යාපනයේ ,කන්දසාමිගේ ගිණුමට රුපියල් කෝටි ලක්ෂයක් ආවේ කොහෙන්ද ?

Sri Lanka
රුපියල් කෝටි ගණනින් මුදල් සංසරණය වූ ගිණුම් පිළිබඳ පසුගිය කාල සීමාවේ රටේම කතාබහක් ඇති විය.

වරෙක මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ ගිණුමකට රුපියල් කෝටි එකහමාරක් බැර වූ ආකාරය ගැන විමර්ශන කෙරුණේය. අනතුරුව මර්වින් ජානා නමැති කුඩු ජාවාරම්කරුට හිමි බව කියන බේකරියේ සේවය කළ එම්.ඩී. ගාමිණී නමැත්තාගේ ගිණුමකින් රුපියල් කෝටි දාහතරක ගනුදෙනු සිදු වී තිබූ බව ගල්කිස්ස පොලිසිය කළ විමර්ශනයකදී හෙළි විය.

එසේම ඉහත කී මර්වින් ජානාගේ වැඩිමල් සොහොයුරිය වූ මනෝරි රන්දිමා නමැත්තියගේ බැංකු ගිණුමකින් රුපියල් දොළොස් කෝටි හැටනව ලක්ෂයක මුදලක් සංසරණය වූ බවද හෙළි විය. ඇයගේ නමින්ම ඇති තවත් ගිණුමකින් රුපියල් ලක්ෂ තුන්සිය හයකට වඩා වැඩි මුදලක් සංසරණය වී ඇති බවද දැන් හෙළි වී තිබේ.

මීට අමතරව මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය කළ විමර්ශනයක දී හෙළි වී ඇත්තේ දෙමළ ජාතිකයකුගේ නමින් පවත්වාගෙන ගිය බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ හාරදහසක මුදලක් සංසරණය වී ඇති බවයි. එම මුදල්වල සැබෑ හිමිකරුවා මෙම දෙමළ ජාතිකයා නොව කුඩු අංජු නමැති මත් ජාවාරම්කරුවා බවද කියැවේ.

රුපියල් කෝටි ගණනින් සංසරණය වන බැංකු ගිණුම් ගැන මේ ආකාරයෙන් කියැවෙන අතරේ පසුගිය දිනවල තවත් සුවිශේෂී බැංකු ගිණුමක් ගැන තොරතුරු එළියට ආවේය.

දැනට හෙළි වී ඇති ආකාරයට එම ගිණුමට වැටුණු බව කියන මුදල රුපියල් ට්‍රිලියනකි. තවත් සරළව කිවහොත් රුපියල් කෝටි ලක්ෂයකි. . තවත් විදියකින් කිවහොත් රුපියල් කෝටි ප්‍ර​කෝටියකි. මෙකී සුපිරි ගිණුමේ හිමිකරු බව කියන්නේ වව්නියාව පුවරාසකුලම් පොලිස් වසමේ කුමාංකුලම් පදිංචි විසිපස් හැවිරිදි තරුණයකු වන කන්දසාමි සුමිත්‍රන් නමැත්තාය. යාපනයේ පදිංචිකරුවකු වන කන්දසාමි බිරිඳගේ ගම් පළාත වන වව්නියාවේ කුමාංකුලම්වලට එන්නේ බිරිඳට දරුවන් ලද පසුවය.

එහි පදිංචිව සිටින අතරේ සෙලාන් බැංකුවේ යාපනය ශාඛාවේ කාන්දසාමිගේ ගිණුමට ඔහුගේ ලන්ඩන් නුවර සිටින මිතුරකු හරහා රුපියල් එක්කෝටි හැත්තෑ අටදහසක මුදලක් බැර වන්නේය.

කන්දසාමිගේ ගිණුමට රුපියල් ට්‍රිලියනයක් බැර වූ බව කියමින් මුදල් ගැනීමට කණ්ඩායමක් උත්සාහ ගන්නේ ඒ අතරේය.

එම කතාබහට අනුව කන්දසාමි කොළඹට පැමිණ සති දෙකක් කොළඹ නවාතැන් ගන්නේය. ඒ ඉහත කී මුදල නිදහස් කර ගැනීමට අවශ්‍ය ලිපිලේඛන සකස් කර ගැනීමටය. මෙතරම් මුදලක් ගිණුමකට බැර වූ විගස එය මහ බැංකුව දැනුවත් කර මුදල නිදහස් කිරීමට නම් එය ලද ආකාරය ගැන ගිණුම් හිමියාගෙන් අවශ්‍ය ලිපි ලේඛන ලබාගත යුතුය. එ්ත් පුරා සති දෙකක් තිස්සේ එවැනි ලිපි ලේඛන ඉදිරිපත් කළ නොහැකි වූ තැන කන්දසාමි පෙරළා යාපනේ සිටින තම මවගේ නිවසට යන්නේය.

ඒත් කන්දසාමිගේ ගිණුමෙන් මුදල් ගැනීමට උත්සාහ කරන කල්ලිය සිය ප්‍රයත්නය අත නොහැර කන්දසාමි යළි මහනුවරට ගෙන්වා ගත්තේය. කන්දසාමි යළිත් වරක් ඔවුන් මගහැර වව්නියාවේ ගෙදරට යන්නේ ඉහත කී කණ්ඩායම ගැන ඇති වූ යම් සැකයක් නිසාවෙනි.

මේ අතරතුරේ දී කන්දසාමිගේ ගෙදරට හිටිහැටියේ අලුත්ම පන්නයේ සුඛෝපභෝගී වාහන තුනකින් කණ්ඩායමක් එන්නේය. ඒ කන්දසාමි හොඳින් හෝ නරකින් රැගෙනයාමේ අරමුණු සහිතවය. මෙම කණ්ඩායමේ විශේෂත්වය වනුයේ එම පිරිස අතරේ වටරැක බන්ධනාගාරයේ ප්‍රධාන ජේලරවරයකු සිටීමය. ඔහු කන්දසාමි පැහැරගෙන යාමට පැමිණ තිබුණේ රාජකාරියේ යෙදී සිටින අතරේමය.

මෙම පිරිසට නායකත්වය දුන්නේ ව්‍යාපාරික කාන්තාවකි. ඇය පිළියන්දල පදිංචිකාරියකි. ලංකාව පුරා ඇස්බැස්ටස් බෙදාහරින නියෝජිත ආයතනයක්ද ඇයට හිමිය. ඇය යටතේ සේවය කරන සේවකයන් සිවු දෙනකුද මෙම පිරිසට අයත් වූහ.

කන්දසාමිට ලද මුදල බැංකුවෙන් මුදාගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකස් කර කන්දසාමිගේ අත්සන ලබා ගැනීමට මෙම පිරිස වව්නියාවට එන්නේ, කන්දසාමි මොවුන්ව මගහරින්නට වූ නිසාය.

කෙසේ හෝ මෙම පිරිස කන්දසාමි කොළඹ රැගෙන යාමේ අරමුණින් යුතුව වාහනයකට නංවා ගන්නේ චාටු බසිනි. ඒත් එම පිරිස ගැන විශ්වාසයක් ඔහුට තිබුණේ නැත. ඒ නිසාම කන්දසාමි කොළඹ එන අතරමග පුවරාසකුලම් පොලිසිය ළඟදී බොරුවක් කියා පොලිසියට රිංගා ගත්තේ පොලිසියේ ආරක්ෂාව ලබා ගැනීම සඳහාය. එහි දී ඔහු තමා මුහුණ දුන් සියලු විස්තර පුවරාසකුලම් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය සමග පවසා පැමිණිල්ලක් සටහන් කරන්නේය. ඒ සමගම ක්‍රියාත්මක වූ පොලිසිය කන්දසාමි රැගෙන යාමට ආ කාන්තාව ඇතුළු කණ්ඩායම වහාම අත්අඩංගුවට ගෙන වව්නියාව පොලිසියට බාර දෙන්නේය. ඒ මෙම සිද්ධියට පසුබිම් වූ පුද්ගලයා වව්නියාව පොලිස් වසමේ පදිංචිකරුවකු වන නිසාය. ඒ අනුව ඉදිරි විමර්ශන වව්නියාව පොලිසියට බාර විය.

වව්නියාව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් කුමාර අලගියවන්න මෙම විමර්ශන භාරගෙන සැකකටයුතු පිරිස අත්අඩංගුවට ගෙන ට්‍රිලියනයක ගිණුමේ කතාව හෙළිකරගත්තේය. වව්නියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්වාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන අරඹන්නේ මෙරට ඉතිහාසයේ මෙවැනි මුදලක් බැංකු ගිණුමකට වැටුණු බව කියන පළමු වතාව මෙය නිසාය.

අධිකරණයට කරුණු වාර්තා කර බැංකු ගිණුමේ ඇති මුදල කොපමණද? මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද කියා විමර්ශනයක්ද ඇරැඹෙන්නේ එම විමර්ශනවලට අනුවය.

දැනට ඇති තොරතුරු මත ඉහත කී කාන්තාව මෙහෙයවූ කල්ලියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වන විට පැමිණිලි හතරක් විභාග වේ.

මෙම බැංකු ගිණුමට මුදල් බැරවන්නේ ජාත්‍යන්තර සංවිධානයකින්ද, දෙමළ ඩයස්පෝරාවෙන්ද, එසේත් නැති නම් කුඩු ජාවාරම්කරුවන්ගෙන්ද යන්න පොලිසියට දැන් විසඳා ගැනීමට ඇති ප්‍රධාන සැකයයි.

ගල්කිස්සේ මහා පරිමාණ කුඩු ජාවාරම් ඉතාලියේ සිට මෙහෙයවන බව කියන කුඩු අංජුගේ රුපියල් ලක්ෂ හාරදහසක් සංසරණය වී තිබුණේත් දෙමළ තරුණයකුගේ නමින් වූ බැංකු ගිණුමකින්ය.

මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන විමර්ශන සිදු කරන්නේ කන්දසාමිගේ ගිණුමට සැබවින්ම රුපියල් ට්‍රිලියනයක් බැරවූයේද යන්න තහවුරු කිරීමටය. මෙම සිකුරාදා වනතුරු එය තහවුරු වී නොතිබුණේය.

මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසය වෙත භාර කිරීමට නියමිත විය.

මේ අතර වව්නියාව මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව කන්දසාමි පැහැර ගැනීමට පැමිණි සැකකරුවන් ලබන 23 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේය.

තිස්ස රවින්ද්‍ර පෙ​රේරා – Aruna



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *