මතවාද වැඩියෙන් නැරඹූ

මීලග සුනාමිය පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට බටහිරදිග මුහුදු ප්‍රදේශයේ සිටද ?

බෙදා හරින්න :

මෙයට වසර දාසයකට කලින් සුමාත්‍රා ප්‍රදේශයේ ඇතිවූ විශාල භූමිකම්පාව නිසා හටගන්නා ලද සුනාමි තත්වය හේතුවෙන් කළාපයට බලපෑ දරුණු ඛේදවාචකය පිළිබඳව මතකයන් තවමත් අප අතර නොමැකී පවතී. සුමාත්‍රා මුහුදු ප්‍රදේශයේ විශාල භූමිකම්පාවක් ඇතිවූවහොත් එමගින් සුනාමියක් හටගනී යැයි අප ඉතා සැළකිලිමත් වන අතර, මෙම කළාපයේ ස්ථාපිත කර ඇති සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය මගින් ඵ් පිලිබද තොරතුරු ලබා ගැනීමට ද හැකියාවක් ඇත. එය සාධනීය ලක්‍ෂණයක් වූවත් තවමත් ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ඉතාමත් ඈතින් පිහිටි උතුරු අරාබි මුහුදේ මැක්රම් මුහුදු ප්‍රදේශයේ හටගන්නා භූමිකම්පා පිළිබඳ සැළකිලිමත් බවක් නොදක්වයි. මෙම ප්‍රදේශයද සුමාත්‍රා මුහුදු ප්‍රදේශය මෙන් සුනාමි භූමිකම්පා ඇති වන ප්‍රදේශයක් වන අතර අනාගතයේදී එහි විශාල සුනාමි භූමිකම්පාවක් ඇතිවේ යැයි අනතරු අගවා ඇත. කැළණිතිස්ස රජු සමයේ විහාර මහා දේවියගේ කථා පුවතින් දැක්වෙනුයේ සුනාමියක් පිලිබදව නම් එය පැමිණියේද එම ප්‍රදේශයේ සිට බව ඉතිහාසගත සාක්ෂි පවතින අතර, එම ප්‍රදේශයේ විශාල භූමිකම්පාවක් හටගැනීමේ අවධානමක් පවතින බැවින්, එම ප්‍රදේශයේ හටගන්නා භූමිකම්පා පිළිබඳවද අවධානයේන් පසුවීම යෝග්‍ය වේ.

ශ්‍රී ලංකාව ඇතුළුව බොහෝ රටවල ජනතාව සුනාමි යන වචනය හඳුනාගත්තේ 2004 වර්ෂයේ සුමාත්‍රා ප්‍රදේශයෙහි ඇතිවූ විශාල භූමිකම්පා නිසා ඇතිවූ සුනාමිය හේතුවෙනි. සාපේක්‍ෂ වශයෙන් විශාල භූමිකම්පාවක් මුහුදේ ඇති වුවහොත් එමගින් සුනාමියක් ඇතිවේ යැයි බොහෝ අය විශ්වාස කරති. එහෙත් මෙම කරුණ සම්පූර්ණයෙන්ම සත්‍ය නොවේ. සුමාත්‍රා කලාපයේ විශාල භූමිකම්පා ඇතිවනුයේ 2004 වර්ෂයෙන් පසුව නොවන අතර පසුගිය වසර සියයක කාලය තුළ එහි ඇතිවූ භූමිකම්පා පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වන පරිදි එහි රික්ත පරිමාණයේ ඒකක 7.5 ට වැඩි භූමිකම්පා 15 කට අධික සංඛ්‍යාාවක් ඇතිවී ඇත. එහෙත් ඒවා ඇතිවූ බව එවකට සිටි බොහෝ දෙනා නොදැනා සිට්යා පමණක් නොව එම නොදැන සිටීම නිසාම සුනාමි බියක් ද ඇතිවී නොමැත. සමහර විට එම භූ චලන නිසා යම්කිසි ප්‍රමාණයට විශාල මුහුදු රළක් හෙවත් සුනාමි තත්වයක් ඇතිවූවා විය හැකි වූවත් එය සාපේක්‍ෂ වශයෙන් කුඩා නිසා අප හට නොදැනුනා විය හැකිය.

නූතන විද්‍යාවේ දියුණුවත් සමඟම පොළොව තුළ සිදුවන ක්‍රියාවන් අධ්‍යයනය කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රම භාවිතා කරන ලද අතර, භූමිකම්පාවක් මගින් ඇතිවන භූ කම්පන තරංග ආධාරයෙන් හෝ කෘතීමව ඇතිකරන තරංග ආධාරයෙන් පෘථිවි පෘෂ්ඨයේ සිට කේන්ද්‍රය දක්වා ඇති ස්ථර වල ස්වභාවයනුත්, භූමිකම්පා, ගිනිකඳු පිපිරීම් වැනි සන්සිද්ධීනුත්, තෙල් නිධි ආධී ස්වභාවික ඛනිජ සම්පත් පිළිබඳවත්, ඉතා සාර්ථකව කරුණු ඉදිරිපත් කිරීමට හැකිවිය. 1931 වර්ෂයේ දී වධති නැමති භූකම්පන විද්‍යාඥයා විසින් නැගෙනහිර ජපානයේ ෆුකුෂිමා සහ ඉබරකි යන ප්‍රදේශවල භූමිකම්පා ඇතිවන ස්ථාන සහ ඒවා ඇතිවන ගැඹුරවල් අධ්‍යයනය කරන ලද අතර එහි ගැඹුරවල් ජපාන ආගාධයේදී කිලෝමීටර 1 ක අගයක පමණ සිට ගොඩබිම දෙසට ගමන් කරන විට කිලෝමීටර 700 දක්වා ක්‍රමයෙන් වැඩිවන බව සොයා ගන්නා ලදි. 1942 වර්ෂයේදී බෙනිඕෆ් නැමැති භූ භෞතික විද්‍යාඥයා ඉහත ආකාරයට සමාන ක්‍රියාවලියක් සිදුවන ලෝකයේ වෙනත් ප්‍රදේශ ඇති බවද, ඒවා අතර ඇමරිකාවේ ඇලස්කා ප්‍රදේශයට සම්බන්ධ ඇලුෂන් මුහුදු ප්‍රදේශය, මධ්‍යම සහ දකුණු ඇමෙරිකා මුහුදු ප්‍රදේශ, සුමාත්‍රා මුහුදු ප්‍රදේශ ආදිය දැක්විය හැකි බවද සොයා ගන්නා ලදී.

මෙම අදහස පෘථිවිය එකිනෙකට සාපේක්‍ෂව ගමන් කරන භූතල වලින් සමන්විත යැයි යන තල භූ කාරක මතය සනාථ කිරීමට ඉවහල් වූ අතර, මෙවන් කලාප වධති-බෙනිඕෆ් කලාප හෙවත් අභිසරණ කලාප ලෙස හදුන්වන ලදී. 1960 දශකයේ දී ඇතිවූ පරිඝනකයේ දියුණුවත් සමඟම භූමිකම්පා නිසා ඇතිවන භූ කම්පන තරංග භාවිතයෙන් භූමිකම්පා ඇතිවීමට හේතු විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට හැකිවිය.

ලොව පුරා ඇතිවන භූමිකම්පා වලින් විශාල ප්‍රමාණයක් ඇතිවන්නේ කලින් සඳහන් කල වධති-බෙනිඕෆ් කලාප වලදීය. මෙම කලාප මුහුදේ ඇති ආගාධ වලින් පටන් ගෙන ගොඩබිම දක්වා විහිදෙන නිසාත්, සුනාමි ඇතිවීමට සුදුසු වන පරිදි මුහුදු පතුල ගමන් කරන නිසාත්, මෙවන් භූමිකම්පා පිළිබඳව ලෝකයේ බොහෝ අවධානයක් යොමුවී ඇත. ලෝකයේ ඕනෑම තැනක ඕනෑම වෙලාවක ඕනෑම ප්‍රමානයක භූමිකම්පාවක් සිදුවිය හැකි අතර, භූමිකම්පා වැඩිපුර සිදුවන්නේ ඉහත සඳහන් කල තල මායිම් වලට ආසන්න ප්‍රදේශ වලයි. නමුත්, සිදුනොවන කලාප කියා දෙයක් නොමැත. ඉහත සඳහන් කල ආකාරයේ ගැටීම් ඇතිවන ප්‍රදේශ වල විශාල සුනාමි භූමිකම්පා ඇති වන අතර එම ආකාරයේ ගොඩබිම් වල ගැටීම් ඇතිවන ප්‍රදේශ වල ප්‍රබලත්වය වැඩිවූ භූමිකම්පා ඇතිවේ.

1906 වර්ෂයේ ඇමරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ ඇතිවූ විශාල භූමිකම්පාව මගින් හටගත් භූ කම්පනයේ ප්‍රබලතාව මැනීම සඳහා චාල්ස් රික්තර් නැමති විද්‍යාඥ්ඥයා විසින් පොදු ඒකකයක් වන රික්තර් මාපක පරිමාණය 1930 වසරේදී පමන හඳුන්වා දෙන ලදි. මෙහි ඇති විශේෂත්වය වනුයේ මෙමගින් ලබාදෙනුයේ භූමිකම්පාව ඇතිවූ ස්ථානයේ ප්‍රබලතාවයයි. උදාහණයක් ලෙස පෘථිවි පෘෂ්ටයේ සිට කිලෝ මීටර් 5 ක ගැඹුරකින් පිහිටි ස්ථානයක රික්තර් පරිමාණ ඒකක 6 ක භූමිකම්පාවක් ඇතිවූ විට ඇතිවන පොළොවේ කම්පනය නිසා ඇතිවන හානියට වඩා පෘෂ්ටයේ සිට කිලෝ මීටර් 500 ක් ගැඹුරින් එම ප්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාවක් නිසා පොළොවේ ඇතිවන කම්පනය මගින් ඇතිකරන හානිය අඩුවේ. එනම්, රික්තර් පරිමාණයේ අගය වැඩිවූ පමණින් ඇතිවන හානිය වැඩිනොවන බවද, එය ඇතිවූ ගැඹුරද සැලකිල්ලට ගතයුතු බවද අප සිහි තබා ගත යුතුයි.

භූමිකම්පාවක් නිසා ඇතිවන පොළොවේ කම්පනය අධ්‍යයනය කිරීමෙන් එහි විශාලත්වය, ඇති වූ ස්ථානය සහ ඇතිවූ වේලාව යන කරුණු ගණනය කල හැකිය. රික්ත මාපකය යනු උපකරණයක් නොවන අතර භූමිකම්පාවේ විශාලත්වය මැනීමට යොදා ගන්නා රේඛීය නොවන මිනුමකි. රික්තර් පරිමාණයේ දශම එකක වෙනස්වීමක් යනු එම භූමිකම්පාව මගින් පිටකල ශක්තිය දෙගුණයකින් වෙනස්වීමක් වන අතර, උදාහරණයක් ලෙස ඒකක 8.0 ක භූමිකම්පාවක් මගින් මුදාහරින ශක්තිය ඒකක 8.1 ක භූමිකම්පාවක් මගින් මුදාහරින ශක්තිය මෙන් දෙගුණයකි. එමෙන්ම රික්ත මාපක ඒකක 9 ක භූමිකම්පාවක් මගින් ඇති කරන හානිය, ඵම ස්ථානයේම ඇතිවූ රික්ත මාපක ඒකක 8 ක භූමිකම්පාවක් මගින් ඇති කරන හානිය මෙන් 32 ගුණයකි.

මුහුදේ ඇතිවන සමහර විශාල භූමිකම්පා නිසා සුනාමි ඇතිවන අතර, සමහර විශාල භූමිකම්පා නිසා සුනාමි හට නොගනී. එයට බලපා හැකි හේතු කිහිපයක් ඇත. වධති-බෙනිඕෆ් කලාප වල ඇතිවන භූමිකම්පා නිසා බොහෝවිට ඇතිවන්නේ සාමාන්‍ය විභේද සහ ප්‍රතිවිරුද්ධ විභේද හෙවත් පොළව තුල එක් කොටසක් ඉහලට ගමන් කිරීමක් සහ අනෙක් කොටස පහලට ගමන් කිරීමක් ය. මෙම ගමන් කිරීම ඉතා විශාල එකක් නම් පොළව මතුපිටද මුහුදේ නම් මුහුදු පතුලද යම්තාක් දුරට ඉහලට සහ පහලට ගමන් කරයි. එමෙන්ම ගොඩබිම ඇතිවන විශාල භූමිකම්පා බොහෝමයක් නිසා ඇතිවන්නේ කැඩීයන කොටස් දෙක පොළවේ තිරස් දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කිරීමක් ය.

වධති-බෙනිඕෆ් කලාප වල මුහුදේ ඇතිවන භූ චලන නිසා මුහුදු පත්ල සිරස් දිශාවට චලිත වන අතර, කලාතුරකින් පමණ තිරස් චලිත ඇතිවන භූ චලනද දැකිය හැකිය. සුනාමි තත්වයක් ඇතිවීමට බලපා හැකි එක් හේතුවක් වනනේ ඉහත ආකාර භූමිකම්පා සිදුවීම වන අතර ගිනිකඳු පිපිරීම් වලින් හටගන්නා ලාවා මුහුදට ගලා යාම, උල්කාපාත මුහුදට කඩා වැටීම, යන හේතූන් නිසාද මුහුද කැලඹී සුනාමි ඇතිවිය හැකිය. එහෙත් විශාල සුනාමි ප්‍රමාණයක් ඇති වී ඇත්තේ, භූමිකම්පා හේතුකොට ගෙනය.
විශාල භූමිකම්පාවක් ඇතිවූ විට එමගින් සුනාමියක් ඇතිවේද නැද්ද යන්න කීමට නොහැකිය. මක්නිසාද යත් පොළව තුළ සිදුවන මෙවන් පොළවේ චලිතයන්, භූමිකම්පාව ඇතිවූ ස්ථානය, එය ඇතිවූ වේලාව සහ එහි ගැඹුර යන සියල්ලම ගණනය කරනු ලබන්නේ එම භූ චලනය සිදුවූ ප්‍රදේශයේ සවිකර ඇති එනම් ලංකාවේ පල්ලෙකැලේ සවිකර ඇති මෙන්ල භූ කම්පන මාන වල සටහන් වී ඇති තරංග වල දත්ත ආධාරයෙනි. එහෙත් මෙවන් තරංග විශ්ලේෂණය කිරීමෙන් පොළව තුළ ඇතිවූ මෙම චලිතය වූ ආකාරය විනාඩි කිහිපයක් තුළ ගණනය කිරීමට නොහැකි සංකීර්ණ ක්‍රියාවක් වේ. එවන් ගණනය කිරීමක් කලද, ඒවා බොහෝ උපකල්පන මත සිදුකරනු ලබන හෙයින් ලැබෙන ප්‍රතිඵල දෝශ සහිත වේ. මුහුද තුලද ඇතුලුව භූකම්පන මාන විශාල සංඛ්‍යාවක් ඇතිනම් කරන ලද ගණනය කිරීම යම්තාක් දුරට නිවැරදිව කල හැකිය. උදාහරණයක් වශයෙන් භූ කම්පන මාන 2000 කට වැඩි සංඛ්‍යාවක් ඇති ජපානයේ සුනාමියක් පැමිනීමට කලින් එය ලඟාවන වේලාව සහ එහි උස ප්‍රමාණය යම්තාක් දුරට නිවැරදිව ගණනය කල හැකි වූවද, භූ කම්පන මාන සියයකටත් වඩා අඩු ඉන්දියන් සාගර කලාපයේ ඇතිවන සුනාමි පිළිබඳ අනාවැකි පලකිරීම කොතරම් සංකීර්ණ දැයි වටහා ගත හැක. භූමිකම්පාවක් ඇතිවූ පසු සුනාමි ඇතිවේදැයි නිර්ණය කිරීමේ වෙනත් ක්‍රම පැවතිය ද, ඒවා තවමත් පර්යේෂණ මට්ටමේ පවතී. තවද සුනාමි ඇතිවේයැයි උපකල්පනය කලහොත් එය වෙරළට ලඟාවීමට ගතවන කාලය පුරෝකථනය කල හැකි වූවද, එම රළ පහරේ උස පැවසීමට ඉහත සඳහන් කල හේතුනිසා ඉතා අපහසු වේ.

සාමාන්‍යයෙන් ඉහත සඳහන් කල කලාප වල ඇතිවන භූමිකම්පා නැවත නැවත ඇතිවන අතර, එක් වතාවක් ඇතිවූ විට එහි ශක්තිය නැතිවී නැවතත් භූතල වල ගමන් කිරීම නිසා ශක්තිය තැන්පත් වේ. මෙම ශක්තිය උපරිම අගයකට පැමිණ නැවත භූමිකම්පාවක් ඇතිවීමට සමහර විට වසර 100 ක් 1000 ක් වැනි විශාල කාලයක් ගතවිය හැකිය. 2004 වර්ෂයේ විශාල භූමිකම්පාවක් ඇතිවූයේ, මෙවන් නැවත ඇතිවන භූමිකම්පාවක ශක්තිය උපරිමයට ලඟාවී තිබූ ස්ථානයක භූචලනයක් ඇතිවී එම ආසන්නයේ ඇති ශක්තිය උපරිමයට ලඟාවී තිබූ භූ චලනයන් ඇතිවිය හැකි ප්‍රදේශ ද පලමු භූ චලනය හේතුවෙන් එම වේලාවෙහිම සක්‍රීය වීමයි. එමගින් භූමිකම්පා කිහිපයක් වෙනුවට ඒ සියල්ල එකතු වී තනි විශාල භූමිකම්පාක් ඇතිවීමයි. මෙම මූලධර්ම ඇස්පරිට් මූලධර්මය නමින් හඳුන්වන අතර. මෙවන් මත ඉදිරිපත් කරනුයේ ගණනය කිරීම් වල ප්‍රතිඵල මුල්කරගෙන වන නිසා සියයට සියයක් නිවැරදිදැයි කිසිවකු නොදනී. ඒ අනුව පැහැදිලි වනිනේ විශාල සුනාමියක් ඇතිකරන විශාල භූමිකම්පාවක් ඇතිවීම ඉතා කලාතුරකින් සිදුවන දෙයක් බවය. විශාල සුනාමි ඇතිකරන විශාල භූම්කම්පා නැවත නැවතත් වසර සිය ගනනක් තුළ හෝ දහස් ගණනක් තුළ හෝ ඇතිවන බව සොයා ගැනීමෙන් පසුව විද්‍යාඥයන් ඉතිහාසපොත් මෙන්ම විවිධ ජන කොට්ඨාෂයන්ට අයත් ජනප්‍රවාදයන්ද සොයා බලන්නට පටන්ගත්හ. එවන් ඉතිහාසගත දත්ත ආශ්‍රයෙන් ලොව බොහෝ ප්‍රදේශ වල නැවත නැවතත් විශාල භූමිකම්පා ඇතිවන ප්‍රදේශ පිළිබදව පුරෝකථනය කිරීම සදහා අධ්‍යයන වල නිරතවෙමින් පවතී.

ශ්‍රී ලංකාව තුළද මෙවන් ඉතිහාසගත කරුණු සහ ජනප්‍රවාද සැලකිල්ලට ගැනීමේදී මීට ඉහතදී ලංකාවට බලපාන පරිදි සුනාමි ඇතිවූ බව සොයාගැනීමට හැකිවේ. මහාවංශය, රාජාවලිය සහ ඒ ආශ්‍රිත කරුණු පදනම් කරගෙන පසුව පලවී ඇති ග්‍රන්ථ ද අධ්‍යයනය කිරීමේදී මීට වසර 2200 කට පෙර එනම්, කැළණිතිස්ස රජු සමයේ විහාර මහා දේවියගේ කථා පුවතින්ද දැක්වෙන්නේ සුනාමියක් ඇතිවීම සහ ඒ ආශ්‍රිතව නිර්මාණය කරන ලද කථා පුවතක් දැයි සැක කළ හැකිය. ඊට හේතු වන්නේ කැලණිය ඇත්තේ ශ්‍රී ලංකාවේ බටහිර දෙසින් වීමයගඑහිදී දේවී මුහුදට පාකර යවා ටික වේලාවකට පසුව කැළණිතිස්ස රජු ඇතුපිට නැගී මුහුද නැරබීමට ගිය අවස්ථාවේදී මුලින් විශාල වලක් සෑදී ඉන් පසුව විශාල රළ පහරක් පැමිණ ඇතුපිට සිටි රජුන් ඇතාත් සමග ඹුහුදට ගසාගෙන ගිය බව රජාවලිය යන කෘතියේ සඳහන් වන බැවින්, එය දෙවන අවස්ථාවේ පැමිණි රළ පහරට ගසාගෙන යාමක් වශයෙන් සිතිය හැකිය. තවද, ඇතිවූයේ යැයි කියන විශාල වලක් වැනි හිදස සුනාමිය පැමිණීමට පෙර මුහුද සිඳී ගිය අවස්ථාවේ ඇතිවූ සිද්ධිය විස්තර කිරීමට යොදාගන්නට ඇතැයි අනුමාන කළ හැකිය.
ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ඉතාමත් ඈතින් පිහිටි උතුරු අරාබි මුහුදේ මැක්රම් මුහුදු ප්‍රදේශයද සුමාත්‍රා මුහුදු ප්‍රදේශය මෙන් සුනාමි භූමිකම්පා ඇති වන ප්‍රදේශයකි. එම ප්‍රදේශයේ නුදුරු අනාගතයේදී විශාල සුනාමි භූමිකම්පාවක් ඇතිවේ යැයි අනතරු අගවා ඇත. 1945 නොවැම්බර් මස 28 වන දින මැක්රම් මුහුදු ප්‍රදේශයේ ඇතිවු සුනාමි භූමිකම්පාව මගින් ඇතිවූ සුනාමිය හේතවෙන් උතුරු පකිස්ථානයේ පමනක් පුද්ගලයන් 4000 ක ට වැඩි පිරිසකගේද ඉන්දියාවේ බටහිර මුහුදු ප්‍රදේශය ඉරානය ඔිමානය ඇතුලු ආසන්න රටවල විශාල පිරිසකගේ ද ජීවිත අහිමි විය. 2004 වර්ෂයේදී මෙන් විශාල භූමිිකම්පාවක් මැක්රම් මුහුදු ප්‍රදේශයේ ඇතිවුව හොත් එමගින් ඇතිවන සුනාමි තත්වය ශ්‍රී ලංකාවේ බටහිර සහ දකුනු දිග වෙරල තීරයට වැඩි වශයෙන් බලපා හැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ බටහිර වෙරල තීරයට සුනාමි තරංග ලගාවීමට පැය පහකට වඩා කාලයක් ගතවන නිසා හොදින් සූදානම් වුවහොත් ඇතිවන ආපදාවන් අවම කරගත හැකිය. කැළණිතිස්ස රජු සමයේ විහාර මහා දේවියගේ කථා පුවතින් දැක්වෙනුයේ සුනාමියක් පිලිබදව නම් එය පැමිණියේද මෙම මැක්රම් මුහුදු ප්‍රදේශයේ සිට බව අනුමාන කල හැකිය.
2004 වර්ෂයේදී ලංකාවට බලපාන ලද, සුනාමියට හේතු වූ ආකාරයේ විශාල භූමිකම්පාවන් ඇතිවීම ඉතාමත් විරල වන අතර, එවන් විශාල ශක්තියක් එකවර පිටකිරීමට ඇති හැකියාව ඉතා අල්ප වන බැවින්, එවන්නක් සිදුවීම කාලාන්තරයක් ගතවී ඉතාමත් කලාතුරකින් සිදුවන සිදුවීමක් ලෙස දැක්විය හැකිය. සාපේක්‍ෂව කුඩා භූමිකම්පාවක් ඇතිවූ විටද, සුනාමි තත්වයක් ඇතිවන අතර, එහිදී ඇතිවන වෙනස රළ පහරට සාපේක්‍ෂව ගත්කල ඉතා කුඩා නිසා අපට නොදැනෙන නමුත්, විශාල භූමිකම්පාවක් නිසා ඇතිවන රළ පහරේ වෙනස්වීම වැඩිනිසා විශාල සුනාමියක් ලෙස අපට දැනේ. ශ්‍රී ලංකාව තුළද විශාල භූමිකම්පා ඇතිවීමේ හැකියාවන් අවම වූවද 2004 වර්ෂයේ සුනාමි ඇතිවන අවස්ථාවේදී ආරක්‍ෂක උපක්‍රම භාවිතා නොකිරීම හේතුවෙන් විශාල හානි සිදුවූවා මෙන්ම භූමිකම්පාවක් ඇතිවීමේදීද එවන් ආරක්‍ෂක උපක්‍රම භාවිතා නොකිරීමෙන් හානි සිදුවීමේ අවධානම වැඩිය. හානි සිදුවීමේ අවධානම අඩුකර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම ඉතාමත් යෝග්‍ය වේ. ස්වභාවිකව ඇතිවන මෙවන් සිද්ධීන් ඇතිවීම වැලැක්වීමට තවම විද්‍යාව දියුණු වී නොමැති අතර, කලහැකි දෙය වන්නේ, මෙම ස්වභාවික විපත් ඇතිවීම කලින් පුරෝකථනය කර, එයට සුදුසු ලෙස සූදානම් වීම පමණි.

මහාචාර්ය එන් ජී එස් ශාන්ත ගමගේ
භෞතික විද්‍යා අධ්‍යනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය

56076

ආසාදිතයන්

47984

සුවය ලැබූ

7816

දැනට රෝගීන්

276

මරණ

බෙදා හරින්න :

Similar Posts