර තීරණය කොට විනිශ්චයකරුවන් හා ටයිම් කීපර්ලා පත්කොට තරගය පැවැත්වීමට සමානයි. උත්තරීතර මණ්ඩලයේ සභාපතිවරයා ද අද්‍යතන සාහිත්‍ය

ගැන කිසිවක් නොදන්නා හැටේ දශකයේ කල් ඉකුත්වූ සාහිත්‍ය සත්වයෙකි. කලකට ඉහතදී සමාජ විද්‍යාඥයකු හා අවසරය ලදවිට පැතිමාරු කළ විශ‍්‍රාමලත් දේශපාලනඥයකි. මීට පෙර එවන් සභාපතිවරුන් පත් කළ පොත් ප‍්‍රකාශන සංගමයට මෙය අරුමයක් නොවේ. වරක් එක් සභාපතිවරයකු පැවසුවේ ඔවුන් කියවිය යුත්තේ පොත් පහක් පමණක් බවයි. පොත් පහක් පමණක් කියවා වසරක සාහිත්‍යයේ මිණිමුතු සෙවීම තරම් ව්‍යාජයක් තවත් තිබේද?

රත්තනදෙණියේ මේධානන්ද හිමි
සංවාදයට විවෘතයි
සංස්කරණය – රුවන් ජයවර්ධන

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish