පාස්කු ප්රහාරය පිටුපස සිටින බලවේග සොයා දඬුවම් දෙන බවට වත්මන් ජනාධිපතිවරයා සහ රජය දුන් පොරොන්දුව ඉටු නොවුවහොත් ඒ සඳහා විකල්ප සොයන්නට සිදුවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
කතෝලික ජනතාව වත්මන් රජය කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳ වැටුණොත් පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කිරීමේ වගකීම වෙන කණ්ඩායම්වලට පවරන්නට සිදුවන බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී කවින්ද ජයවර්ධන මහතා අද (3) අගරදගුරු නිල නිවස වෙත ගොස් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් බැහැදුටු අවස්ථාවේ දී අදහස් දක්වමින් කාදිනල්තුමන් මේ බව පැවසූහ.
පාස්කු ප්රහාරයයේ ඇත්ත තත්ත්වය එළියට එන තුරු කතෝලික ජනතාව බලා සිටින බවත්, ඒ සම්බන්ධයෙන් සෙවීමේ කොමිෂන් සභාවේ කටයුතු මෙම මස 20 වෙනි දා වන විට නිමවන බව කීවත් ප්රහාරයට වගකිව යුතු හා අනුග්රහය දැක්වූවන් ගැන සෑහීමකට පත්විය හැකි විමර්ශනයක් සිදුවන්නේ ද යන්න ගැටලුවක් බව ද අගදරගුරුතුමෝ කීහ.
එදිනෙදා එන ප්රශ්න නිසා මෙම පරීක්ෂණය පිටුපසට තල්ලු නොකරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව කී අගරදගුරුතුමෝ ආරක්ෂක අංශ මේ සිදුවීම සම්බන්ධව නිදා නොගෙන ප්රහාරය පිටුපස ඇති බලවේග සොයාගැනීමට ධෛර්යවන්තව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවසූහ.
දේශපාලන වාසි ලබාගැනීමට හෝ ඩීල් සංස්කෘතියක් වෙනුවෙන් මේ සිද්ධියත් කාපට් එක යට සැඟවීමක් වගකිව යුතු රජයකින් බලාපොරොත්තු නොවන බව ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ප්රකාශ කළහ.