මම දන්නේ නැහැ. මට කිව්වේ නැහැ – මෛත්‍රීපාල සිරිසේන

හිටපු ජනාධිපතිවරයෙකු වන තමන්ව ජනාධිපති කොමිසමක් වෙත කැදවීමට හැකිවූයේ ජනාධිපතිවරයෙකු සතු මුක්තිය දහනව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් තමන් විසින් ම ඉවත් කරගත් නිසා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.   පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම් හමුවේ පළමු වරට සාක්ෂි ලබා දෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ. කෙසේ වෙතත් ප්‍රහාරයට පෙර ලද බුද්ධි තොරතුර පිළිබද තමන් එක දුරකථන ඇමතුමකින් හෝ දැනුවත් කළානම් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබුණු බව හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පෙරවරු 9.40 ට පමණ හිටපු ජනාධිපතිවරයා කොමිසම් සභා පරිශ‍්‍රය වෙත පැමිණි අතර හිටපු ජනාධිපතිවරයාගේ සාක්ෂි විමසීම සවන්දීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේන් රාඝවන් මහතා ද එක්ව සිටියා.

එමෙන්ම කොමිසම ඉදිරියේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් ද කොමිසමට වෙත අද පැමිණ සිටියා.

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය
මීට පෙර ඔබ අධිකරණයක් ඉදිරියේ සාක්ෂි ලබාදීලා තියෙනවද? හිටපු ජනාධිපතිවරයා – නැත ස්වාමීනි

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය – පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයා බැලීමට පරීක්ෂණ කමිටුවක් ඔබ පත් කළාද?
හිටපු ජනාධිපතිවරයා – පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වනවිට මම හිටියේ සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබමින්. රෝහලෙන් පිටවී මම රැදී සිටි හෝටලයට එනවත් එක්කම තමයි මගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා මට මේ ගැන කිව්වෙ පස්සෙ මම හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට කතා කරලා රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාම ඇදිරිනීතිය පැනවීම සහ ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වහාම ක‍්‍රියාත්මක වෙන්න කියලා උපදෙස් දුන්නා.

ප‍්‍රහාරය වුනේ කොහොමද කියලා හොයල බලන්න කමිටුවක් පත් කරන්න මම හිතුවෙ සිංගප්පූරුවෙ ඉදලමයි. ජනාධිපති ලේකම්වරයට මම කිව්වා වහාම මේ පිළිබද හොයල සති දෙකකින් වාර්තාවක් දෙන්න කියලා. කලින් දවසෙත් රෝහල් ගත වෙලා හිටපු හින්දා මගේ සෞඛ්‍ය තත්ත්වය ඒ තරම් හොද මට්ටමක තිබුණේ නැහැ. පිපිරීම සිද්ද වෙච්ච දවසේ ? දහයට විතර තමයි ලංකාවට එන්න ෆ්ලයිට් එකක් ලැබුණේ. පහුවෙනිදා ජාතික ආරක්ෂක කවුන්සලය කැදවලා තිබ්බා. ඒකෙදි ප‍්‍රහාරය ගැන හොයන්න පත් කරපු ජනාධිපති පරීක්ෂණ කමිටුවේ සාමාජිකයින් පත්වීම් දුන්නා. ඒ තමයි මලල්ගොඩ කමිටුව. මලල්ගොඩ කමිටුවේ නිර්දේශ මත තමයි අද දවසේ මන් මේ සාක්ෂි දෙන ජනාධිපති කොමිසම් සභාව පත් කළේ.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය – යහපාලන රජයේ සිටි මුස්ලිම් මන්ත‍්‍රීවරුන් විසි දෙදෙනාගෙන් එකොළොස් දෙනෙක්ම අමාත්‍යධූර දැරීම පිළිබදව ඔබතුමා මොකද කියන්නේ.

පිළිතුර – එතකොට ද්විපාර්ශ්වික ආණ්ඩුවක්. මුස්ලිම් ඇමතිවරු හැම කෙනෙක්ම වගේ නියෝජනය වුනේ මගේ පැත්තෙන් නෙවෙයි. අනිත් පැත්තෙන්. 1978 ව්‍යවස්ථාවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ සහය ඇතිව අඩුම කාලයක් ආණ්ඩුව කරගෙන ගියේ මම. පාර්ලිමේන්තුව මට සහය දුන්නේ මාස හයක් විතරයි. එතනින් එහාට මට කියලා අගමැති කෙනෙක් ඇමති මණ්ඩලයක් හිටියේ නැහැ. මහ බැංකු අධිපති තනතුරට අර්ජුන් මහින්ද ව පත් කිරීම බැදුම්කර වංචාව වගේ සිද්ධීන් නිසා මම ආණ්ඩුව කරගෙන ගියේ අමාරුවෙන්. ඒ කාලේ ඇතැම් අවස්ථාවල ත‍්‍රිවිධ හමුදා නිලධාරීන් බුද්ධි අංශ නිලධාරීන් බොහෝමයක් අත්අඩංගුවට ගත්තා. ඒත් මම ඒවා මගහැරලා ආණ්ඩුව ඉස්සරහට ගෙනිච්චා. 2018 වෙනකල්ම පොලිසියත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මගේ යටතේ තිබ්බේ නැහැ.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය – 2017 මාර්තු 10 අලියාර් මං සන්ධියේ ඇති වූ ගැටුමෙන් පස්සේ වරෙන්තු නිකුත් කරලා තිබ්බ සහාරාන් හෂීම් ව අත්අඩංගුවට ගත්තේ නැත්තෙ ඇයි කියලා පොලිසියෙන් ඇහුවද?

පිළිිතුර – වරෙන්තු නිකුත් කරල තියෙන කෙනෙක්ව අත්අඩංගුවට ගන්න ජනාධිපති උපදෙස් දෙන්න ඕන නෑ. ඒක පොලිසියේ රාජකාරියක්.
ප‍්‍රශ්නය – ඒක ජනාධිපතිගෙන කාර්යයක් නෙවෙයිනම් ඔබ ඇයි පස්සෙ කාලෙක සහරාන්ව අත්අඩංගුවට ගන්න කියල කීවෙ
පිළිතුර – පසු අවස්ථාවක මන් එහෙම කිව්වා තමයි. ඒ වෙද්දි බුද්ධි අංශ මට වාර්තා කරලා තිබ්බා සහරාන් අයි එස් මතයට අනුව යමින් සිටිනවා කියලා. ඒ නිසයි මන් එයාව අත්අඩංගුවට ගන්න කියලා කීවේ.

ප‍්‍රශ්නය – ඔබ ඒ දුන්න උපදෙස අපේ‍්‍රල් 21 වෙනිදා වෙනකල්ම ක‍්‍රියාත්මක වෙලා තිබුණද?
පිළිතුර – පැහැදිලිව ම මන් දීපු උපදෙස ක‍්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ.
ප‍්‍රශ්නය – යුද සමයේදීවත් දවසකට බෝම්බ අටක් පිපුරුණා කියලා ඔබතුමා අහල තියෙනවද?

පිළිතුර – නැහැ මේ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක විය යුතුව තිබූ සියලූ අංශ විශාල ලෙස පසුබැහැල තිබ්බා. ප‍්‍රහාරය පිළිබද තොරතුර ලැබුණ අය ඒ සම්බන්ධයෙන් වහාම ක‍්‍රියාත්මක විය යුතුයි. මන් අපේ‍්‍රල් 16 වෙනිදා වෙනකල් ලංකාවේ හිටියා. හැබැයි මේ ගැන තොරතුරු ලැබිල තිබ්බේ අපේ‍්‍රල් 4 වෙනිදා. අට වෙනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ රැස්වීම් තිබ්බා. දොළොස් වෙනිදා මන් මඩකලපුවටත් ගියා. ඒ වෙලාවෙවත් මගේ ආරක්ෂක ප‍්‍රධානියා මට මේ ගැන කියලා තිබුණේ නැහැ. ඊට පස්සේ අවුරුද්දට සුභ පතන්න හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු දියතලාවෙ ඉදලම මාව හොයාගෙන ආවා. එතකොට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරත් ආවා. ඒ දෙන්නා ඇවිල්ලා මාත් එක්ක පැය දෙකක් විතර කතා කර කර හිටියා. දවල්ට කෑම කාලත් එක්ක තමයි ගියේ. එතනදිවත් මට මේ තොරතුරු ගැන කිව්වේ නෑ. මන් විදෙස්ගත වෙනකොට පූජිත එයාපෝර්ට් එකටත් ආවා. ඇවිල්ල සුභ ගමන් සර් කියල කිව්වා. එතකොටවත් මට මේ ගැන කිව්වානම් මන් විදෙස් සංචාරය නවත්වනවා. හතර වෙනිදා ලැබිච්ච බුද්ධි තොරතුර ගැන මට කිව්වෙ අපේ‍්‍රල් 22 වෙනිදා. මට මේක ගැන කිව්වෙ නැති එක තමයි ලොකුම ප‍්‍රශ්නෙ. ටෙලිෆෝන් කෝල් එකකින්වත් මට මේක කිව්වනම් මන් ප‍්‍රහාරය නවත්වනවා.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.