මෙරට කොවිඩ්-19 රෝගීන් අතරින් මිය ගිය ආසාදිතයන් ප්‍රතිශතයක් ලෙස ගත් කල 60% කට අධික පිරිසක් කොළඹ නගරයේ සිටින ලද ආසාදිතයන් වන අතර ඉන් බහුතරයක් නිවෙස් තුළ මියගිය ආසාදිතයන් වේ. මේ සම්බන්ධයෙන් විග්‍රහයක් කර බැලුවහොත් මීට පෙරද ලංකාව තුළ වසංගත රෝග තත්ත්වයන් පැන නැගී තිබෙන අතර ඒවා සාර්ථකව මැඬ පවත්වා ඇත්තේ කොළඹ නගර සභාව විසින් බව පෙනේ. මෙරට ජනාකීර්ණම නගරය වුවත් කොළඹ නගරය තුළ වසංගත රෝග බොහෝමයක් පැතිර ගොස් තිබුණත් ඒවා පිළිබඳව කලට වෙලාවට කටයුතු කිරීමෙන් නගර සභාව අනිකුත් නගරවලට 1990-2015 දක්වා පුර්වාදර්ශයක් විය. උදාහරණයක් ලෙස ගත් කල කොලරාව, අනිකුත් පාචන රෝග, ඩෙංගු, චිකුන්ගුන්යා, පෝලියෝ හා බරවා වැනි රෝග ඉන් කිහිපයකි. එම රෝගවලට කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉතා සාර්ථකව මුහුණ දුන්නේය. එම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය බොහෝවිට ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පිහිට පැතූ අවස්ථාද විය. 1991, 1992, හා 1998 වර්ෂයන්හි කොළරා වසංගතයන් පටන් ගත් අවස්ථාවලදී බොහෝ අය පැවසුවේ එය මැඬලීමට තැත් කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි. එහෙත් මසක පමණ කාලයක් තුළ සෑම දිනම රාත්‍රී නවය දහය වනතුරු වැඩ කර ඒවා මැඬලීමට නිලධාරීන් සමත් වූහ. එම සාර්ථකත්වයන්හි අභිරහස කුමක්ද? නිය පොත්තෙන් කැඩිය යුතු අවස්ථාවේ කලට වෙලාවට නොබියව වසංගත රෝග මර්දනය කිරීමට ඉදිරිපත් වීම, කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීම, නායකයින් ක්ෂේත්‍රයට පැමිණ ඉදිරියෙන් සිට නිලධාරීන් මෙහෙයවීම වැනි දේය. එසේම නව අදහස් අනුව ක්‍රියාකරමින් මුළු රටටම පමණක් නොව ලෝකයටම ආදර්ශයක් වීම. විශේෂයෙන් ගෙන් ගෙට ගොස් පරිසරය දියුණු කොට ඩෙංගු මර්දනය කිරීම ජාත්‍යන්තර සම්මාන පවා දිනීමට හේතු කාරක විය. එසේම එක්සත් ජාතීන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය එම වැඩ සටහන් ඔවුන්ගේ හොඳම ව්‍යාපෘති ලෙස පළ කරද ඇත.

කොරෝනාවට කොළඹ සූදානම් වුණේ නෑ

නමුත් පෑලියගොඩ කොවිඩ්-19 පොකුර ආරම්භ වීමේ දී කොළඹ මහනගර සභාව එයට මුහුණ දුන් ආකාරය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකිය. පෑලියගොඩට ඒමට ප්‍රථම එම පොකුර පටන් ගැනුණේ මිනුවන්ගොඩ ය. එම ප්‍රදේශයෙන් කොළඹට දිනකට විශාල මගීන් සංඛ්‍යාවක් පැමිණෙන බව කවුරුත් දනිති. එසේනම් කොළඹ නගර සභාව අතීත වසංගත රෝග ඉතිහාසයන් සලකා බලා ලැහැස්ති විය යුතුව තිබුණේ ඒ අවස්ථාවේදීය. නමුත් මා හට ලැබුණු තොරතුරු අනුව නගර සභාවේ නිලධාරීන් එවැන්නක් ගැන සිතුවේවත් නැත.

1979දී සෞඛ්‍ය උපදේශකවරුන් 150ක් බඳවාගත්තා

කොළඹ නගරය යනු අඩු ආදායම් ලාභීන් හා පැල්පත්වාසීන් බොහෝමයක් සිටින ප්‍රදේශයක් වේ. මේ හේතුව නිසා ඔවුන්ගේ සෞඛ්‍ය නැංවීමට 1978 එවකට පළාත් පාලන ඇමැති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සෞඛ්‍ය උපදේශකවරුන් 150ක් බඳවා ගැනීමට කටයුතු කර තිබේ. මෙම සෞඛ්‍ය උපදේශකවරුන්ගේ ප්‍රධාන කාර්යභාරය වූයේ කොළඹ මහ නගර සභා සීමාව තුළ සිටින අඩු ආදායම්ලාභීන් සහ පැල්පත් වාසී ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් සොයා බැලීම, සෞඛ්‍ය නීතිරීති හඳුන්වා දීම, ආහාර රටා පිළිබඳ නිරීක්ෂණ, මූලික හා යටිතල පහසුකම් සම්බන්ධයෙන් සොයා බැලීම, බෝවන සහ බෝ නොවන රෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීම, ප්‍රජා සංවර්ධන සමිති පිහිටුවීම සහ වසංගත රෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීම හා මැඬලීමට සහාය දීම වැනි කටයුතු වේ.

කෙළඹට සෞඛ්‍ය උපදේශකවරුන් ඕනෙ නැතිද?

මාගේ සේවා කාලය තුළ දී මා විසින් 150කට පැවැති සෞඛ්‍ය උපදේශකවරුන් බඳවා ගැනීම 185ක් දක්වා වැඩිකිරීමට අවසර ලබා ගන්නා ලදි. එනමුත් කිසිදු සෞඛ්‍ය උපදේශකවරයෙක් බඳවා ගැනීමක් නොවූ අතර මා මේ සම්බන්ධයෙන් පළාත් සභාව සහ නගර සභාව දැනුවත් කරත් ඔවුන් දෙපිරිසම පැවසුවේ එය ඔවුන්ට අදාළ කරුණක් නොවන බවයි. 2018 වසරේ මා නාගරික මන්ත්‍රීවරයකු ලෙස කොළඹ මහනගර සභාවට පත්ව පැමිණි විට මා හට දැනගැනීමට ලැබුණේ කොළඹ මහනගර සභා සීමාව තුළ සෞඛ්‍ය උපදේශකවරුන් බඳවා ගත හැකි සේවක පිරිස් සංඛ්‍යාව 75 දක්වා සීමා කර ඇති බවයි. කොළඹ මහනගර සභා සීමාව තුළ දැනට සෞඛ්‍ය උපදේශකවරුන් 20-25ක් පමණක් සේවය කරයි. කොළඹ මහනගර සභාවේ උසස් නිලධාරීන්ගේ මතය වනුයේ සෞඛ්‍ය උපදේශකවරුන් අවශ්‍ය නොමැති බවයි. එම නිසා කෙමින් කෙමින් මෙම සේවය මිය යෑමට පත් විය යුතු බව එම දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ මතයද වී ඇති බව එම සේවයේ නිලධාරීහු පවසති. නමුත් අද දින ඔවුන් සිටියානම් රෝගීන් නිවෙස් තුළ මිය යාමේ තත්ත්වයක් උදා වෙන්නේ නැත. අතීතයේ මෙම සේවයේ සිටි නිලධාරීන් විසින් රෝගීන්ගේ තොරතුරු සෑම දිනකම කාර්යාලවලට වාර්තා කර විශිෂ්ට සේවාවක් ඉටු කරන ලදී.

සෞඛ්‍ය උපදේශකවරු අඩුවේ පාඩුව

සෞඛ්‍ය උපදේශකවරුන්ගේ සේවය ඉමහත් සේ උපයෝගි කරගැනීමට හැකිවූ අවස්ථාක් ලෙස දැනට මාස කිහිපයකට පෙර බණ්ඩාරනායක මාවතේ වාර්තා වූ කොවිඩ් පොකුර මැඬලීම දැකගත හැකිය. එම අවස්ථාවේ එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වන වෛද්‍ය ක්‍රිෂාන්ත චන්ද්‍රපාල මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්, ප්‍රදේශයේ හෙද නිලධාරිනිය හා එක්ව එම ජනතාව නිරෝධායනයට හා PCR පරීක්ෂණවලට යොමුකිරීමට කටයුතු කළේය. නමුත් දැනට ඉන්න සෞඛ්‍ය උපදේශකවරුන් අතළොස්සට හෝ එයට සහභාගිවීමට බැරිවිය. මේ අවස්ථාවේ දි ජනතාව PCR පරීක්ෂණවලට යොමු කරන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ එම වෛද්‍යවරුන් හට ආරක්ෂක උපකරණ පවා නොවීය. එම හේතුව නිසා දිනක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රැකියාවට වාර්තා නොකළේය. පසුව කොළඹ මහ නගර සභාව විසින් එම ආරක්ෂිත උපකරණ ලබා දීමට කටයුතු කරන ලද්දේ මවිසින් ඒ බව නගරාධිපතිතුමියට දැනුම් දීමෙන් පසුවය. මේ අවස්ථාවේ ඔවුනට අවශ්‍ය ආරක්ෂණ උපකරණ පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් විසින්ද ලබා දී තිබිණ. නිලධාරීන්හට ආරක්ෂණ උපකරණ කලට වේලාවට නොලැබීම ඉතා කනස්සල්ලට පත්වන තත්වයකි.

අද දින වනවිට එතරම් හොඳට රාජකාරිය ඉටු කළ වෛද්‍ය ක්‍රිෂාන්ත චන්ද්‍රපාල මහතා අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ ඇයිදැයි පැහැදිලි කළ යුතුවේ. සෞඛ්‍ය අංශයේ මහජනතාව සඳහා හදවතින්ම සේවය කරන නිලධාරීන්හට තැනක් නැති අතර රුපවාහිනිය ඉදිරියේ රඟන අයට පමණක් තැනක් දී ඇත.

කෙසේ වෙතත් කොළඹ මහනගර සභා සීමාව තුළ සෞඛ්‍ය උපදේශකවරුන්ගේ අඩු කම අහිංසක ජනතාවට මහත් සේ බලපා තිබේ. මෙවැනි වසංගත අවස්ථාවක ජනතාව මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුන් නිසි පරිදි දැනුවත් නොවීම සහ ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට නොහැකිවීම නිසා යම් අවස්ථාවලදී ජනතාව කලහකාරී ලෙස කටයුතු කිරීම අපට රූපවාහිනීයෙන් දැක ගැනීමට ලැබිණි. සෞඛ්‍ය උපදේශකවරුන්ගේ අඩුපාඩුවෙන් ඇතිවී ඇති හිඩැස පිරවීමට කවුරුවත් අද වෙන තුරු නොමැති නිසා ජනතාව සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට පෙළ ගැස්වීම පසුබැස ඇත. සෞඛ්‍ය උපදේශකවරුන්, පවුල් සෞඛ්‍ය නිලධාරිනින්, හෙදි නිලධාරිනින් බඳවා ගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡා කර මවිසින් සභාවට යෝජනා තුනක් ඉදිරිපත් කර සම්මත කර ගත්තත් සෞඛ්‍ය හා අදාළ අනිකුත් නිලධාරීන්ගේ නිද්‍රාශීලී භාවය නිසාදෝ ඒවාට සිදුවූ දෙයක් නොමැත. දැන්වත් ඒ පිළිබඳව කටයුතු කළ යුතුමය.

කොළඹ මහනගර සභා සීමාව තුළ ජනතාව කොවිඩ්-19 වයස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගැනීමට තව දුරටත් අපොහොසත් වූයේ කොළඹ මහනගර සභා සෞඛ්‍ය අධ්‍යාපන අංශයේ සේවකයෙකුට කොවිඩ්-19 රෝගය වැලඳීමයි. මෙම ආසාදිත සේවකයා රෝගය සම්බන්ධයෙන් කඩිනම් රෝග විනිශ්චයක් නොතිබූ හෙයින් එම අංශයේ සේවය කරන තවත් සේවකයන් කිහිපදෙනකුට මේ රෝගය ව්‍යාප්ත වී තිබේ. මේ නිසා එම අංශය වසා දැමීමට සිදුවිය. ඉන් පසුව ඔවුන්ගෙන් මැද කොළඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්හට රෝගය බෝවීම නිසා ඔවුන්ව නිරෝධායනයට පත්කිරීමට අනුරාධපුරයට යවන ලදී. නමුත් රෝගය සෞඛ්‍ය සේවකයන් අතර බෝවීමට මුල්වූ සෞඛ්‍ය අධ්‍යාපන අංශය පිහිටි භූමියේම පදිංචි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු නිරෝධයනයක ලක් නොවූ බව අනිකුත් නිලධාරීහු පවසති. මේ ඉතාමත් දුක්ඛිත තත්ත්වයකි. කොළඹ මහනගර සභාව විසින් කළ යුතු සේවා යුද හමුදාව, පොලිසිය, නාගරික සංවර්ධන අධිකාරිය හා නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් විසින් අද දින කරුණු ලැබේ.

තාක්ෂණය උපයෝගී කරනොගන්නේ ඇයි?

කොළඹ මහනගර සභාව සතුව තාක්ෂණික සම්පත්වලින් අඩුවක් නොමැත. මෙවැනි අවස්ථාවක තාක්ෂණය උපයෝගි කරගෙන පරිගණකය ඔස්සේ භූගෝලීය වශයෙන් රෝගීන් වෙසෙන ස්ථාන සිතියම්ගත කර වැඩි අවදානම් කලාප වෙන්කර අධි අවදානම්, මධ්‍යම අවදානම් සහ අඩු අවදානමක් ඇති ප්‍රදේශ ලෙස වෙන් කර ඒවාට අදාළ රෝග මැඬලීමේ සේවා සහ පහසුකම් සැපයීමට ක්‍රියා කිරීමෙන් මේ තත්ත්වය මැඬපැවැත්වීමේ හැකියාව පවති. අවාසනාවකට ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වසංගත රෝග හා සංඛ්‍යා ලේඛන තනතුර වසර තුනක් පුරවා නැති අතර මෙය අද දිනට විශාල වශයෙන් බලපාන කරුණක් වී ඇති බව නිකුත් කරන අවිද්‍යාත්මක ප්‍රකාශ දෙස බැලු විට පෙනේ. එසේම දැනට මතුපිට පෘෂ්ඨ මත කොවිඩ් විෂබීජය තිබිය හැකි බව ප්‍රකාශ කරන නිසා ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පහසු ලෙස විෂබීජහරණ කටයුතුවල යෙදිය හැකි බව මම දනිමි. එසේම ඒ දෙපාර්තමේන්තුව මගින් මෙවැනි කටයුතු අතීතයේ බොහෝ අවස්ථාවල සිදු කර ඇත. එසේම රසායනික ද්‍රව්‍ය සඳහා නගර සභව විසින් වර්ෂයකට රුපියල් මිලියන 50 කට වැඩ කරන බව අය වැය වාර්තා වලින් දැක ගත හැක.

නගරාධිපතිනියට වැරැදි උපදෙස්

නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරවෙන්වත් කපා ගැනීමටද නොහැකි තත්ත්වයක් අද කොළඹට මුහුණ දීමට සිදුවී තිබේ. තමන්ගේ මූලික වශයෙන් සිදුවූ අඩුපාඩු නිසා අද කොළඹ නගරය තුළ කොරෝනා රෝගය විශාල වශයෙන් පැතිරීමේ තත්ත්වයක් ඇතිවී ඇත. PCR පරීක්ෂණ අහඹු ලෙස කළ අවස්ථාවේදී පරීක්ෂණ සාම්පලවලින් 5% ක ප්‍රතිඵල කොරෝනා රෝගය ඇති බව පෙන්නුම් කරන නිසා කොළඹ නගරයේ ස්ථිරව පදිංචි 650,000 වන ජනතාවෙන් 5% වන 30,000 ජනතාවට රෝගය වැලඳී ඇති බවට අනුමාන කර කරන ලද ප්‍රකාශය අද විවේචනයට භාජනය වී ඇත. පළමුව සඳහන් කළ යුත්තේ මෙම පරීක්ෂණ අහඹු පරීක්ෂණ ලෙස හැදින්වීම දෝෂ සහගත බවය. මෙම සාම්පල ලබා ගන්නේ රෝගීන් හඳුනාගත් ප්‍රදේශවල ඒ අවට පුද්ගලයන්ගෙන් වීමත්, ඒවා ඉලක්කගත සාම්පලවල ප්‍රතිඵල නිසාත්ය. මේ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ ප්‍රධානියාද ප්‍රකාශ කර ඇත. එම නිසා විශාල සංඛ්‍යාවක් රෝගීන් ඇති බවත් ඒ නිසා කොළඹ නගරය වැසිය යුතු බවට ප්‍රකාශ පදනම් රහිතය. තමන්ගේ අඩුපාඩුව අහිංසක මිනිසුන් මත පටවා ඇඟ බේරා ගැනීමක්ය. නගරාධිපතිතුමියට වැරදි උපදෙස් දී ඇයද අපහසුතාවට පත් කර ඇත.

වැසීමට පෙර…

මෙම තත්වය මගහරවා ගැනීමට නම් කොළඹ මහනගර සභාවේ අදාළ දෙපාර්තමේන්තුවල උසස් නිලධාරීන් එක්ව සාකච්ඡා කොට දැනට හුදෙකලා කරනු ලැබ ඇති නගර සභා දිස්ත්‍රික්ක තුළ කලාප වෙන්කර ගෙන එම කලාප තුළ වයිරස ව්‍යාප්තිය අවබෝධ කරගෙන එයට අදාළ නිසි පියවර ගැනීමට කටයුතු කළ යුතුවේ. ඔවුනට රෝගීන් සිටින ස්ථාන පිළිබඳව සිතියම් ලබාදීම වැදගත්ය. එම පියවරයන් රෝගය බෝවීම වැළැක්වීම පමණක් නොව මහජනතාවගේ සුබසාදනය සඳහාද ගත යුතුවේ. මෙම ප්‍රදේශයන්හි වෙසෙන මහජනතාව සංවිධානය කිරීම ඉතාමත් වැදගත් වන අතර එම කටයුතු ඉතා ඉක්මනින් කළ යුතුවේ. එක් එක් ප්‍රදේශයන්හි නායකයන් හඳුනාගෙන ඔවුන් මගින් මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම ඉතාමත් වැදගත්වේ. මුළු ප්‍රදේශයම එසේම සියලුම පොදු ප්‍රදේශ විෂබීජහරණයට භාජනය කිරීමද වැදගත්වේ. ආහාර පාන විටමින් හා බෙහෙත් බෙදාදීම අනිවාර්ය විය යුතුය. සැමට හිරු එළියේ පයක් වත් උදෑසන සිටීමට අවස්ථාවක් කණ්ඩායම් වශයෙන් කිරීමට ඉඩ ලබා දිය යුතුය. බෝනොවන රෝගවලින් හෝ පිළිකා වැනි රෝගවලින් පෙළෙන්නේ කවුරුන්දැයි ප්‍රාදේශීය නායකයන් මගින් සොයා බැලිය යුතුවේ. ඔවුනට අවශ්‍ය ප්‍රතිකාර, එසේම රෝග ලක්ෂණ හඳුනා ගැනීම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවල නිලධාරීන් විසින් සිදු කළ යුතුය. තවත් කළ යුතු බොහෝ දෙය ඇත. ඒවා කළ හැකිය. නගරයම හුදෙකලා කිරීම මෙම රෝගය පැතිරීම වැළක්වීමට හෝ මෙම වසංගතය පිළිබඳ ගැටලුවට පිළිතුර නොවේ. එවැනි දෙයකින් ඇතිවන ආර්ථිකමය අලාභය මානසික, සමාජීය, හා කායික සෞඛ්‍යයට දැඩි ලෙස බලපානු ඇත.

•වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් හිටපු ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොළඹ නගර සභාව

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.