පාස්කු ප්‍රහාරය ගැන හේමසිරි ප්‍රනාන්දුගේ ප්‍රකාශය

“පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමේ වගකීම මම භාරගන්නේ නැහැ. මම මගේ වගකීම නිසි ලෙස ඉටුකළා. ප්‍රහාරයට පෙර ලැබුණ තොරතුරු මම පොලිස්පතිට ලබාදුන්නා’’ යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.

පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණ තොරතුරු ගැන ජනාධිපතිතුමාත් එතරම් සැළකිල්ලක් දැක්වූයේ නැති බවත්, තමන් පමණට වඩා කාර්යබහුල වූ බවත් පැවසූ හේමසිරි ප්‍රනාන්දු මහතා ආරාබි රටවලින් අරාබිපාසල් ආරම්භ කරන්න ලැබෙන මුදල් පවා කිසිම බාධාවකින් තොරව මුදාහරින්න යයි තමන්ට කියා තිබූ බවත් පැවසීය.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිසමේදී පසුගිය 19 වැනිදා සාක්ෂි දුන් හේමසිරි ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.

මට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ වගකීම වගේම අමාත්‍යංශයේ අයවැය පරිපාලන කටයුතුත් කරන්න සිදුවීම නිසා විශාල වගකීමක් පැවරුණා. මම කාර්ය බහුල වෙලයි හිටියේ.

ඒ කාලේ මුස්ලිම් ඇමතිවරුන්ගේ බලපෑම නිසා සංහිඳියාවට ප්‍රශ්නයක් වෙයි කියලා ජනාධිපතිතුමා මේ ලැබෙන තොරතුරු ගැන උනන්දු වුණේ නැහැ. ආරාබි රටවලින් අරාබිපාසල් ආරම්භ කරන්න ලැබෙන මුදල් පවා කිසිම බාධාවකින් තොරව මුදාහරින්න කියලා ජනාධිපතිතුමා කියලා තිබුණා.

ප්‍රශ්නය – ඔබ ඒ ලැබුණ තොරතුර ගැන ජනාධිපති දැනුවත් නොකළේ ඇයි?

පිළිතුර. – මටත් වඩා ජනාධිපතිට සමීපව සිටියේ රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනයි. ඔහු ඊට පෙරත් බුද්ධි වාර්තා සෘජුවම ජනාධිපතිට යොමුකර තිබුණා. සමහර වෙලාවට මට හිතුණේ රාජ්‍ය බුද්ධි ප්‍රධානී මටත් වඩා ඉහළින් ඉන්නවා කියලයි. ඒ නිසා මේ තොරතුර නොදී ඉන්න ඇති කියලා හිතන්න වුවමනාවක් මට තිබුණේ නැහැ.

ප්‍රශ්නය – එහෙත් ආරක්ෂක ලේකම් ලෙස ඔබේ වගකීමක් තිබෙනවා නේද ජනාධිපතිට මේ තොරතුර දැනුම් දීමට.

පිළිතුර- නැහැ. ඒක මගේ වගකීමක් නෙවෙයි.

ප්‍රශ්නය- රාජ්‍ය බුද්ධි ප්‍රධානී වගකිව යුත්තේ ඔබට නේද?

පිළිතුර – එහෙම දෙයක් කොතනකවත් සඳහන් වෙලා නැහැ. මා දන්නා පරිදි ඔහු වගකියන්නේ ආරක්ෂක ඇමතිට.

ප්‍රශ්නය – ඔබ නේද ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්? එහෙම නම් ඔබ නේද ඔහුගේ වගකිවයුතු නිලධාරියා?

පිළිතුර – ඒත් ඔහු මට එවැනි ආකාරයකට සැළකුවේ නැහැ. ඔහු සෘජුව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂට, පොලිස්පතිට, සමහර වෙලාවට ජනාධිපතිට ලිපි යොමු කළා. සමහර දේවල් මට කියන්නෙත් නැහැ. කාත්තන්කුඩියේ යතුරුපැදියක් පිපිරිම සම්බන්ධයෙන් කළ සම්පූර්ණ වාර්තා මට දුන්නේ නැහැ. අනෙක් හැමෝටම යවලා තිබුණා.

ප්‍රශ්නය – ආරක්ෂක ලේකම් ධූරයට ඔබ පත් වුණේ කවදාද?

පිළිතුර – ස්වාමීනි මම ආරක්ෂක ලේකම් වුණේ නැහැ. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වුණා පමණයි.

ප්‍රශ්නය – මොකක්ද ඔය දෙකේ වෙනස? සාමාන්‍යයෙන් අගමැති කාර්යාලයේ ලේකම්ට අපි කියන්නේ අගමැති ලේකම් කියලා. ජනාධිපති කාර්යාලයේ ලේකම්ට කියන්නේ ජනාධිපති ලේකම් කියලා. එහෙම තමයි හඳුන්වන්නේ. එහෙම නේද?

පිළිතුර – ඒ දෙකේ වෙනසක් තිබෙනවා කියලයි මම හිතන්නේ.

ප්‍රශ්නය – හරි ඔබ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්වුණේ කවදාද?

පිළිතුර – 2018 ඔක්තෝබර්වල. මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිකමින් දින පනස්දෙකේ ආණ්ඩුව පත් කළාට පස්සේ තමයි මාව පත් කළේ.

ප්‍රශ්නය- ඔබ ආරක්ෂක කවුන්සිලයට සම්බන්ධ වුණා නේද?

පිළිතුර- ඔව්.

ප්‍රශ්නය – හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත් එම රැස්වීම්වලට සම්බන්ධ වුණාද?

පිළිතුර – මම පත්වුණාට පස්සේ එක ආරක්ෂක කවුන්සිල රැස්වීමකට විතරයි ඔහු සම්බන්ධ වුණේ.

ප්‍රශ්නය – ඇයි ඒ?

පිළිතුර – දවසක් ආරක්ෂක කවුන්සිල රැස්වීමක දී එකල හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණවර්ධන මහතා කිව්වා සීඅයිඩි එකේ නිශාන්ත සිල්වා තමන්ව අත්තනෝමතික විදිහට අත්අඩංගුවට ගන්න හදනවා කියලා. ඒ වෙලාවෙම ජනාධිපතිතුමා පොලිස්පතිතුමාට කිව්වා නිශාන්තව මාරු කරන්න කියලා. ජනාධිපතිතුමා කියපු දෙයක් නොකර බැරි නිසා පූජිත මහතා පොලිස් කොමිසමටත් දැනුම් දී නිශාන්තව මීගමුවට මාරු කළා. දවස් තුනකට පස්සේ ජනාධිපතිතුමා මගෙන් ඇහුවා කාගෙන් අහල ද නිශාන්තව මාරු කළේ කියලා. මම කිව්වා සර්මනේ කිව්වේ කියලා..  ‘මම එහෙම කිව්වේ නැහැ’ කියලා දඩස් ගාලා එතුමා ෆෝන් එක තිබ්බා. මම පසුව ජනාධිපතිතුමා හමුවෙන්න ගිය වෙලාවේ කිව්වා බලන්නකෝ ලේකම්තුමා මෙයා පොලිස් කොමිසමටත් ලියලා, ආරක්ෂක කවුන්සිලය රෙෆරන්ස් දාලා. ආයේ පොලිස්පතිව ගෙන්නන්න එපා කියලා එතුමා මට නියෝග කළා. මම එතනින් පස්සේ ඔහුට ආරක්ෂක කවුන්සිල රැස්වීම් දැනුම් දුන්නේ නැහැ.

ප්‍රශ්නය- හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ රැස්වීම්වලට ආවා ද?

පිළිතුර – නැහැ. මම සම්බන්ධ වුණාට පස්සේ ජනාධිපතිතුමාට කිව්වා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ලෙස හිටපු කාලෙත් රනිල් මහතා අගමැති ලෙස ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වානේ කියලා. ජනාධිපතිතුමා කිව්වා ඒ කාලේ කළාට දැන් ඕන නැහැ කියලා. ඉතිං මම එයාලට රැස්වීම දැනුම් දුන්නේ නැහැ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහත්වරුනුත් මේ රැස්වීම්වලට කැඳෙව්වේ නැහැ.

ප්‍රශ්නය – සහරාන්ලා ගැන ඔබට අවදානමක් දැනිලා තිබුණේ නැද්ද?

පිළිතුර – මම පහුගිය කාලේ පැවැත්වුණ බුද්ධි සමාලෝචන රැස්වීම්වල වාර්තා සියල්ල ආපහු කියවා බැලුවා. ඒ කිසිවක ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ඇඟවෙන තොරතුරු කිසිවක් අඩංගු වෙලා නැහැ. ආරක්ෂක කවුන්සිලයේ පවා වැඩිපුර කතා කරලා තියෙන්නේ මධූෂ්ලා, කංජිපානිලා අත්අඩංගුවට ගන්නේ කොහොමද කියන එක ගැනයි. රාජ්‍ය බුද්ධි සේවයෙන් ලැබෙන තොරතුරත් නිකම්ම තොරතුරු විතරයි.

ප්‍රශ්නය – ඔබට රාජ්‍ය බුද්ධි සේවයෙන් ලැබෙන තොරතුරු බුද්ධි තොරතුරු ලෙස පිළිගත හැකි ඒවා නොවන බවත් ඒවා හුදු තොරතුරු පමණක් බවත්  ඔබ කිව්වා. ඒ ගැන ඔබ ජාතික බුද්ධි ප්‍රධානී සමග කතා කළා ද?

පිළිතුර – ඔව්. මම ඔහුට ඒගැන බලන්න කිව්වා. ඒක එයාගේ වගකීමක්. ඒත් ඔහු වැඩ කළේ කලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව. ඔහුට මේ බුද්ධි ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීමක් නැහැ. බුද්ධි තොරතුරු විශ්ලේෂණය කරගත හැකි විශේෂඥ දැනුමක් ඔහුට තිබුණේ නැහැ. ඒ බව වරක් ඔහුම මා සමග කිව්වා.

ප්‍රශ්නය – එවැනි තනතුරකට සුදුසු නොවන අයෙක් පත්කිරීම ගැන ඔබ ජනාධිපති සමග කතා කළේ නැද්ද?

පිළිතුර – එවැනි දෙයක් කතා කරලා තේරුම් කර දිය හැකි තත්ත්වයක ඔහු සිටියේ නැහැ.

ප්‍රශ්නය – ඔබ ජනාධිපතිතුමාව අවතක්සේරු කරනවා ද?

පිළිතුර – අවතක්සේරු කිරීමක් නෙවෙයි. මා කලිනුත් ප්‍රකාශ කර තිබෙනවා වගේම අප අතර සුහදතාව බිඳවැටී තිබුණ නිසා මෙවැනි දේ කතා කිරීමට නොහැකියි. මම ඉල්ලා අස්වීම භාරදෙන්න ගිය දවසෙත් ඇහුවා පාස්කු දින ප්‍රහාරයේ වගකීම භාරගන්න ඕන මම ද? පූජිත ද? නිලන්ත ද? කියලා. ජනාධිපතිතුමා උත්තරයක් දුන්නේ නැහැ. මම කිව්වා නිලන්තනේ ඔබතුමාට සමීපව කටයුතු කළේ කියලා. ඒ වෙලාවේ නිහඬව බිම බලාගෙන හිටියා. මම කිව්වා ආරක්ෂක ලේකම්ට අඩුම තරමින් විනාඩි දහයක් වත් ඔබතුමා සමග කතාකරන්න ඉඩ දෙන්න කියලා. මම ඉල්ලා අස්වෙන බව කියලා නැවතත් කිව්වේ මේ අමාත්‍යංශය පවත්වාගෙන යන්න නම් මගෙන් පසුව පත්වෙන ලේකම්වරයාට අඩුම තරමින් පැය භාගයක්වත් ඔබතුමා සමග කතා කරන්න ඉඩ දෙන්න කියලා.

ප්‍රශ්නය- ඔබ කියනවානේ බුද්ධි සමාලෝචන රැස්වීම් වාර්තාවලත්, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකගේ වාර්තාවලත් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට වන තොරතුරු ඇතුළත් වුණේ නැහැ කියලා.

පිළිතුර- ඔව්. ඒවා නිකම්ම නිකම් තොරතුරු විතරයි.

ඉන්පසු කොමිසම ඔහු වෙත ලේඛන දෙකක් ඉදිරිපත් කරනු ලැබිණ. “හොඳයි ඔබ මෙන්න මේ ලේඛන කියවන්න. මේ කොමිසමටත් ඇහෙන්න“ යයි හේමසිරි ප්‍රනාන්දු මහතාට දන්වන ලදි.

ඔහු එම ලේඛන කියවූ අතර ඒවායේ ඇතුළත් වුයේ 2019 අප්‍රේල් 16 වැනිදා කාත්තන්කුඩියේ යතුරුපැදියක් පිපිරීම සම්බන්ධයෙන් වන තොරතුරු හා සහරාන්ලාගේ තවත් ක්‍රියාකාරකම් පිළිබඳවය. අනෙක් ලිපියේ අඩංගු වූයේ සහරාන්ලා අයිඑස් මතවාදය අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන ආකාරයයි. ජිහාඩය වෙනුවෙන් අන්‍යාගමිකයන් ඝාතනය කළ යුත බවට වන දැඩි වචන එහි ඇතුළත් විය.

කිතුණුවන්ගේ පූජාසනය ලෙයින් නැහැවිය යුතු බවට මුහුණු පොත්වල සඳහන් බවද එහි සඳහන් විය. එසේම මෙවැනි මත දරන විදෙස් සිසුන් ලංකාවට පැමිණිමේ තර්ජනය ගැනද මොවුන්ගෙන් ඕනම අවස්ථාවක ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බව ද එම ලිපිවල අඩංගු විය.

ප්‍රශ්නය- මේවා කියවනකොට වත් දැනුණේ නැද්ද රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් තියෙනවා කියලා.

පිළිතුර – නැහැ. මේවා නිකම් තොරතුරු විතරයි. නිශ්චිත බවක් ඒවායේ තිබුණේ නැහැ. අප්‍රේල් හත්වැනිදා තොරතුර වුණත් නිශ්චිත නැහැනේ. එවැනි වාර්තා ඊට පෙර වසරේදීත් ලැබී තිබුණා. එහෙත් ප්‍රහාරයක් එල්ල වුණේ නැහැනේ.

ප්‍රශ්නය – ඔබට මෙවැනි වාර්තාවක් ඊට පෙර වසරේදීත් ලැබී තිබුණ බව දැන ගන්න ලැබුණේ කවද්ද?

පිළිතුර – මම රිමාන්ඩ් එකේ ඉන්න කාලේ.

ප්‍රශ්නය – එහෙම නම් හත්වැනිදා වාර්තාව ලැබෙන කොට ඔබ දැන සිටියේ නැහැනේ ඊට පෙරත් මේ වගේ දේවල් කියලා තිබුණා. ඒත් එහෙම දෙයක් වුණේ නැහැ කියලා.

පිළිතුර – නැහැ. ඒත් මේ තොරතුරුවල නිශ්චිත බවක් තිබුණේ නැහැ.

ප්‍රශ්නය – රාජ්‍ය බුද්ධි ප්‍රධානී 20 වැනිදා හවස ඔබට දැනුම් දුන් බව කියනවා “හෙට ගහනවා” කියලා ලැබුණ තොරතුරක් ගැන?

පිළිතුර – ඔව්, ඔහු මට වට්ස්අප් කරලා ඒ තොරතුර එවා තිබුණා. මම ඔහුට කිව්වා මේ ගැන පොලිස්පති සමග කතා කරන්න කියලා. මමත් පූජිතට මේ ගැන කිව්වා. ඒ වෙලාවේ ඔහු කිව්වා මම දැන් මේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දෙන ගමන් ඉන්නේ කියලා.

ප්‍රශ්නය – ඔබ තොරතුරු ගැන අගමැතිවරයාට හෝ ආරක්ෂක රාජ්‍ය ඇමතිට දැනුම් දුන්නා ද?

පිළිතුර – නැහැ. ඔවුන් සමග කතාකිරීමත් ජනාධිපතිතුමා අපට තහනම් කරලයි තිබුණේ

ප්‍රශ්නය – ඔබ ඒ දවස්වල මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා ‘‘ගහනවා කියලා දැනගෙන හිටියා. ඒත් මේ තරම් දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ’’ කියලා.

පිළිතුර – ඒ වෙනකොට මම පැය 48 ක් විතර එකදිගට මහන්සි වෙලා නිදිමරලා හිටියේ. ඒ නිසා මාධ්‍යයට මොනවා කිව්වා ද කියලා මට මතක නැහැ.

ප්‍රශ්නය – ඒත් ඔබ පැය 48 ක් නිදිවරපු බවක් පෙනුණේ නැහැ. බොහොම ෆ්‍රෙෂ් පිට ඉන්නවා වගේ තමයි පෙනුණේ.

පිළිතුර – මට ෆ්‍රෙෂ් එකක් ආවා, අහපු ප්‍රශ්නවලට කේන්ති ගිය නිසා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.