ජෛව සොරකමේ අලුත්ම ගොදුර

සිංහරාජ වැසි වනාන්තරයෙන් ක්ලැඩොනොටස් (Cladonotus) ගනයට අයත් නව කුරු පළඟැටි විශේෂයක්, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව විදේශ පර්යේෂක කණ්ඩායමක් විසින් රැගෙන ගොස් ඉන්දියාවේ විද්‍යාඥයකුගේ නමින් නම් කර ප්‍රසිද්ධියට පත් කළ පුවතක්, පසුගිය 26 වැනිදා අනාවරණය විය. ඒ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන හා තරුණ සත්වවේදීන්ගේ සංගමය විසින් පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවකදී ය. මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමට තීරණය කළ අප ඒ පිළිබඳව නීතීඥ ජගත් ගුණවර්ධන, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී සූරියබණ්ඩාර හා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට අයත් ජෛව විවිධත්ව ආරක්ෂක ඒකකයෙන් විමසීමක් කළේය. මේ ඒ තොරතුරු අනුව සැකසුණ සටහනකි.

ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තරයෙන් ක්ලැඩොනොටස් (Cladonotus) ගනයට අයත් නව කුරු පළඟැටි විශේෂයක් ඉන්දියාවේ 28 හැවිරිදි ධනීස් භාස්කර් (Dhaneesh Bhaskari) නම් තරුණ විද්‍යාඥයකු නමින් නම් කර ඇත. ඒ අනුව මේ නව ශ්‍රී ලාංකික කුරු පළඟැටි විශේෂය ක්ලැඩොනොටස් භාස්කරෙයි Cladonotus Bhaskari (Sri Lankan twighopper) නම්වන බව ඉන්දියානු මාධ්‍ය පසුගිය අගෝස්තු 5 සහ 6 යන දෙදින වාර්තා කර තිබුණි. නමුත් අදාළ විද්‍යාත්මක පත්‍රිකාව කියවා බැලීමේදී මෙරට පරිසර නීතිවේදීන්ට සහ පරිසරවේදීන්ට සැකයට තුඩු දෙන කාරණා කිහිපයක් ඒ තුළ දෘෂ්‍යමාන විය. එහි සඳහන් ආකාරයට “මේ විශේෂය එම ගනයේ අනෙකුත් සියලු විශේෂයන්ට වඩා ප්‍රමාණයෙන් විශාල වීම සහ හිසේ තිබෙන විශේෂිත නෙරුමත් නිසා වෙනස් වන අතර, මේ එම ගනයේ නව විශේෂයක් වසර 116 පසු සොයාගැනීමක්ද වේ.

එලෙස ශ්‍රී ලංකාවෙන් සොයාගත් විශේෂයක් ඉන්දියානු විද්‍යාඥයෙකු වෙනුවෙන් නම් කිරීම ගැටලුවක් නොවේ. ඒ යම් විෂය ක්ෂේත්‍රයක ප්‍රවීණයකුට ගරු කිරීමක් එමඟින් සිදුවන බැවිනි. 

නමුත් මෙම සොයාගැනීමට අදාළ පුවත මෙන්ම,එහි විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවද පරිශීලනය කිරීමේදී ගැටලු රාශියක් මතුවන බව පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසයි. මේ සත්ත්වයා නම් කළ අය විසින් අදාළ නිදර්ශකය සොයාගෙන තිබෙන්නේ සිංහරාජ වනයෙන් නිසා මෙම පර්යේෂකයන්ට එම සතාගේ ගැහැනු සතෙකු එකතු කර,පිටතට ගෙනයාමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසර දී තිබුණා ද?, සතුන් එකතු කිරීම සඳහා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අවසරය තිබුණා ද?, සත්ව නිදර්ශකය අපනයනය පිණිස වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අවසරය තිබුණා ද? සංචාරකයන් ලෙස පැමිණ මෙසේ සතුන් එකතු කළ හැකිද? ඒ කුමන නීතිය යටතේ ද? මේ අය කිසිදු දේශීය විශ්ව විද්‍යාලයක් හෝ පර්යේෂණායතයක් මේ සඳහා සම්බන්ධ කරගෙන තිබේද?, මේ පර්යේෂකයන් මෙරට නීතිවලට අවනතව කටයුතු කර තිබේද? ආගන්තුක රටක නීති උල්ලංඝනය කිරීම විද්‍යාවේ නාමයෙන් සදාචාරාත්මක වේද?, නව සොයාගැනීමක් වූ පමණින් සහ එය ශ්‍රී ලංකාවේ වීම මත අප රටක් වශයෙන් ඉහත කරුණු නොතකා සිටිය යුතුද? යන්න පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන ප්‍රශ්න කරයි.

මෙකී පත්‍රකාව මා විසින්ද විමසා බැලූ අතර, ඒ තුළ මෙම කුරු පළඟැටියා සොයා ගැනීම සම්බන්ධයෙන් දායකත්වය ලබාදුන් මෙරට ජෛව විද්‍යාඥයකුගේ නම සඳහන් නොවීය. එසේම අඟලකට වඩා කුඩා සත්වයකු කෙනකු විසින් හිටි හැටියේ සිංහරාජයට පැමිණ සොයා ගන්නේ කෙසේද? යන්න පිළිබඳව ද ප්‍රශ්නයක් මතුවේ. අනෙක් අතට මෙම පළඟැටියා සොයා ගැනීම සම්බන්ධයෙන් නිකුත් කළ පත්‍රිකාවේ ස්තූතිය පළ කිරීමේදීවත් මෙරට කිසිවකුගේ නම ඒ තුළ සඳහන් නොවීමද පුදුම සහගතය. ඉන් පෙනී යන්නේ මෙම පර්යේෂණය සම්බන්ධයෙන් නිලවශයෙන් මෙරට කිසිදු අයකුගේ දායකත්වය නොලැබුණු බවය.

සාමාන්‍යයෙන් කිසිදු විදේශිකයකුට හෝ මෙරට පුරවැසියකුට මේ රටේ විද්‍යාඥයකුගේ සහය නැතිව සත්වයකු පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය හිමි නොවේ. එසේම එලෙස අවසරය ගැනීම සඳහා අනුගමනය කළ යුතු කාර්ය පටිපාටියක් ද තිබේ. ඒවා පූර්ණය නොකර කිසිවකුට මෙරට දී මෙවැනි පර්යේෂණයක නිරත විය නොහැකිය. ඒලෙස කටයුතු කරන්නේ නම් එය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත උල්ලංඝණය කිරීමකි.

මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් කළ සොයාබැලීමේදී අදාළ විද්‍යාඥයින් මෙහි නොපැමිණි බවට කරුණු අනාවරණය කරගෙන ඇත.එසේ නම් මෙම පළඟැටි විශේෂයේ වියළි නියැදියක් ලෙස කිසියම් අයකු විසින් ඔවුන් අතට පත් කළ යුතුය. මේ ආකාරයට විවිධ පාර්ශ්වවලට හෝ කණ්ඩායම්වලට වියළි සත්ව නියැදි ලබාදෙන පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනම් විමර්ෂණයක් සිදු කළ යුතුය. මන්දයත් මෙය ජෛව සම්පත් සොරකමක්වන බැවිනි. වෙනත් රටක අයකු අවසරයකින් තොරව තවත් රටක රක්ෂිතයකට ඇතුළු වී එවැන්නක් සිදු කළේ නම් එය සිදු කළේ කෙසේද යන්න වහා සොයා බැලිය යුතුය. ඒසේම ඔවුන්ට ඒ සඳහා අනුබල දුන්නේ කවුරුන්ද? යන්න සෙවිය යුතු වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය පවසන්නේ, මෙම නව පළඟැටි විශේෂය ක්‍රොඒෂියානු ජාතිකයකු විසින් ස්ලෝවැකියානු කණ්ඩායමකට බාරදී ඔවුන් විසින් මෙම කාර්ය සිදු කරන්නට ඇති බවට ඇතැම් කරුණු අනුව නිගමනය කළ හැකි බවය. මෙම සත්ව නියැදිය ඇතැම් විට මෙරට පර්යේෂකයකු විසින් හොර රහසේ මෙරටින් පිටතට රැගෙන යන්නට ඇති බවත්, එලෙස රැගෙන ගිය නියැදි විදෙස් පර්යේෂකයන් කණ්ඩායමකට අලෙවි කරන්නට ඇතැයි පරිසරවේදීන් සැක කරති.

කවරෙකුට හෝ සත්ත්වයන් පිළිබඳව අධ්‍යනයක් හෝ පර්යේෂණයක් සිදු කිරීමට අවැසි නම් එය කළ හැක්කේ තම ආයතනයේ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර ඇතිව බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර මහතා අප සමඟ පැවසීය. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාවට නංවන 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටත්ව එය කළ යුතුය. එසේම භූමියට ඇතුළු වීම සඳහා වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතුය. එවැනි අවසරයකින් තොරව කිසිවකුට එය කළ නොහැකිය. 2009 වසරේදී අවසන් වරට සංශෝධනයට ලක් වූ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත මඟින් ජාතික රක්ෂිත භූමි, අභයභූමි හා ඇතැම් අවස්ථාවල පෞද්ගලික ඉඩම්වල ඇති වෘක්ෂලතා හා එහි සිටින වන සතුන්ට පවා මින් ආරක්ෂාව සැලසේ. මීට අමතරව රක්ෂිතවලට පිටතදී සමහර වන සතුන් ආරක්ෂා කර ගැනීමට ද සමහර විශේෂවල වන සතුන් අපනයනය කිරීම වැනි කටයුතු පාලනය කිරීමටද මෙමඟින් විධිවිධාන සලසා දී තිබේ. තවද හඳුනාගත් නොගත් ආරක්ෂිත ශාක විශේෂයන් ආරක්ෂාව සඳහා ආදාළ විධිවිධාන හා නීතීන්ගෙන් ද මෙම ආඥා පනත සමන්විතය. එනිසා මෙයට පිටින් කිසිවකු හෝ කටයුතු කරයි නම් හෝ අනුබල දී ඇත්නම් මෙහි විධිවිධාන ප්‍රකාරව නඩු පවරා දඬුවම් කළ හැකිය.

මෙරට වෙනත් කුමන හෝ නීතියක් යටතේ ආයතනයට තහනම් කර ඇති යම් දෙයක්, හෝ භාණ්ඩයක් තිබේ නම් ශ්‍රී ලංකා රේගු ආඥා පනත යටතේ ඒවා මෙරටින් පිට කිරීමට ප්‍රථම අත් අඩංගුවට ගත හැකි බව එහි නිලධාරියකු අප සමඟ පැවසීය. ඒ අනුව රටේ කුමන නීතියක් යටතේ හෝ අපනයනයට හා ආනයනයට තහනම් කර ඇති කිසිවක් ගුවනින් හෝ නාවික ගමනාගමනය මඟින් ප්‍රවාහනය කිරීම කළ නොහැකිය. කිසිවකු විසින් එසේ කිරීමට උත්සාහ කළහොත් එය වළක්වා ඔවුන් අත් අඩංගුවට ගැනීමේ බලය මින් හිමි වේ. ඒ සඳහා විවිධ විෂයන් යටතේ පුහුණුවලත් විශේෂ ඒකක රේගු දෙපාර්තුමේන්තුව තුළ ස්ථාපිත කර ඇත. උදාහරණයකට ජෛව මංකොල්ලය වැළැක්වීම සඳහා යොදවා තිබෙන ජෛව විවිධත්ව ආරක්ෂක ඒකකය පෙන්වා දිය හැකිය. මින් වෘක්ෂලතා හා ජෛව පිටපත් අනවසරයෙන් පිට කිරීම හා ගෙන ඒම වළක්වාලනු ලබයි. මෙවැනි ක්‍රියාවකදී වැරදිකරුවකු බවට පත් වුවහොත් අදාළ භාණ්ඩයේ වටිනාකම මෙන් තුන්ගුණයක් හා රුපියල් ලක්ෂයක දඩ මුදලක් ඒකී තැනැත්තාට ගෙවීමට සිදු වේ. එසේම අවශ්‍ය නම් උසාවියකට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ හැකිය. එය අදාළ වරදේ ස්වභාවය අනුව තීරණය වන්නකි. එසේම තමන් වරදකරුවකු නොවේ නම් ඒ සඳහාද උසාවිය මඟින් කටයුතු කිරීමට ඔවුන්ට අස්ථාව සැලසේ. කිසියම් නීති විරොධී කටයුත්ත කර අසු වූ විට ඊට අනුබල දුන් සහ උදව් කළ අයටද දඬුවම් පැමිණවීමට ද මෙම ආඥාපනත මඟින් හැකිය. කිසියම් අවසරයක් යටතේ අනයනය සඳහා සූදානම් වූ දෙයක් වුවත් සැක සහිත නම් එය පරික්ෂා කර බැලීමට මේ නීතිය යටතේ හැකියාව ලැබේ. මෙකී කාර්යය සඳහා යොදවා ඇති නිලධාරීන් සිලුම දෙනා අදාළ විෂය සම්බන්ධයෙන් හොඳින් පුහුණුව ලැබූ අය වෙති.

මෙරටින් පළඟැටියා පිටවීම සම්බන්ධයෙන් පසු විපරම් කිරීමේ නීතිය යටතේ මේ වනවිට ජෛව විවිධත්ව ආරක්ෂක ඒකකය විසින් පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, එනිසා ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ලබාදිය නොහැකි බවය රේගු දෙපාර්තමේන්තු නිලධාරියා අප සමඟ පැවසීය.

එසේ වුවත් සමහරක් හොර රහසේ මෙරට ඇතැම් උදවිගේ සහය ඇතිව මෙවැනි ක්‍රියාවල නිරත වේ. එවැනි ක්‍රියා වැළැක් වීම සඳහා විවිධාකාරයේ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

වනජීවි නිලධාරීන්ගේ සහ රෙගු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මකවන ජෛව විවිධත්ව ආරක්ෂක ඒකකයේ කටයුතු කරන නිලධාරීන්ගේ කැපවීම ඉතා ඉහළ බව මෙහිදී සිහිපත් කළ යුතුය. ඔවුන් නිසා පසුගිය කාලයේ මෙවැනි ක්‍රියා බොහෝමයක් වැළකිණි.

කෙසේ හෝ මේ වන විට මෙම කුරු පළඟැටියාගේ වියළි නිධියක් මෙරටින් පිටව ඇත. යම් දෙයක් රටින් පිට වූ පසුව ඒ සඳහා නීත්‍යානුකූලව කටයුතු කිරීම දුෂ්කර කාර්යයකි. එනිසා මෙරට පුරවැසියන් වන ඔබ සියලු දෙනාද මෙවැනි ක්‍රියා මැඬ පැවැත්වීම සඳහා පෙරට ආයුතුය. එසේ නොවුනහොත් අපේ රටේ ජෛව සම්පත් නොරටුන්ට අයිතිවන දිනය වැඩි ඈතක නොවේ.


ජෛව පර්යේෂණ සඳහා අවසර ලබාදෙන ආකාරය

මෙරට පුරවැසියක් හෝ විදේශිකයෙක් කිසියම් අධ්‍යයනයක් හෝ පර්යේෂණයක් සඳහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පරිසර පද්ධතියකට ඇතුළු වන්නේ නම් තමන් කිරීමට බලාපොරොත්තුවන පර්යේෂණය පිළිබඳ වාර්තාවක් ඊට ප්‍රථම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදි අවසර ගත යුතුය. එනම් අවසර දෙකක් මේ සඳහා ගත යුතුය. ඒ සඳහා තමන් සිදු කරන පර්යේෂණය කුමක්ද? එය සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ කෙසේද? එය සිදු කරන ක්‍රමවේදය කුමක්ද? යනාදී වශයන් තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් සකස් කර මෙම ආයතන වෙත ලබාදිය යුතුය. එහිදී එම තැනැත්තා විදේශිකයකු නම් මෙරට විශ්වවිද්‍යාලයක් මඟින් හෝ පර්යේෂණ ආයතනයක් මඟින් මෙරට විද්‍යාඥයකු සම්බන්ධ කරගෙන ඉදිරිපත් කළ යුතුය. (ඒ අදාළ පර්යේෂණය සඳහා මෙරටට ඇති අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහාය.) අනතුරුව මෙකී පත්‍රිකාව විශේෂඥ කමිටුවකට ඉදිරිපත් කෙරෙන අතර, ඔවුන් විසින් විමර්ශනය කිරීමෙන් අනතුරුව අනුමත වන පර්යේෂණවලට පමණක් අවස්ථාව හිමිවේ.

3363

ආසාදිතයන්

3210

සුවය ලැබූ

140

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish