බස්නාහිර පළාතේ ඉහළම ‍ජෛව විවිධත්වයකින් යුත් තෙත් බිම මෙන් ම අභය භූමිය ද වූ ‘මුතුරාජවෙල’ වනාහි 1802 ට පෙර මුළු බස්නාහිරටම අවශ්‍ය සහල් දුන් සරු වෙල්යායකි. පසු කාලයේදී මේ අභය භූමිය හරහා සකස් කළ හැමිල්ටන් ඇළ හා ඕලන්ද ඇළ නිසා මුතුරාජවෙලට කරදිය කාන්දුවී එහි කුඹුරු අස්වැද්දුම අසීරු වී ඇත. ඒ නිසා මේ ප්‍රදේශයේ කුඹුරු සියල්ලම වාගේ දැන් වල් බිහිවී ඇත. ඒ නිසාම දැන් මුතුරාජවෙල ඉහළ ජෛව විවිධත්වයක් පෙන්නුම් කරයි.

 

අක්කර 7580 ක විශාලත්වයකින් යුක්තව තිබූ මේ අභය භූමි විටින් විට අනවසර අල්ලාගැනීම් කුණු කසළ දැමීම් ආදිය නිසා දැන් පාරිසරික තර්ජනවලට ලක්වී ඇත. මේ නිසා මුතුරාජවෙල අභය භූමිය ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගැසට් කර ඇත්තේ අක්කර 2560 ක් පමණි.

මොන තර්ජන තිබුණත් තවමත් මෙහි ජෛව විවිධත්වය ඉහළම මට්ටමක පවතී. අපේ රටේ ඇති ප්‍රධාන තෙත් බිමක් මෙන් ම රම්සා සම්මුතියට අයත් තෙත් බිමක් වූ මුතුරාජවෙල වනාහි කොළඹට නුදුරුව ඇති පාරිසරික සෞන්දර්යයෙන් අනූන වූ පාරිසරික සංවේදී කලාපයකි. මුතු මෙන් වටින පාරිසරික කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රවලට ක්ෂේම භූමියක් වූ මුතුරාජවෙල සුරැකීම පරිසරයට ආදරේ කරන හැමගේ යුතුකමකි.

බටහිර වෙරළ තීරය දිගේ පැතිරුණු උතුරින් මීගමු කළපුවත්, දකුණින් කැලණි ගඟත්, බටහිරින් වෙරළ තීරයෙන් හා නැගෙනහිරින් කොළඹ – මීගමු ප්‍රධාන මාර්ගයෙන් ද සීමා මායිම්ව පිහිටා ඇති මුතුරාජවෙල ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය අතින් අනූන බිමකි. මීගමු කලපුවත් එක්ව ගත් කල මුතුරාජවෙල වගුරු බිම හෙක්ටයාර දස දහස් ගණනක් පුරා ව්‍යාප්තව පවතී.

මුතුරාජවෙල තෙත් බිම ඉතා‍ ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත පරිසර පද්ධතියකි. එබැවින් මෙහි වෙසෙන සියොතුන් අතර දේශීය මෙන් ම විදේශීය පක්ෂීන් ද වේ. මෙය කිවුල්දියට ම ආවේණික වූ කඩොලාන පරිසරයකින් ද, විවිධාකාර සියොතුන් හා උභය ජීවීන්ගෙන් ද, විවිධ කෘමි විශේෂ හා ජලජ පැළෑටිවලින් ද ස්වයංපෝෂිත වූ තෙත් බිමකි.

මෙම ප්‍රදේශය මත්ස්‍යයන් හා ඉස්සන්ගේ අභිජනන මධ්‍යස්ථානයක් වන අතර එළවළු, පලතුරු, ඖෂධ හා දැව සපයන ප්‍රභවයක් ද වේ. ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයක් වන මහ කොළඹ ප්‍රදේශයේ හරිත පෙනහළු ලෙස කටයුතු කරන මුතුරාජවෙල තෙත් බිම ස්වාභාවික ගං වතුර පාලනයට ද ඍජු දායකත්වයක් ලබාදෙයි.

පසුගිය දිනවල මුතුරාජවෙල ප්‍රදේශයේ මහ ගින්නක් ද ඇති විය. ඊට පසු මුතුරාජවෙල ඉඩම් විශාල ප්‍රමාණයක් ගොඩ කිරීම් ද සිදුවිය. දැන් ඒ මුතුරාජවෙල හරහා අධිවේගී මාර්ගය ඉදිවී ඇති නිසාත් ප්‍රදේශයේ ගුවන් තොටුපළ ආදිය සංවර්ධනය වෙමින් පවතින නිසාත් එහි ඉඩම් පර්චස් එක ලක්ෂ 10 – 20 අතරට අලෙවි වේ. තමන්ට අයිතිවී තිබූ වගුරු බිම් ලක්ෂ ගණන්වලට ගොඩකර ඒ වගුරු බිම් විකුණන අය ද බහුලව වෙති.

මේ මුතු මෙන් වටිනා මුතුරාජවෙල ට දැන් එල්ලවී ඇති අලුත්ම තර්ජනය ජාඇළ ප්‍රදේශයේ ඉඩම් සංවර්ධනය සඳහා යයි කියමින් මුතුරාජවෙල අභය භූමිය ඇතුළත අක්කර 600 ක ප්‍රදේශයක් ගොල්ෆ් පිටියකට හා සුපිරි හෝටල් සංකීර්ණයක් සඳහා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට එක්තරා සමාගමක් කටයුතු කිරීම හා ඉල්ලුම් කිරීමයි.

මෙහිදී එම සමාගමේ හිමිකරු මුතුරාජවෙල පෞද්ගලික ඉඩම් බොහොමයක් තමන් සතු කර ගැනීමට කටයුතු කරමින් සිටියි. මුතුරාජවෙල ඇති වල් බිහිවූ අත හැර දැමූ පැරණි කුඹුරු යායවල් එහි අයිතිකරුවන්ගෙන් මිලදී ගෙන ඇති මේ ව්‍යාපාරික බලවතා එම ඉඩම්වල මේ හෝටල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට සූදානම් වන බව පරිසරවේදීහු පවසති.

මෙම ඉදිකිරීම් කිරීමට එම සමාගම දැනට මධ්‍යම පරිසර අධිකාරියෙන් හා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇත. ඒ පිළිබඳව මූලික නිරීක්ෂණ චාරිකාවක් එම ආයතනවල නිලධාරීහු මුතුරාජවෙලට ගියහ.

මේ ගමනේ සුවිශේෂී සිදුවීම වනුයේ මේ සඳහා ඉහත ආයතනවල 20 දෙනෙකු සහභාගි වීමත් ඒ සඳහා අදාළ ව්‍යාපෘතිය කරන සමාගම් විසින් නවීන මෝටර් රථ හා සියලු පහසුකම් ද සැලසීමයි. කෙසේ වුවත් මේ නිරීක්ෂණ වාර්තාවේදී ලබාගත් තොරතුරු අනුව මේ ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගැයීම් වාර්තාවක් සකස් කිරීමට සුදුසු දැයි සොයා බැල‍ිම් ද සිදු කෙරෙමින් පවතී.

මේ පිළිබඳව අදහස් දක්වන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතා පවසන්නේ මේ ව්‍යාපෘතිය සඳහා තම ආයතනය කිසිම අනුමැතියක් ලබාදී නැති බවයි. ඒ පිළිබඳව කිසිම වාර්තාවක් එකී දෙපාර්තමේන්තුව සකස් කර නොමැති බවත් පාරිසරික ඇගැයීමක් කිරීමට ද කිසිම සූදානමක් නැති බවත් ඔහු කීය.

මෙම ඉඩම් පෞද්ගලික වුවත් වන ජීවී කලාපයක් ඇතුළත අභය භූමියක් ඇතුළත කර ඇති සංවර්ධන කටයුතු සීමා වන නිසා පරිසරය විනාශ කරන හිතූ හිතූ දේ මෙහි කිරීමට මේ ව්‍යාපාරිකයනට නොහැකි බවත් පාරිසරික ඇගැයීම් වාර්තාව සකස් නොකර කිසිවක් කිව නොහැකි බවත් වනජීවී මෙහෙයුම් අධ්‍යක්ෂ මංජුල අමරරත්න පවසයි.

ඒ සමඟම වනජීවී නිලධාරීන් පවසන්නේ මෙවැනි විශාල ව්‍යාපෘතියක් ඉදිකරන භූමිය නිරීක්ෂණය කිරීමට එහි යාමට වාහන ලබා දීම එවැනි ව්‍යාපෘතිවලින් ම කිරීම සාමාන්‍ය ක්‍රියාදාමයක් පමණක් බවයි.

මේ පිළිබඳව වනජීවී සංරක්ෂණ නිලධාරීන් කළ නිරීක්ෂණ චාරිකාව මගින් ලැබුණු තොරතුරු විද්වත් කමිටුවක් මගින් අධ්‍යයනය කර පසුව ව්‍යාපෘතියට පාරිසරික ඇගැයීමක් කිරීම කළ යුතු ද යන්න තීරණය කරන බව ද වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සූරිය බණ්ඩාර මහතා පවසයි.

මේ පිළිබඳව කරුණු දක්වන පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පවසන්නේ විවිධ බලපෑම් ඇති මුතුරාජවෙල අභය භූමියට ඇති අලුත්ම නවතම තර්ජනය හෙවත් ඉඩම් කොල්ලය වන්නේ ඒ ඇතුළත අක්කර 600 ක ගෝල්ෆ් පිටියක් තැනීම පිණිස උත්සාහ දැරීම බවයි.

මේ මුතුරාජවෙල තෙත් බිමට විවිධ තර්ජන එල්ල වී එය විනාශ වුවහොත් ඉන් කොළඹ හා ගම්පහ ප්‍රධාන නගරවල ජනතාවට අහිතකර බලපෑම් රැසක් එල්ල විය හැකි බව ද හේමන්ත විතානගේ මහතා පවසයි.

මුතුරාජවෙල වගුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර 3,068 (අක්කර 7,580) ක් වන අතර එය රටේ විශාලතම තෙත් බිම් පද්ධතියයි. මෙම වගුරු බිම අද්විතීය හා බෙහෙවින් විවිධ වූ පරිසර පද්ධතිය නිසා කැපී පෙනෙන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා තෙත් බිම් 12 න් එකක් ලෙස ලැයිස්තු ගත කර ඇත. මුතුරාජවෙල අභය භුමිය මේ වනවිට අනවසර ඉදිකිරීම් හා පරිසර විනාශයන් රාශියකට මුහුණදී සිටී. මෙම භූමියේ මීගමුව කලපුවේ සිට මෝය කට දක්වා වූ ප්‍රදේශය මේ වනවිට ඒ හරහා වැටී ඇති මාර්ගයන් දිගේ සිදුව ඇති සංවර්ධනය සහ අධිවේගී මාර්ගය අවට ඇතිවන සංවර්ධනය නිසාද, කෙරවලපිටිය ආශ්‍රිතව ඇති කොළඹ මහ නගර සභාවේ කැළි කසළ එකතු කිරීමේ අංගණය සහ වෙනත් සංවර්ධන කටයුතු නිසා ද කැබලි රාශියකට වෙන්ව අතැයි පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

මෙහි නවතම සිද්ධිය වන්නේ ජා – ඇළ ප්‍රදේශයේ ඉඩම් සංවර්ධනය සඳහා මෙල්වත්ත ප්‍රොපටි ඩිවලොපර්ස් යනුවෙන් වූ සමාගමක් මුතුරාජවෙල වගුරු බිම තුළ අක්. 600 ක බිම්වල, ගොල්ෆ් පිටියක්, හෝටල් සංකීර්ණයක් සහ වෙනත් සංවර්ධන කටයුතු රාශියක් සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු අනෙකුත් ආයතනවල අවසරය ඉල්ලා සිටීමයි. මෙම පුද්ගලයා මුතුරාජවෙල වගුරු බිම තුළ තැනින් තැන ඇති පෞද්ගලික ඉඩම් තම සන්තකයට ලබාගෙන ඒවා ගොඩකර විවිධ ව්‍යාපෘති කිරීම පසුගිය රජය යටතේ මෙන් ම වර්තමානයේද සිදුකරමින් පවතින බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පවසයි.

කොළඹ මේ වනවිට ඉතිරිව ඇත්තේ හෙ. 2000 ටත් වඩා අඩු වු තෙත් බිම් ප්‍රමාණයකි. ඉතිරිව ඇති මේ වගුරු බිම් ප්‍රමාණයත් මෙලෙස ගොඩකර විනාශ වීම නිසා අනාගතයේදී ගංවතුර පාලනය අතිශය අපහසු වන අතර එමගින් අවට ප්‍රදේශවලට විශාල හානියක් වනු ඇතැයි හේමන්ත විතානගේ මහතා පවසයි.

මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු බලධාරීන් මුතුරාජවෙල කලපුව පිළිබඳව දරන නිද්‍රාශීලී පිළිවෙත නිසා එය මෙසේ විනාශයට පත්ව ඇති බව ද හේමන්ත විතානගේ මහතා පවසයි.

මේ පිළිබඳව කරුණු දක්වන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරි අමරසිංහ මහතා පවසන්නේ මෙම ව්‍යාපෘතියට අදාළව පාරිසරික ඇගැයීම් වාර්තාවක් සිදු කිරීමට තවම නිසි ඉල්ලීමක් මෙතෙක් ඉදිරිපත්වී නොමැති බවයි. එමෙන් ම මේ මුතුරාජවෙල ප්‍රදේශයේ සංවේදී කලාප තිබෙන බැවින් මෙවැන්නකට අවසර දීම ඉතා අපහසු තත්ත්වයක් බව ද සභාපතිවරයා පැවසීය.

“මෙය වනජීවී දෙපාර්තමේන්තුවටත් අයිති ප්‍රදේශයක්. ඒ අනුව අපට පමණක් මේකට අවසර දෙන්න බැහැ. ආයතන සියල්ල එක්වී කටයුතු කළ යුතුයි.

පෞද්ගලික ඉඩම්වල තමයි මේ ගෝල්ෆ් පිටිය හදන්න හදන්නේ. ඒක පිළිබඳව හරියට අධ්‍යයනය කළ යුතුයි. පෞද්ගලික ඉඩම් වුණත් කරන්න බැරි ව්‍යාපෘති තිබෙනවා. තවම අපි මේ පිළිබඳව කිසිම අවසරයක් දීලා නැහැ යැයි සභාපතිවරයා පවසයි. එමෙන් ම අදාළ ව්‍යාපෘති ප්‍රදේශය නිරීක්ෂණයට එම සමාගමේ වාහනවල යාම රජයේ නිලධාරීන්ට උචිත නැති බව ද ඔහු කියයි.

මේ පිළිබඳව කරුණු දක්වන මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පවසන්නේ මෙම ගෝල්ෆ් ක්‍රීඩාංගණය හා හෝටල් සංකීර්ණ ඉදිකිරීමට ඉල්ලා ඇති ප්‍රදේශය වනජීවී කලාපයට හා ප්‍රේරණ කලාපයට අයත් වන නිසා එහි පාරිසරික ඇගැයීම් වාර්තාව ප්‍රධාන ලෙස සකස් කළ යුත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව බවයි.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.