ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම් සභාවෙන් නිකුත් කරන ලද රෙගුලාසිවලට අනුකූලව රාජගිරිය ගුවන් පාලම විවෘත කිරීමේ කටයුතු සිදු කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනයේ මැතිවරණ නිරීක්ෂණ ඒකකය වන පොදුදේපළ රැකගැනීමේ වැඩසටහන (PPPR) රජයෙන් කාරුණිකව ඉල්ලා සිටී. එම රෙගුලාසි වලට අනුව, සංවර්ධන ව්‍යාපෘති මැතිවරණ ව්‍යාපාර ප්‍රවර්ධනයට භාවිතා නොකළ යුතු අතර, පෙබරවාරි 10 වන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන මැතිවරණයට පෙර රාජගිරිය ගුවන් පාලම විවෘත කරන්නේ නම්, මැතිවරණ රෙගුලාසි වලට අනුකූලව එම උත්සවය දේශපාලඥයින්ගේ හා දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් තොරව සිදු විය යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ව්‍යවස්ථාව ප්‍රකාරව 2017 නොවැම්බර් මස 28 වන දින මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිගේ අත්සනින් යුත් LAE/2018/4B අංකය දරන චක්‍රලේඛයේ සභාපතිවරයා මෙසේ සඳහන් කර ඇත. “මෙවැනි උත්සව පැවැත්වීමෙන් යම් පක්ෂයක්/කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමට හෝ වෙනත් පක්ෂයක්/කණ්ඩායමක්/අපේක්ෂකයකුට අගතියක් වන බවට පැමිණිලි ලැබිය හැකි හෙයින් මෙම ඡන්ද විමසීම් කාලය තුල එබඳු උත්සව අවස්ථා පැවැත්වීමෙන් වැළකී සිටීම යෝග්‍ය බව පෙන්වා දෙනු කැමැත්තෙමි.”

මෙවන් පසුබිමක රාජගිරිය ගුවන් පාලම විවෘත කිරීමේ උත්සවයද මැතිවරණ ව්‍යාපාර සඳහා භාවිතා විය හැකි හෙයින්, මැතිවරණ නීති වලට ගරු කරමින් අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් ජනතාවට සැපයීමට පියවර ගන්නා ලෙස PPPR ඒකකය බලයලත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. පොලිස්පතිතුමා ඇතුළුව නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත LAE/2018/4B චක්‍රලේඛයේ පිටපත් ඉදිරිපත් කර ඇති අතර, අදාළ නීති හා රෙගුලාසි අපක්ෂපාතිව ක්‍රියාත්මක කරන ලෙස PPPR ඒකකය ඉල්ලා සිටී.

මැතිවරණ නීති වලට ගරු කරමින් දේශපාලඥයින්ගේ හා දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් තොරව අදාලවිවෘත කිරීමේ උත්සවය පැවැත්විය හැකි බව නැවත අවධාරණය කරමු. ඡන්ද විමසීම් කාලය තුල අවධානයෙන් සිටින ලෙසත්, මැතිවරණ නීති උල්ලංඝණය වන ක්‍රියාවන් අනුමත නොකරන ලෙසත්, PPPR ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී. ඡන්ද විමසීම් කාලය තුල පොදු දේපළ අවභාවිතයට ලක් වීමේ අවස්ථා පිළිබඳව 0711350990 යන දුරකථන අංකය ඇමතීමෙන් හෝ pppr@tisrilanka.org ලිපිනයට විද්‍යුත් තැපැල් පණිවිඩයක් යොමු කිරීමෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා
ආයතනයේ පොදු දේපළ රැකගැනීමේ වැඩසටහනට (PPPR) වාර්තා කළ හැකිය.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.