ගාල්ල කොටුවේ තිබී පැරණි ගල් අඟුරු වළක් හමුවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.

මෙම ගල් අඟුරුවල හමුවී ඇත්තේ ගාල්ල කොටුවේ පෘතුගීසීන් විසින් ඉදිකරන ලද කළු කොටුව නැමැති කො‍ටසිනි.

ලෝක බැංකු සහන ණය ආධාර යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් මේ දිනවල ගාල්ල කොටුවේ සිදුකරන සංරක්ෂණ කටයුතු අතරතුර මෙම ගල් අඟුරුවල හමුවී තිබේ. වාස්තු විද්‍යාඥ ආචාර්ය නිලාන් කුරේ මහතාගේ උපදේශකත්වයෙන්  මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.  ගාල්ල පැරණි පෘතුගීසි කොටුව හෙවත් කළු කොටුවේ පැති බැම්මේ පිහිටි ඕලන්ද ගොඩනැගිල්ලක පොළොව සංරක්ෂණය සිදුකරන අතරතුර එහි ගල් අඟුරු ඇති බව සොයාගෙන ඇත. ඒ අනුව ආචාර්ය කුරේ මහතා ආචාර්ය නිමල් පෙරේරා මහතා දැනුම්වත් කිරීමෙන් පසු එහි කැණීමක් සිදුකර තිබේ.

ආචාර්ය පෙරේරා මහතා පවසන්නේ මෙම ගල් අඟුරු වළ හමුවූ ස්ථානයේ ඇති පැරණි ඕලන්ද ගොඩනැගිල්ල සිර මැදිරියක් ලෙස ද භාවිතා කර ඇති බවයි. එය සිර කුටි කිහිපයකින් සමන්විත අතර ගොඩනැගිල්ලේ එක් කොටසක් කඩා වැටී ඇත. ආලින්දයක් ද සහිත මේ ගොඩනැගිල්ලේ ඇති එක් සිර මැදිරියකින් මෙලෙස ගල්අඟුරු හමුවී තිබේ.

ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ අදහස වන්නේ මෙම ස්ථානයේ ආයුධ නිෂ්පාදනය කරන ස්ථානයක් තිබෙන්නට ඇති බවයි. එය පෘතුගීසි පාලන කාලයේ දී හෝ ඕලන්ද ජාතිකයන් විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර තිබූවක් වියහැකි බවත් පසුව ගොඩනැගිල්ල ඉදිකිරී‍මේ දී ශේෂ වී තිබූ ගල් අඟුරු කොටස් ගොඩනැගිල්ලට යටවන්නට ඇති බවත් ඔහුගේ අදහසයි.

” මේ ගල් අඟුරු අතර පිළිස්සී ගිය දැව කොටස් තිබෙනවා. ඒ නිසා පැහැදිලිවම මේවා දහනය කළ බව තහවුරු වෙනවා. ගල් අඟුරු ඉවත් කළ විට එම ස්ථානයෙන් කවාකාර වළක් මතුවී තිබෙනවා. එය ආයුධ සෑදීම සඳහා උඳුනක් ලෙස භාවිතා කළාද කියා නිශ්චිතව කිව නොහැකියි. නමුත් එම ස්ථානයේ පොළොවේ පැල්මක් ද දක්නට ලැබෙනවා. එම පැල්ම දිගටම තිබෙනවා ද කියා අප ඉදිරියේ දී සොයා බැලිය යුතුයි. ගල් අඟුරු සමඟ දහනය වූ දැව කොටස් තිබෙන නිසා එමගින් අපට මේ දහනය කිරීම් සිදුකර තිබෙන්නේ කවර වර්ෂයක දී ද කියා සොයාගත හැකියි. ඒවා කාලනීර්ණය සඳහා යොමු කරනවා. කළු කොටුව පෘතුගීසීන්ගේ නිර්මාණයක් වුණාට මේ ගොඩනැගිල්ල පැහැදිලිව ම ඕලන්ද ජාතිකයන් විසින් සෑදූ එකක්. ඇතැම් විට මේ ගල් අඟුරු පෘතුගීසි ජාතිකයන් විසින් භාවිතා කරන්නට ඇති. නැතිනම් ඕලන්ද ජාතිකයන් ගොඩනැගිල්ල සෑදීමට පෙර මේ ස්ථානයේ ගල් අඟුරු දහනය කළා වෙන්නත් පුළුවන්.”

පුරාවිද්‍යාඥයන් පවසන්නේ මෙම ගල් අඟුරු ඉන්දියාවේ හෝ අප්‍රිකාවේ සිට මෙරටට ගෙන එන්නට ඇති බවයි. ගල් අඟුරු පෘතුගාලය හෝ ඕලන්දය වැනි දුර බැහරක සිට ගෙන එනවාට වඩා ඉන්දියාව වැනි ස්ථානයකින් ගෙන ඒම පහසුවක් වූ බව ද ඔවුන්ගේ අදහසයි.

මෙහි වැඩිදුර පර්යේෂණ කටයුතු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී අධිකාරී යන මහත්වරුන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සිදුවෙයි.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.