පූජිත්ගේ නැටුම නිසා ආරක්ෂක කවුන්සලයට කැඳෙව්වේ නෑ – මෛත්‍රී

ජාතික ආරක්ෂක කවුන්සලයට අග්‍රාමාත්‍යවරයා කැදවිය යුතු බවට නියමයක් නොතිබූ බැවින් තම අභිමතය පරිදි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක කවුන්සලය වෙත නොකැදවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම් සභාවේ ඊයේ දිනයේදී සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ.

මේ අතර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ විනය විරෝධී ක්‍රියාකලාපයන් හේතුවෙන් එවකට සිටි පොලිස්පතිවරයාට ද ජාතික ආරක්ෂක කවුන්සලය තහනම් කර තිබු බවයි.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය –  රාජ්‍ය බුද්ධි සේවය විසින් ජාත්‍යන්තරය තුළ අයි.එස් සංවිධානයේ ක්‍රියාකාරිත්වය සහ මෙරට අභ්‍යන්තරයේ නැගීඒම පිළිබද ඔබ ඇතුළු ජාතික ආරක්ෂක කවුන්සලය දැනුවත් කර තිබියදීත් මෙරට තුළ ඉස්ලාම් අන්තවාදී ක්‍රියා සිදුවීම වළක්වා ගැනීමට ඔබගේ පාලන කාලය තුළ රජය අසමත් වුණා නේද?

“මට බෞද්ධ අන්‍තවාදය පාලනය කර ගැනීමට හැකියාව තිබුණා. ඒ සදහා විවිධ උපක්‍රම භාවිතා කළා. ඇතැම් විට මහනායක හිමිවරුන් මාර්ගයෙනුත් අදාළ උපදෙස් ලබා දුන්නා. ඒත් මුස්ලිම් අන්තවාදීන් පාලනය කරන්න මට හැකියාවක් තිබ්බේ නැහැ. මුස්ලිම් අන්තවාදි සංවිධාන වල පිරිස් මම සෘජුව මුණගැසුනේ නැහැ. රාජ්‍ය නොවන සංවිධාන සහ විදෙස් තනාපති කාර්යාල එම අන්තවාදි සංවිධාන වෙනුවෙන් පෙනී සිටිම නිසා රජයක් ලෙස අපි ඒවා මර්දනයට උත්සහ දැරීමේදි අසීරුතාවයන්ට මුහුණ දුන්නා.”

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ” ඔබ 2015 ජනාධිපතිවරණයට පිවිසියේ නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස නේද

හිටපු ජනාධිපති – ” එවැනි එකගතාවයක් හෝ කිසිදු  සාකච්ඡාවක් ඇතිව තිබුණේ නැහැ.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

” හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ  දිවුරුම් මත සාක්ෂි දෙමින් ඔබ 2015 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමෙදි

නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු වන බව පොරොන්දු වූ බවට සාක්ෂි දී ඇත්නම් ඔබ එය පිළිගන්නවාද

හිටපු ජනාධිපතිවරයා – ” එය සම්පුර්ණ බොරුවක් ස්වාමිනි”

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය –  “2015 ජනාධිපතිවරණයේදි ඔබට අවශ්‍ය කරන ජනමතය ගොඩනැගිමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බවද ඔහු සාක්ෂි දෙමින් කොමිසම හමුවේ කියා සිටියා නම්”

පිළිතුර – “එක දේශපාලන වේදිකාවේ සිදුකරන කතාවක් විතරයි. මැතිවරණය දින්නම එක එක කතා කියනවා. ඒ කියන්න හදන්නේ එතුමාගේ ශක්තියෙන් මම ජනාධිපති වුණා කියලනේ. මහබැංකු මංකොල්ලයෙන් පස්සේ තමයි රනිල් වික්‍රමසිංහව මට දේශපාලන යක්ෂයෙක් වගේ පෙනුනේ. පස්සෙයි මට තේරුණේ මම දේශපාලනික වශයෙන් නොගැලපෙන විවාහයක් කරගෙන අමාරුවේ වැටුණා කියලා ”

අතිරේක සොලිසිටර් ජනාරාල්වරිය – 2015 ජනාධිපතිවරණයේදි සහරාන් හෂීම් ඔබට සහයෝගය දැක්වුවා නේද”

හිටපු ජනාධිපතිවරයා – “මම ඒ ගැන දැනුවත් නැහැ. හැටදෙලක්ෂයක් ඡන්දේ දුන්න පිරිසෙන් කවුද සහයෝගය දුන්නේ, කවුද සහයෝගය දුන්නේ නැත්තේ කියන එක මම දන්නේ නැහැ. නමුත් සංවිධාන සහ වෘත්තිය සමිති 49 ක් ගිවිසුම් ගතවෙලා මට වැඩ කළා. එවායේ හිටපු ප්‍රධාන දේශපාලන නායකයින් පමණයි මම දන්නේ ”

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය –  යහපාලන රජය තුළ තිබු දේශපාලන ගට්ටනය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වු බවට රජ්‍ය නිලධාරින් කොමිසම හමුවේ සාක්ෂි දී ඇත්නම් ඔබ එය පිළිගන්නවාද

හිටපු ජනාධිපතිවරයා – දේශපාලන ගැටුම නිසා ත්‍රිවිධ හමුදාවට සහ ආරක්ෂක අංශ වලට බලපෑමක් වුණේ නෑ වගේම එම ගට්ටනය ආරක්ෂක කවුන්සලයටද බලපෑම් එල්ල කළේ නෑ. ඒත්  ප්‍රහාරයක් සිදුවිය හැකි බවට තොරතුරු දිගින් දිගටම ලැබී තිබියදිත් ආරක්ෂක අංශ වල ඉහළ නිලධාරින් එය නොසළකා හරිමින් වගකීම පැහැර හැරලා තියෙනවා ස්වාමීනි.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – කව්ද වගකීම පැහැර හැරපු නිලධාරින් ?

හිටපු ජනාධිපතිවරයා – වගකීම ගත යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා

සභාපති විනිසුරුවරයා – ප්‍රහාරයක් පිළිබද තොරතුර පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට ලබාදීම සිදුකරලා තියෙන්නේ කවුද?

හිටපු ජනාධිපතිවරයා – නිලන්ත ජයවර්ධන තමයි තොරතුර දීල තියෙන්නේ.

සභාපති විනිසුරුවරයා –  එසේනම් ඔබ ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීම නිලන්ත ජයවර්ධනටද පවරන්නේ නැත්තේ ඇයි ?

එම ප්‍රශ්නය ඇසීමත් සමග හිටපු ජනාධිපතිවරයා සුළු මොහොතක් නිහඩව සිටි අතර පසුව සභාපති විනිසුරුවරයා නැවත එම ප්‍රශ්නය යොමු කළා.

හිටපු ජනාධිපතිවරයා – ප්‍රධාන වශයෙන්ම වගකිවයුත්තේ හිටපු  ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා ස්වාමීනි.

සභාපති විනිසුරුවරයා – ලැබුණු තොරතුර පිළිබද ප්‍රධාන වගකීම තියෙන්නේ කාටද ?

හිටපු ජනාධිපතිවරයා – කවුරුන් හෝ කෙසේ හෝ එම තොරතුර මට දැන්විය යුතුව තිබුණා. ඒ කියන්නේ හේමසිරි, පූජිත්, නිලන්ත, සිසිර යන හතරදෙනාම මේකට වගකියන්න ඕනේ ”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ඔබ ජනාධිපතිවරයා විදිහට හිටපු කාලයේ ජාතික ආරක්ෂක කවුන්සලය සතිපතා පැවැත්වුවද?

හිටපු ජනාධිපතිවරයා – රටතුළ තිබුණු සාමාන්‍ය වාතාවරණය නිසා සතිපතා පැවැත්වුණේ නෑ. ආරක්ෂක කවුන්සලය මාස්පතා රැස්වුණා.

අභියාචනාධිකරණ විනිසුරුවරයා – ඔබගේ ධූර කාලය තුළ කිසිවෙකුට හෝ ජාතික ආරක්ෂක කවුන්සලයට සහභාගිවීම තහනම් කරලා තිබ්බද?

හිටපු ජනාධිපතිවරයා – තහනම් කළේ නැහැ. යම් යම් හැසිරීම් හින්දා එන්න එපා කිව්වා. පූජිත් ජයසුන්දර මහත්තයා ඔහුගේ ධූර කාලය තුළ නොයෙක් විවේචනයට ලක්වුණා. ජාතික ආරක්ෂක කවුන්සලයට ආපුවම පෝන් දෙකක් තියාගෙන අයිනකට වෙලා ඔබ ඔබ ඉන්නවා. ගන්න තීන්දු තීරණ මොනවත් දන්නේ නෑ. තව ගොඩක් දේවල් තියෙනවා එයා ගැන කියන්න. 2018 මහනුවර ඇසළ පෙරහැරේදී නැටුවා. ඒකට මාධ්‍යත් පුළුල් ප්‍රචාරයක් දුන්නා. දවස් දෙකකට පස්සේ මම ගෙන්නලා ඇහුවා පූජිත් දියවඩන නිළමෙට නැට්ටුවෝ මදි වෙලදා ඔයා නැටුවේ කියලා. ඊට පස්සේ ආයෙත් දවසක මාතර ඉස්කෝලෙකට ගිහින් ළමයි ඉස්සරහ ටීචර්ස්ලගෙන් ප්‍රශ්න අහලා එතනත් ප්‍රශ්නයක් ඇතිකරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි. පොළොන්නරුවේ අපේ ගමේ නාවික හමුදාව සංගීත සංදර්ශනයක් ලෑස්ති කරලා තිබ්බා. පූජිත් ඒකෙදි මගෙන් ඇවිල්ලා ඇහුවා සර් මම සිංදුවක් කියන්නද කියලා. මමත් ඉතින් ඔන්න ඔහේ හා කිව්වා. පූජිත් එතන හිටපු පොලිස් නිලධාරියෙකුගේ අතේ පණිවිඩයක් යැව්වා. නිවේදකයා එනවුන්ස් කරලා කිව්වා ඊළගට පොලිස්පති සිංදුවක් කියනවා කියලා. පස්සේ පූජිත් වේදිකාවට නැගලා සිංදුවක් කිව්වා. දෙකක් කිව්වා. සාමාන්‍යයෙන් ජනප්‍රිය ගායකයෙකුත් සිංදු තුනක් කියලා වේදිකාවෙන් බැහැල යනවා. ඒත් පූජිත් එකක්, දෙකක්, තුනක් නෙවෙයි සිංදු හයක් කිව්වා. ඒත් නැවැත්තුවේ නැහැ. තව ටිකක් හිටියනම් මිනිස්සු හු කියයි කියලා බැරිම තැන මම නැගිටලා ආවා. මම වාහනේට නගිනව දැකලා සිංදු කියන එක නවත්තලා ඇවිල්ලා පූජිත් මගෙන් අහනවා සර් මම සිංදු කිව්වා ලස්සනයිද කියලා. මම කිව්වා හොද හින්ද තමයි මම ‌ෙම් යන්නේ කියලා. ඔන්න ඔය වගේ හැසිරීමක් තමයි පොලිස්පති‌ගේ තිබ්බේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.