සහරාන්ලාගැන විවෘත විමර්ශන නොකරන්නැයි හිටපු ජනපති මට කිව්වා

සහරාන්ලා ඇතුළු අන්තවාදීන් පිළිබඳ විවෘත විමර්ශන නොකරන්නයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මට උපදෙස් දුන්නා. ඒ විමර්ශන නිලන්ත මොනිටර් කරයි කියලා ඔහු මට කිව්වා. ඒ නිසා එතනින් පසු අපි ඒ ගැන සෙව්වේ නැහැ යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසම හමුවේ පැවසීය. ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ දෙවැනි දිනටත් (23 වැනිදා) සාක්ෂි දෙමිනි.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ පූජිත් ජයසුන්දර මහතා මෙසේ සාක්ෂි ලබාදුන්නේය.

ප්‍රශ්නය- ඔබ ආරක්ෂක කවුන්සිලය නියෝජනය කළේ කුමන අවශ්‍යතාවක් මතද?

පිළිතුර- මම එහිදී පෙර සතියේ විශේෂ අපරාධ, දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් වන වාර්තාවක් ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළා. ඒ වගේම බුද්ධි අංශ විසින් ඉදිරිපත් කරන තොරතුරුවලින් පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට අදාල දේවල් ගැන අවධානය යොමු කළා.

ප්‍රශ්නය – ඔබට ආරක්ෂක කවුන්සිලයට යන්න බැරි වුණේ කවදා සිටද?

පිළිතුර – 2018 ඔක්තෝබර් 23 වැනිදා හවස ආරක්ෂක කවුන්සිලය පැවැත්වීමට නියමිතව තිබුණා. මම එයට සූදානමින් සිටියත් මට රැස්වීම ගැන දැනුම් දුන්නේ නැහැ. ඒ නිසා මම ඒ කාලේ ආරක්ෂක ලේකම් වුණ කපිල වෛද්‍යරත්න මහතාට කතා කරලා ඒ ගැන ඇහුවා. ඔහු කිව්වා “ඔයාට මට කියාගන්න බැරුව හිටියේ ඔයාට එන්න එපා කියන්න කියලා ජනාධිපතිතුමා කිව්වා” කියලා. මම ඒ ඇයි කියලා ඇහුවේ නැහැ. ඒත් මට ඒ වෙලාවේ සිත රිදීමක් වුණා. පසුව එය මම සමනය කර ගත්තා.

ප්‍රශ්නය:- එසේ කියන්න හේතුව කුමක්ද කියලා එදා නොදැන සිටියත් දැන් දන්නවා ඇතිනේ. ඒ ගැන කියන්න පුළුවන්ද?

පිළිතුර- මේකට හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට ලබාදුන් ස්ථාන මාරුවයි. ඒ ස්ථාන මාරුව මම ලබාදුන්නේ ජනාධිපතිතුමාගේම නියෝගයක් මතයි.

නිශාන්ත සිල්වා කියන්නේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සම්බන්ධයෙන් සහ තවත් අපරාධ සම්බන්ධ බොහෝ විමර්ශන සිදුකළ නිලධාරියෙක්. ඔහු මාරු කරන්න කියලා ජනාධිපතිතුමා මට කිව්වා. මම මේ ගැන ඒ කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සමගත් කතා කළා. පසුව ඔහු සමගම ජනාධිපති මුණගැසෙන්නට ගොස් මේ නිලධාරියා සම්බන්ධයෙන් කිසිම විනය ප්‍රශ්නයක් හෝ කිසිවකුගෙන් පැමිණිල්ලක් ඉදිරිපත්ව හෝ නැති බවත් එවැනි අයෙක් මාරු කිරීමෙන් ගැටලු රැසක් මතුවිය හැකි බවත් පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ ඊට එකඟ වුණා. ඒත් ජනාධිපතිවරයා විදෙස්ගතව සිටි වෙලාවක නැවත ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මට කතා කරලා කිව්වා අර මාරුවීම කරන්න කියලා ජනාධිපතිතුමා දැනුම් දුන්නා කියලා. ඉන්පසු මම පොලිස්කොමිසමටත් මේ මාරුකිරීමට හේතුව දක්වා ලිඛිතව දැනුම් දී ඔහු මීගමුවට මාරු කළා. ජනාධිපතිවරයා යළි ලංකාවට ආපු ගමන් මට කතා කරලා ඇහුවා ඇයි නිශාන්ත මාරු කළේ කවුද? එහෙම දෙයක් කරන්න කිව්වේ කියලා. මම කිව්වා ඔබතුමාමනේ කිව්වේ කියලා. ඒ පාර මම එහෙම දෙයක් කිව්වේ නැහැ. වහාම මේක වෙනස් කරන්න. මම ආරක්ෂක ලේකම්ටත් කතා කරන්නම්කෝ කියලා කිව්වා. පැය විසිහතරක් යන්නත් කලින් ඒ මාරුවීම ඒ විදිහට කැන්සල් කළා. එතනින් පස්සේ තමයි මාව ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වේ නැත්තේ.

ප්‍රශ්නය:- ඇයි මේ ස්ථානමාරුව පසුව වෙනස් කළේ? කාගේ හරි බලපෑමක් ඇති වෙලාද?

පිළිතුර:- මම පසුව දැනගත් විදිහට සජිත් ප්‍රේමදාස , මහින්ද අමරවීර ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මේ ගැන බලපෑම් කර තිබෙනවා.

ප්‍රශ්නය:- ඔබ මේ විදිහට ආරක්ෂක කවුන්සිලයට නොකැඳවීම මේ විනාශයේ පෙරළියේ ආරම්භය කියලා දැන් හිතෙන්නේ නැද්ද?

පිළිතුර:- ඒ විනාශයට මේකත් හේතුවන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම මේ අය ගැන අවධානය යොමු කළ යුතුව තිබුණා. 2012 , 2013 කාලයේ සිටම ඒ ගැන අවධානය යොමු නොකිරීම හේතු වුණා කියලයි මම හිතන්නේ.

ප්‍රශ්නය:- අන්තවාදීන් පිළිබඳ විමර්ශන සිදුකිරීමේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මොනවගේ දායකත්වයක්ද ලබාදුන්නේ?

පිළිතුර:- ඔවුන් අන්තවාදීන් ගැන විමර්ශන රැසක් සිදුකළා. බොහො තොරතුරු එකතු කරගෙන හිටියා. මම අවස්ථා කීපයකදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ජනාධිපති හමුවීමට එක්ක ගියා. ගිහින් සහරාන්ලා ගැනත්, මුස්ලිම් අන්තවාදය ගැනත් තොරතුරු ඉදිරිපත් කළා. එතුමා බොහොම සාවධානව ඒවාට ඇහුම් කන් දුන්නා. පසුව දවසක කිව්වා මේක මුස්ලිම් ජනතාව සම්බන්ධ ප්‍රශ්නයක්නේ. රජයෙත් මුස්ලිම් මැති ඇමතිවරු ඉන්නවා ඒ අයගෙන් බලපෑම් එන්නත් පුළුවන්. අනික මේ අය තවම අපේ රටේ කරන්නේ දේශන පවත්වන එක විතරයිනේ. වෙනත් රටවල්වල තමයි ගැටුම් ඇති වෙලා තියෙන්නේ. අපි අවුරුදු තිහක් යුද්ධයකට මුහුණ දුන්නා. නැවත ඒ වගේ තත්ත්වය ඇති වෙන්න එන නැහැ. මේ ගැන විමර්ශන ඉතාම පරිස්සමෙන් කරන්නකෝ කියලා කිව්වා. ඒත් පසුව දවසක මට ආරක්ෂක කවුන්සිලයේදීම ජනාධිපතිතුමා කිව්වා මේක හරි ප්‍රවේසමෙන් කරන්න ඕනෑ වැඩක්. ඒ නිසා පොලිසිය මේ අන්තවාදීන් ගැන විවෘත විමර්ශන කිරීම නවත්වන්න. ඒ වැඩේ නිලන්ත මොනිටර් කරයි කියලා.

ප්‍රශ්නය:- ඔබට රාජකාරි කරද්දී දේශපාලන බලපෑම් ඇති වුණාද?

පිළිතුර:- ඔව්. මුල් කාලයේදී නම් නෙවෙයි. 2017 අන්තිම සිට එවැනි බලපෑම් ඇති වුණා.

ප්‍රශ්නය:- ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඇති වූ විරසකය ඔබේ රාජකාරිවලදී බලපෑවේ කොහොමද?

පිළිතුර:- මේ විරසකය නිසා එකම කාරණාවක් සම්බන්ධයෙන් දෙන්නා කතා කරලා උපදෙස් දෙකක් දුන්නා. එහිදී මම ලොකු අපහසුතාවයට ලක්වුණා. මට මගේ රාජකාරියේදී සමබරතාව පවත්වාගෙන යන්න අමාරුවුණා.

ප්‍රශ්නය:- ඒ වෙලාවට ඔබ පිළිපැද්දේ කාගේ උපදෙස්ද?

පිළිතුර:- ජනාධිපතිගේ උපදෙස්.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.